20150406

සෝම හාමුදුරුවෝ මැරුම් කෑවෙ ට්‍රැක් පැන්න නිසාද?



පහත සඳහන් පාඨය
ෆේස්බුක් සමූහයක උණුසුම් විවාදයකදී
මා විසින් කළ ප්‍රකාශයක්.

මා එයින් අදහස් කළේ කුමක්ද නොදැන
මේ ප්‍රකාශය යොදාගෙන
ෆේස්බුක් ජාලයේ කෙනෙක් කළ අර්ථ දැක්වීමක්
විශාල පිරිසක් අතර Share වෙමින් පවතින අතර
මා එයින් අදහස් කළේ කුමක්ද කියා
කිහිප දෙනෙකු විමසුවා.

මේ පිළිතුර ඔවුන්ටයි.

භික්ෂූන් ගන්නා ක්‍රියා මාර්ග දෙස ඔබ බලන්නේ
ඔබට සාපේක්ෂව නම්
ඔබට මා වැරදියි කියා සිතෙන්නට පුලුවන්.

ඔවුන් ගන්නා ක්‍රියා මාර්ගය
ඔබට වාසි නම්
ඔබ ඔවුන් අගය කරනවා.

භික්ෂුවක් සිවුර ඉල්ලාගන්නේ
නිවන් දකින්නට කටයුතු කරනවා
කියන පොරොන්දුව තෙවරක් දීමෙන් පසුවයි..

ඒ මොහොතේම
ඔහු යායුතු මග ඔහු තෝරා ගන්නවා.
නිවන් දකින්නට කටයුතු නොකර
ඔහු වෙනත් මගක යනවා නම්
ට්‍රැක් පැනීමක් සිදු වෙනවා.

ශ්‍රී ලංකාවටත්, භික්ෂු සමාජයටත්
ඉතාම වටිනා චරිතයක් වූ
සෝම හාමුදුරුවන් අපවත් කරවන්නට හේතු වූ
උන්වහන්සේගේ ට්‍රැක් පැනීම 

දෙයාකාරයකින් සිදුවීයැයි මම අදහමි.

මම සෝම හාමුදුරුවො පළමුවෙන්ම  දුටුවෙ
1986 විතර උන්වහන්සේ වජිරාරාමයෙ ඉන්න දවස්වලයි.
මම උන්වහන්සේගෙ කුටියෙදිත්
තවත් කිහිපදෙනෙක් සමග
සෝම හාමුදුරුවන් හමුවී තියනවා.
මහරගම භික්ෂු මධ්‍යස්ථානයෙදි
දම් දෙසුම් අසා තියනවා.
ඒ දිනවල උන්වහන්සේ පිළිබඳව
මගේ ලොකු ප්‍රසාදයක් තිබුණා.

අපවත් වෙන්න ආසන්න කාලයෙ
මගේ ගම අසල පන්සලකට වැඩිය අවස්ථාවෙ
පන්සලේ හාමුදුරුවන්ගෙ ඉල්ලීමට
සෝම හාමුදුරුවන්ගෙ දම්දෙසුම
වීඩියෝ කරලත් දුන්නා.
ඒත්
ඒ වෙනකොට
උන්වහන්සේ යායුතු මග වෙනස් කොට
අතුරු මගක ගමන් කිරීම නිසා
මගේ පැහැදීම සීමාවුණේ
භික්ෂුවක් ලෙස කරන ලද
කටයුතු වලටයි.

ට්‍රැක් පනිනවා කියන යෙදුම
භාවිතා කිරීමට මට සිදු වූයේ
ෆේස්බුක් සමූහයක උණුසුම් විවාදයකදී
ඒ වෙලාවේ මා සමග ගැටෙමින් සිටි
පුද්ගලයන්ගේ මානසිකත්වයට අනුව
වටහාගන්නට හැකිවිය යුතු ආකාරයෙන්
මා කියන දේ කිව යුතු වූ නිසායි.

ට්‍රැක් පනිනවා කිව්වත්..
අතුරු මගක ගියා කිව්වත්
මම එයින් අදහස් කරන දේ එකමයි.

