20140629

කල්ලියක් කියන්නෙ මායාවක්.


පිරිසක් එකතුවෙලා දන්සැලක් දුන්නත්
එතන කල්ලියක් හැදෙනවා..
නායකයන් ඇති වෙනවා.
අනුගාමිකයන් ඇතිවෙනවා.

සමාන අරමුණු තියන
සමාන බලාපොරොත්තු තියන අය
එකට එකතු වෙලා
පොදු අරමුණක් සඳහා ක්‍රියා කරන්නෙ
ඒ පොදු අරමුණ සාර්ථක වෙද්දි
ඔවුන්ට ලැබෙන පුද්ගලික වාසි
තියන නිසා.
මුදල්, ගරුනම්බු, ස්ත්‍රීන් ඇසුර,
සේවයක් කරනවා කියන සතුට ආදී
ඔවුන් තනිව හැසිරෙද්දි
යහමින් නොලැබෙන ඔවුන් ප්‍රියකරන දේවල්
කල්ලිය තුළ ඔවුන්ට
පහසුවෙන් හිමි වෙනවා.

කල්ලි ගැසෙන පුද්ගලයන් අනුව
හොඳ වගේම නරක ගතිගුණත්
කල්ලි ගැසීමෙන් මතුවෙනවා.
හොඳත් නරකත් දෙකම
කල්ලියකට පහසුයි.

කල්ලියෙ ඉන්න බලවත් පුද්ගලයා
ඔහුට රිසි විදියට
තමන්ගෙ අරමුණු ඉටුකරගනිද්දි
කල්ලියට ඇබ්බැහිවුණ සාමාජිකයන්
තමන්ට කිසිම වාසියක් නැතත්
කල්ලියට දරදිය අදිනවා.
මේ සත්‍යය වැටහෙන
ස්වාධීන මනසක් ඇති සාමාජිකයන්
කල්ලියෙන් ඉවත් වෙනවා.
අලුත් අය එකතු වෙනවා.

නායකයන් ආත්මාර්ථකාමී වන විට
කල්ලිය පිරිහෙනවා.
සාමාජිකයන් බිඳෙනවා.
කල්ලි තුළට එකතු වෙන්නෙ
කල්ලි මානසිකත්වයෙන් යුතු අය නිසා
කල්ලි තුළ කුඩා කල්ලි ඇතිවීම
අනිවාර්යයි.
ප්‍රධනියාට එරෙහිව කැරලි ගහන
කුඩා කල්ලි නායකයන්
කැඩිලා ගිහින් වෙනම කල්ලි
හදා ගන්නවා.

සමාජයක් පිරිහෙන විට
නූගතුන් හෝ
උගත් මෝඩයන් වගකීම් දරන විට
ඒ සමාජය තුළ කල්ලි වැඩිවෙනවා.
දියුණු මනසක් ඇති පුද්ගලයන් හෝ
පුද්ගලික අරමුණු සඳහා
කල්ලිය භාවිතා නොකරන පුද්ගලයන්
සමූහයක වගකීම් දරන විට
මිනිසුන් කල්ලි ගැහෙන්නෙ නෑ.
ස්වාධීනව කාගෙත් හොඳට
සුහදව ක්‍රියා කරනවා.

බුද්ධ ශ්‍රාවකයන්
කල්ලි ගැසෙන්නේ නැහැ.
පුහුදුන් බෞද්ධ භික්ෂූන් කල්ලි ගැහෙනවා
සංඝරත්නය කවදාවත්
කල්ලි ගැහෙන්නෙ නෑ.
සංඝයා වහන්සෙ කෙනෙක් නම් ස්වාධීනයි.
අනුගාමිකයන් එක් රැස් වී
බාහිර අරමුණකින් ක්‍රියා කරන්නෙ නැහැ.


භික්ෂූන් ජනප්‍රිය වෙලා
ඔවුන් වටා කල්ලි නිර්මාණය වෙන්නෙ
ඔවුන් තුල ක්‍රියාත්මක වෙන
නීවරණ නිසයි..

බුදුන් වහන්සෙගෙ කාලෙ
සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලා
එක්ව විවේකය අවශ්‍ය නිසා
තමන් පැමිණි බව හෙළි නොකරන්න
භික්ෂුවකට කිවු අවස්ථාව
ඔහු වැරදි විදියට හැසිරීමෙන්
එවකට පැවති භික්ෂු සමාජය තුළ
ලොකු අවුලක් ඇතිවුණා.
මේ අවස්ථාව හැරෙන්නට
රහතන් වහන්සේ දෙනමක්
එක්ව ක්‍රියාකළ අවස්ථාවක් මා දන්නේ නැහැ.

හිතා මතා කල්ලි ගැසුණේ
දෙව්දත් පමණයි.

බුද්ධ ශ්‍රාවකයන්
කල්ලි ගැසෙන්නේ නැහැ.
ඔවුන්ගේ ගමන ස්වාධීනයි.
ඔහු තමන්ගේ ගමන ස්වාධීනව යන ගමන්
ස්වාධීනව යන අයට
තමන්ගේ ගමන යන්න උපකාර කරනවා.
ඔහු තමන්ගේ ගමන යන්න
කල්ලියක් හදා ගන්නේ නැහැ..
කල්ලියකට බැඳෙන්නෙත් නැහැ.

තුම්හේහි කිච්ච්ං ආතප්පං
අක්ඛාතරො තථාගත.

No comments:

Post a Comment