20140629

බේබදු ජීවිතයකට ගැලවීමක් නැද්ද?


අමිර් ඛාන්ගේ
"සත්‍ය මෙව ජයතෙ" රූපවාහිනී වැඩ සටහන
සියල්ල අහිමි කරගත් බේබද්දන්
ඔවුන්ගේ ජීවිත පිළිබඳ කරන
අනුවේදනීය විවරණ..
වෛද්‍ය විද්‍යාත්මක විවරණ.

බැංගලෝරයේ විශාල රෝහලක
හදිසි අනතුරු හේතුවෙන් ඇතුළත්වෙන අයගෙන්
25%ක් බීමත් බව නිසා
තමන්ටම සිදු කරගත් අනතුරු නිසාය.
තවත් 35%ක්
බීමත් අය විසින් සිදු කළ අනතුරු වෙයි.

මත්පැන් පානය කල කෙනෙකු අතින්
සිදුවෙන රිය අනතුරකින්
කිසිවෙකු මිය ගියහොත්
ඒ රියැදුරාට මරණ දඬුවම දිය යුතු බවට
වෙනත් බීමත් තරුණයෙකුගේ වරදින්
සිදුවූ රිය අනතුරකින්
සිය එකම දරුවා මරණයට පත්වූ
සොවින් තැවෙන එක් පියෙකු
යෝජනා කරනවා.

අමිර් ඛාන් දෙන පිළිතුර.....
නීතියට අසු වුණත් නැතත්
වෙනත් අයගේ ජීවිත සමග
ඔවුන්ගේ පවුල් සමග
මාරන්තික ක්‍රීඩාවක යෙදෙන බව
ඔවුන් සිහිපත් කළ යුතු බවයි.

නව යොවුන් දරුවන්ට ඔහු කරන ඉල්ලීම.
1, ඔබ බීමත් නම් රිය නොපදවන්න.
2, බීමත් මිතුරෙකුට රිය පදවන්නට
ඉඩ නොදෙන්න.
3, ඔබට ඔහු වැළැක්විය නොහැකි නම්
ඔබ වාහනයෙන් බසින්න.

අද මද පමණින් මත්පැන් තොලගාන ඔබ
තව වසරකින් දෙකකින්
බේබද්දෙක් නොවිය හැකියයි
ඔබට සහතික කළ හැකිද?

එක් වෛද්‍යවරයෙකුට අනුව
බේබදුකම ඇබ්බැහිකමක් නොව
ජානමය රෝගයකි.


බේබද්දෙක් වීමට
ජානමය ප්‍රවණතාවයක් ඇත්තෙකු
පළමු වර මත්පැන් පානයෙන් පසුඔහුගේ මොළයෙහි මත්පැන් පිළිගැනීමේ ධාතු
නිර්මාණය වෙයි.
මත්පැන් පානයෙහි යෙදෙන වාරයක් වාරයක් පාසා
මෙම ධාතු ප්‍රමාණය ඉහළ යයි.

සාමාන්‍ය කෙනෙකු
මෙම ධාතු ප්‍රතික්ෂේප කරන
ප්‍රවණතාවයකින් යුක්තය,
බේබද්දෙක් වීමට ප්‍රවණතාවයක් ඇත්තෙකුගේ
ධාතු ප්‍රතික්ෂේප කිරීම දුර්වලය.

මෙසේ එක් රැස්වෙන ධාතු
එක් සීමාවක් ඉක්මවූ පසු
මත්පැන් ඉල්ලා උද්ඝෝෂණය කරන්නට වෙයි.
පවුල රැකියාව තත්වය
සියල්ල අමතක වන ඔහු
මත්පැන් උදෙසාම ජීවත් වන්නට වෙයි.

මේ රෝගයට ගොදුරුවන්නෙකු
කල් ඇතිව සොයා ගැනීමට
විද්‍යාත්මක පරීක්ෂණ නැත.

ඔබ බේබදුකමට ඇබ්බැහි වන්නෙකුදැයි
ඔබටම දැනගන්නට අවශ‍ය නම්
මේ ප්‍රශ්න ඔබ ඔබෙන්ම ඇසිය යුතුය.
1, ඔබේ මත්පැන් පානය අඩුකළ යුතු යැයි
කිසිවෙකු ඔබට පවසා ඇත්ද?
2, එසේ කියන විට ඔබ කෝපයට පත් වේද?
3, මත්පැන් පානයෙන් පසු පානය කළා වැඩියැයි
ඔබ තැවෙන්නේද?
4, දවස අරඹන්නට මත්පැන් අවශ්‍යයි..
ඔබට හැඟෙන්නේද?

මේ ප්‍රශ්නවලට ඔබේ පිළිතුර "ඔව්"නම්
ඔබට බේබදු කම නම් රෝගය වැළඳී ඇත.

මේ රෝගයක් නම්
ඔබ ඊට වගකිව යුතුද?

ඕනෑම රෝගයකදී මෙන්
මේ රෝගයටත් ඔබ ගොදුරු වී ඇත්නම්
ඉන් මිදීමේ වගකීම ඔබ සතුය.

බේබදුකම බේබද්දාට පමණක් නොව
සමාජයටද හානිකරය.

--------------------------------------------------------------------------------
ඉන්දියාවත් ලංකාවත්
රූපවාහිනිය උපයෝගී කරගන්නා ආකාරය
කොතරම් වෙනස්ද?
වෙනස ඇත්තේ භූමියෙහි නොව
ජීවත්වෙන ජනතාවගේත් නිර්මාණ කරුවන්ගේත්
චරිත සහ පෞරුෂයන්හිය.

No comments:

Post a Comment