මුගලන් රහතන්වහන්සේ
පවා ට්‍රැක් පැනලා තියනවා.
විශ්වයේ අවසානය සොයා ගිය
උන් වහන්සේ මුදාගත්තෙ
බුදුන් වහන්සේයි.

සෝම හාමුදුරුවො රහත් වෙලා නැහැ..
පුහුදුන් භික්ෂූන් වහන්සේ කෙනෙක් විදියට
උන්වහන්සේ ට්‍රැක් පැනීම අරුමයක් නොවෙයි.

අප භික්ෂූන් වහන්සේ දෙස බැලිය යුත්තේ
පුහුදුන් අපේ කෙටි මිනුම් දඬුවලට අනුව නොවෙයි.

මම සෝම හාමුදුරුවො දකින්නෙ
මගේ කෝණයෙන් නොවෙයි..
බුදුන් වහන්සේ
පැවිද්දන්ට ගත කරන්න
නියම කළ ජීවිතයක් තියනවා.

බුදුන් වහන්සේ විසින්
ගරු කටයුතු, පිදිය යුතු
භික්ෂූන් හැසිරිය යුතුයැයි
පෙන්වාදී ඇති ආකාරයට
අප අතර හැසිරෙන භික්ෂූන් වහන්සේ
හැසිරෙනවාද යන්න සිතෙහි තබාගෙන
අප උන්වහන්සේලා දෙස බැලිය යුතුය.

භික්ෂූන් වහන්සේලා හැසිරිය යුත්තේ
"ඔබවත්, මම වත්, වෙනත් කෙනෙකුවත්"
නියම කරන ආකාරයෙන් නොවේ.
බුදුන් වහන්සේ නියම කළ ආකාරයෙනුයි.

තමා දීපයක් කොට වෙසෙන්න.

තමා සරණයි, අන් සරණක් නැත.

ධර්මය දීපයයි, ධර්මය සරණයි.

අන් සරණක් නැත.


  කෙසේද මහණෙනි
තමා දීපයක් කොට වෙසෙන්නේ?
තමා සරණයි, අන් සරණක් නැත්තේ,?
ධර්මය දීපයයි, ධර්මය සරණ වන්නේ?

මහණෙනි, යම් මහණෙක්,
1, කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
2, වේදනා වල වේදනා අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
3, සිතෙහි සිත අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
4, දහම්හි දහම් අනුව දකිමින්
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,

මහණෙනි එසේ
තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත
-----------------------------------------------------------
http://tipitaka.org/sinh/cscd/s0103m.mul2.xml
දීඝනිකායේ චක්‌කවත්‌තිසුත්‌තං
නිවන් දකින්නට කටයුතු කරනවා
කියන පොරොන්දුව තෙවරක් දී
සසුන් ගතවන පැවිද්දාට 
බුදුන් වහන්සේ දෙන
ප්‍රධානම උපදෙසක් නම්
'' ගිහිගෙය අත්හැර පැමිණි භික්ෂුව
ගිහියන්ගෙන් වෙන්ව විසිය යුතුය'' යන්නයි.

ගැඹුරු ළිඳකට එබෙන්නාක් මෙන්
අවදානම පිළිබඳ හැඟීමෙන් කටයුතු කරන්නට
ගිහියන් අතර ප්‍රවේශමෙන් හැසිරෙන මෙන්
බුදුන් වහන්සේ පැවිද්දාට උපදෙස් දෙයි.

"මම ගිහියන්ගේ ආකාරයෙන්
වෙනස් ආකාරයට පැමිණියේ වෙමි" යිද
"මම ගිහියන්ට වෙනස් ආකාරයෙන් හැසිරිය යුතුය"යි ද
පැවිද්දා නිතර නිතර මෙනෙහි කළයුතු බව
අංගුත්තර දසක නිපාතයෙහි දැක්වේ.
-[ශාසනාවතරණය]

https://www.scribd.com/doc/210922988/Shasanavatharanaya


ගිහි ගෙයටත් නැතිව මහණ කමටත් නැතිව
දෙලොවක අතරමං වූ පැවිද්දා
ගමටත් නැති, වනයටත් නැති
දෙකොණෙහිම අශූචි තැවරුණ
සොහොන් පෙණෙල්ලක් වැනියයි
බුදුන් වහන්සේ දෙන උපමාව
බැලූ බැල්මට
නිග්‍රහයක් මෙන් පෙණුනද
කරුණා පෙරදැරිවම කිවූ වදනකි.

