20170108

දේශපාලනික භික්ෂුව වැඳීමට පිදීමට සුදුසුද?

භික්ෂුව
කිසිසේත්ම සමාජයට බැඳුණ කෙනෙක් නොවෙයි.

භික්ෂුව සමාජයට වගකිවයුතු නැහැ.
බුදු දහමට අනුව හැසිරෙන සැබෑ භික්ෂුවක්
කිසිදු අයුරකින් සමාජයට සම්බන්ධ නැහැ.

භික්ෂුවක් සිවුර ඉල්ලාගන්නෙ
නිවන් දකින්න කටයුතු කරනවා
කියන පොරොන්දුව දීමෙන් පසුයි.

ලාභ උපදවන මඟ එකෙකි.
නිවන් මඟ අනෙකකි.

සිවුරට තියන බලය දේශපාලනිකව පාවිච්චිය
බුදු දහමට එකඟ නැහැ.

දේශපාලනයෙදි විවිධ ප්‍රභේද තියනවා.
සමහර වෙලාවට හැමෝම වැරදියි.
භික්ෂුව ගන්න පැත්ත විවරණය වෙන්න කොහොමද?
යුද්ධයකදි භික්ෂුවක් කොයි පැත්ත ගත්තත් වැරදියි.
මේ වගේ දාමරිකයන් අතරට මුසු වීම පවා වැරදියි.
ගිහියන්වත් නොකළ යුතු දාමරික කම් කරන
මැර භික්ෂුවකගෙ සැබෑ වටිනාකම කුමක්ද?

බුදු දහම අකාලිකයි.
භික්ෂුවක් හැසිරිය යුතු ආකාරය
ගිහියන් තීරණය නොකළ යුතුයි.
භික්ෂුවකගේ හැසිරීම කෙබඳුදැයි
බුදුන් වහන්සේ නියම කර තිබෙනවා.

“මහණෙනි”
අවිද්‍යාවෙන් යුතු මිනිසා ඉඳින්
(යම් විදියකින්) පින් රැස් කෙරේද?
ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි.
ඉඳින් ඔහු පව් රැස් කෙරේද?
ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි.
ඉඳින් ඔහු අරූපාවචර පින් රැස් කෙරේද?
ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි”

“මහණෙනි,
යම් අවස්ථාවක පටන් භික්ෂුවකගේ අවිද්‍යාව ප්‍රහීණ වීද?
විද්‍යාව ඉපදුනේද?
එවක් පටන් ඔහු අවිද්‍යාව දුරු කිරීමෙන්
විද්‍යාව උපදවා ගැනීමෙන් පින් රැස් නො කරයි.
පව්ද රැස් නොකරයි. අරූපාවචර පින්ද රැස් නොකරයි”

”මේ ශාසනයෙහි යමෙක් පිනද පවද බැහැර කොට,
බ්‍රහ්මචාරි ව වෙසෙමින්, නුවණින් විමසා බලා
ලොව හැසිරේ නම්
ඒකාන්තයෙන් ඔහුට භික්ෂුව යැයි කියනු ලැබේ”

භික්ෂුවගේ කාර්ය භාරය තීරණය කරන
භික්ෂුව හෝ ඔහුට සමීප ගිහියන්ගෙ ප්‍රඥාව මත
භික්ෂුවගේ ගමන සුගතියටද දුගතියටද යන්න
තීරණය වේවි.

බුදුන් වහන්සෙ භික්ෂූන්ට කියන්නෙ
ගැඹුරු ලිඳකට එබෙනවා වගේ
ප්‍රවේශමෙන් ගිහියන් අතර හැසිරෙන්න කියලා.

භික්ෂුවගෙ සිවිල් බලය භාවිතා කරන
පටු දැක්මක් ඇති ආත්මාර්ථකාමීන්ට
භික්ෂුවට මොනවා වුණත් දැනෙන්නෙ නෑ.

රාගයෙන් ද්වේශයෙන් මුලාවූ භික්ෂූන්
පහන් දැල්ලට යන පළඟැටියන් මෙන්
විනාශය සොයා යනවා.

දුසිල්ව වෙසෙමින් සිවුපසය ලැබීම,
ගිහියන්ගෙන් වැඳුම් පිදුම් ලැබීම
මතු මහා දුක් කඳකට හේතු වෙන බව
අග්ගික්ඛන්දෝපම සූත්‍රයේ දැක්වෙනවා.

සිවුරක් දැවටීමෙන් සිල්වත් වේ නම්
උපන් විගසම සිවුරක් දවටන්නැයි
බුදුන් වහන්සේ පවසා තියනවා.

මේ භික්ෂු සමාජයෙහි
එක පැතිකඩක් පමණකි.
සමස්ත භික්ෂු සමාජය මේ රෝගයෙන් නොපෙළෙයි.

දිනකට එක වේලක් වළඳන
විපස්සනා වඩමින් නිවන් මග යන
අන් අයට යන්නට සහාය දෙන
සුපේශල ශික්ෂාකාමී සිල්වත් භික්ෂූන් වහන්සේලාද
අපට තැන තැන හමුවෙති.

යම් යම් වහන්සේලා හානි කරන,
කඩතොලු කරන, විනාශකරන සසුන
අදටත් රැකෙන්නේ උන්වහන්සේලා නිසාය.


https://www.facebook.com/sharer/sharer.php?u=http%3A%2F%2Fsansaranee.blogspot.com%2F2017%2F01%2Fblog-post_8.html&src=sdkpreparse