මහා සමුදුර වන්
නිවන කරාම යොමුවුණ නදියක් ලෙස
ආර්ය අෂ්ඨාංගික මාර්ගය උපමා කරමින්
බුදුන් වහන්සේ දේශනා කළ
දාරුක්ඛන්දොපම සූත්‍රයේද
බුදුන් වහන්සේ මෙසේ කිවූහ.

මහණෙනි ,
ඔබ පිලිපදිනා අරි අටැඟි මගද
මෙම නදිය වැන්නකි.

ගඟ නොනැවතී සයුරට ගලා බස්නා සේ
එම අරි අටැඟි මගද
නිවන අරමුණු කොටම පවතී.

ගඟෙහි ගලා බස්නා මහත්වූ ලී කඳන් වන් වූ ඔබ
ගිහිකම් කරන්නාවූ
ගිහියන් ගේ වැඩට අනුබල උපකාර වෙමින්
පවත්නා වූ අයෙක් වෙත්නම් ,
මිනිසුන් විසින් කොකු දමා
තම ප්‍රයෝජනයට දියෙන් ඇද ගන්නා වූ
කොටයක් හා සම වන්නේය.

බුදුන් වහන්සේ නියම කළ
නිවන් මගෙහි යායුතු භික්ෂුවක්
ඉන් පිට පැන වෙනත් මගක යන්නේ නම්
ඒ ගමන ට්‍රැක් පැනීමක් නොවන්නේද?

ඒ පළමු ආකාරයේ ට්‍රැක් පැනීමය.

සෝම හාමුදුරුවන්
රුසියාවේදී අපවත් වීම
අපවත් කිරීමක් ලෙස බොහෝ දෙනෙක්
සැක පහළ කරති.
උන්වහන්සේ දේශපාලනික වශයෙන්ද
ට්‍රැක් පැන්නායයි මා සිතන්නේ
ඒ පදනමෙහි පිහිටා සිටිමිනි.

ගිහි පැවිදි කිසිවෙක්
අසීමාන්තිකව ජනප්‍රිය වනවිට
ඔහුගේ ජනප්‍රියත්වයෙන් ප්‍රයෝජන ගත හැකි
කූට පුදගලයන් ඔවුන්ට සමීප වෙයි.
ඔහුගේ ජනප්‍රියත්වය දඩමීමා කරගෙන
ඔවුන්ගේ ගමන යන්නට
ඔව්න්ගේ බලය සඳහා
ජනතාව දඩයම් කරගන්නට
ඔවුහු වෑයම් කරති.

ජනප්‍රිය පුද්ගලයාට පහසුකම් සලසන කපටි පුද්ගලයා
ඔහු තමන්ට රිසි මාවතකට යොමු කරයි.
කැමැත්තෙන් ඒ මගෙහි යන පුද්ගලයෝ
ලාභ සත්කාරවල උරුමය ලබති.

සෝම හාමුදුරුවන්ගේ චරිතය අනුව
උන් වහන්සේ සිය කැමැත්තෙන්ම ආත්මය පාවාදී
තවෙකෙකු තනන මගක ගමන් කරන්නට තරම්
නිවටවේයැයි සිතිය නොහැක.

මේ වනවිට
බුදුන් වහන්සේ අනුදැන වදාළ නිවන් මගිනුත් පැන
දේශපාලනයට පිවිස සිටි සෝම හාමුදුරුවෝ
තවත් ගිහියෙකු තනන මාර්ගයක ගමන් කරනු ඇතැයි
සිතිය නොහැක.

ඒ පළමු ආකාරයේ ට්‍රැක් පැනීමය.

සෝම හාමුදුරුවන්
තමන්ගේම මගක් ගැනීම
තමන්ට සිදු වූ පාඩුවක් හෝ
පහරක් විය හැකි යැයි සිතූ කිසිවෙකු
සිංහල බෞද්ධයන් එකාවන්ව හැඬවූ
ඒ ඛේදවාචකය සැලසුම් කරන්නට ඇත.

උන්වහන්සේගේ අභාවයෙහි අළු මතින්
හෙළ උරුමය බිහි විය.
ජනප්‍රිය විය.

අන් කිසිදු පදනමක් නොමැතිව
සෝම හාමුදුරුවන් සිංහල බෞද්ධයාට
ලබා දුන් ශක්තියේ පිහිටෙන්
හෙළ උරුමය ගිය මග  කෙසේ වුවත්
හෙළ උරුමය ගිය දුර බලනවිට
උන්වහන්සේ බුදු මගෙන් පැන ගමන් කළ මග
ලෞකික වශයෙන් කොතරම් ප්‍රබලද යන්න
අපට වටහා ගත හැක.

සෝම හාමුදුරුවෝ
ඒ ගමන තනිවම ගියා නම්
ශ්‍රී ලාංකික දේශපාලනය තුළ
කවර වෙනසක් වනු ඇති දැයි
කිසිවෙකුටත් සිතාගත නොහැක.

5 comments:

  1. පන්සිල් පද රකින්නට බැරි අප උපසපන් භික්ෂුවකගේ කාරිය සාකච්ඡාවට භාජනය කිරීම කෙතරම් යුක්ති යුක්තද?
    කරුණු කාරණා වශයෙන් අප කෙතරම් දෑ 'දැන' සිටියද භාවිතයෙන් අවබෝධ නොකරනතාක් කල් ඒවා හුදෙක් කරුණුම වෙනවා යැයි සිතමි
    අනෙක් අතට යම් අවබෝධයක් ලැබු ඇත්තෙක් යැයි මා සිතන ඔබ "අප භික්ෂූන් වහන්සේ දෙස බැලිය යුත්තේ පුහුදුන් අපේ කෙටි මිනුම් දඬුවලට අනුව නොවෙයි" කියා නොනවත්වා එහි දිගුවකට ගොස් සිටියානම් මැනවැයි සිතේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිස්ස..
      බුදුන් වහන්සේගේම වදන්
      යොදාගත හැකි විටෙක
      මගේ හෝ වෙනත් කෙනෙකුගේ විවරණ
      අවශ්‍ය නොවන බවයි මගේ පිළිගැනීම.

      Delete
  2. තිස්ස දොඩන්ගොඩ මහතාගේ මතය නිවැරැදි යයි මටත් හිතෙනවා. මේ අවස්ථාවේදී අප කල්පනා කලයුතු වන්නේ සෝම හිමි ගැන කටා කිරිමට වඩා විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නා තරුණ භික්ෂුන් වහන්සේලාගේ ගරුත්වය නැසීමට අන්තර් ව්ශ්ව විද්‍යාල බල මණ්ඩලය (ඔවුන් jvp ද පෙරටුගාමින්ද යන්න මා දන්නේ නැහැ ) නමුත් කරන මෙ විනාශය නම් ඉතා විශාලයි.

    සමරසේකර

    ReplyDelete
  3. බෞද්ධ භික්ෂුවකට ජාතියක් නෑ..
    පවුලක් පරම්පරාවක් නෑ.
    පැවිදි වෙද්දි අලුතෙන්ම නමක් දෙන්නෙ
    ඔහු ඒ බැඳීම් වලින් නිදහස් කරගන්නයි..

    ReplyDelete
  4. එක ජාතියක් සහ තවත් ජාතියක් සැසඳීම
    එක ජාතියකට බරව අදහස් පළ කිරීඑම
    බුදු දහම නොවෙයි.

    ශීල, සමාධි, ප්‍රඥා හැර
    වෙනත් කිසිදු මිම්මක්
    බුදු දහම තුළ නෑ.

    ReplyDelete