20140321

පශ්චාත් නූතනවාදය යනු කුමක්ද ?


පශ්චාත් නූතනවාදය යනු කුමක්ද
කියල සංවාදයක් මතුවුණ නිසා...
නිර්මාණකරුවන්ගෙ ස්වභාවය
වාද වල ස්වභාවය
වාද වල ඍජු නිර්මාතෘවරු , අහඹු නිර්මාතෘවරු
නූතනවාදය
පශ්චාත් නූතනවාදය
වියරුවෙන් මෙන් ඔවුන් පසුපස යන වාදීන් ආදී කරුණු
චුවින්ගම් එකක වගේ හපලා විසිකරන්න හිතුණා.

මම මේ අවස්ථාවෙදි
පශ්චාත් නූතන වාදය කියල හිතන ලක්ෂණ
මගේ ඉහත ප්‍රකාශයෙත් තියනවා.

මම පශ්චාත් නූතන වාදය කියල කියන්නෙ
සම්ප්‍රදාය මනාව දැනගෙන හෝ
යන්තම් දැනගෙන හෝ කොහෙත්ම නොදැන
හිතාමතා සම්ප්‍රදාය බිඳින
සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරන
අත්තනෝමතික පුද්ගලයන් විසින්
කරන නිර්මාණ වල ලක්ෂණ මත
ගොඩ නැගෙන රටාවක්.

පස්චාත් නූතනවාදයෙහි නිර්මාතෘවරුන්
සම්ප්‍රදාය බින්දෙ යහපත් චේතනාවෙන් විය හැකියි.
පසුව එය
වෙනත් ඕනෑම ආගමක්, වාදයක් මෙන් වල් බිහිවී
වනසතුන් අතට පත්වූවා විය හැකියි.
වාදයක් හැදෙන්නෙ සැබෑ
නිර්මාණකරුවෙක්ම මුල්කරගෙනයි.

නිර්මාණ කරුවන් විවිධයි.
අතුරු නිර්මාණ කරුවන් වර්ග බොහෝ ඇතත්
මූලික වර්ග කිහිපයක් තියනවා.

සහජ හැකියාව මතම නිර්මාණ කරන අය
පහසුවෙන් නිර්මාණ කළත්
ඔවුන්ට අවස්ථාවක් ලද ගමන්ම
හැකියාව මතුවෙනවා.
ඔවුන් ප්‍රතිභාපූර්ණයි.
ඒත් බොහෝ දුර යන්නෙ නැහැ.
නිර්මාණවල එකාකාරී ස්වභාවයක් තියනවා.
නිර්මාණ කල්පැවතුණත්
පුළුල් ක්ෂේත්‍රයක පැතිරෙන්නෙ නැහැ.
ඔවුන්ට එහෙම උවමනාවකුත් නැහැ.
ඔවුන්ගෙ මොළයෙ වැඩියෙන් ක්‍රියා කරන්නෙ දකුණු පැත්තයි.
නැපෝලියන්, කෙනඩි, ශේක්ස්පියර්, චෙකොෆ්, කිශෝර් කුමාර්, රෙහෙමාන්,
දිලිප් කුමාර්, ආශා භෝන්ස්ලේ, කිශෝර් කුමාර, ආර්. ඩී. බර්මාන්, නන්දා මාලනී,
ජෝ අබේවික්‍රම මේ ගණයට වැටෙනවා..

ඔහු නිසි පරිදි ශාස්ත්‍රීය ක්‍රම සහ පුහුණුව ලබමින්
කිසියම් කෘතියක් නිර්මාණය කරන ක්‍රමය සොයාගන්නවා.
ඔවුන් ශාස්ත්‍රීය දැනුමක් මද පමණින් හෝ ලද බවක්
ප්‍රකට වෙන්නේ නැහැ.
ඔවුන්ගෙන් සහජ හැකියාව ඇති තැනැත්තා
අවම ශාස්ත්‍රීය දැනුමකින්
අවශ්‍ය ටික සොයාගන්නවා.
ඔවුන්ට වෙන කරන්න දෙයක් නැහැ.
ඔවුන් උපන්නේ ඒ සඳහාම වගෙයි.
ඔවුන් තර්ක කරනවාට වඩා රසවිඳීමට බරයි.
ඔවුන් ප්‍රතිභාපූර්ණයි.
ඔවුන්ගෙ නිර්මාණ විශ්ලේෂණය කරන්න අපහසුයි.
ඔවුන්ගෙ නිර්මාණවල අව්‍යාජ බවක්, හුරු බවක්,
සාම්‍ය්යක්, ගලායෑමක් දකින්නට ලැබෙනවා.
ඔවුන් ඉපදුණේ ඒ සඳහාම කියල අපිට හිතෙනවා.
ධර්මාශෝක, තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො,
ගෝර්කි, මයිකල් ඇන්ගලෝ, අයින්ස්ටයින්, එඩිසන්,
සත්‍යජිත් රායි, අකිරා කුරොසාවා,
බ්‍රූස් ලී, නෞෂාද්, මොහමඩ් රාෆි, ලතා මංගෙශ්කාර්,
එස්.පී. බාලසුබ්‍රමනියම්, ඉලයරාජා, අමිතාබ් බච්චන්, ආමිර් ඛාන්,
සේකර, අමරදේව, ප්‍රේමකීර්ති, එවැන්නන්.
ඔවුන් නම්‍යශීලීයි.
පහසුවෙන් අවස්ථානුකූලව හැසිරෙනවා.
චණ්ඩාශෝක රජු ඉතාම දරුණු රජෙක් වුණත්
සත් හැවිරිදි සාමණේරයන් වහන්සේ කෙනෙක් හමුවෙ නැමුණා.
ඒ අවස්ථාවට සුදුසු ලෙස හැසුරුණා. ඒ අනුව ජීවත් වුණා.

ඔවුන් මොනවා කළත් නිරායාසයෙන් පහසුවෙන් කරනවා.
ඔවුන්ගෙත් මොළයෙ වැඩියෙන් ක්‍රියා කරන්නෙ දකුණු පැත්තයි.
ඔවුන් රජකම් කළත්,
විද්‍යඥයන් වුණත්,
කලාකරුවන් වුණත් මේ ලක්ෂණ තියනවා.

සහජ හැකියාව අඩු තැනැත්තා
අමතර වෙහෙසක් දරලා
ශාස්ත්‍රීය ක්‍රම සහ පුහුණුව වැඩිපුර ලබමින්
අර මට්ටමට ක්‍රියා කරනවා.
ඔවුන් දිනන්නෙ උත්සාහය නිසා.
පරදින්නෙ කුසීත බව හෝ තිර අරමුණක් නැති නිසා.
ශාස්ත්‍රීය පරිචය මත ඔහු බොහෝ දුර යනවා.
ප්‍රතිභාව දියුණු කරගන්නවා.
ඒත් ඔවුන් තුළ සදාතනික නුහුරු බවක්,
සියුම් ආධුනික බවක් දිගටම දක්නට ලැබෙනවා.
ඔවුන් තර්කානුකූලවත් හිතන නිසා
ඔවුන්ගෙ නිර්මාණ විශ්ලේෂණය කරන්න පහසුයි.
ලින්කන්, ඩාවින්චි, ටොල්ස්ටෝයි, රවිශංකර්, වික්ටර් රත්නායක,
සුනිල් ආරියරත්න

සහජ හැකියාවක් ඉතාම අඩුවෙන් ඇතත්
ශාස්ත්‍රීය පුහුණුව නිසාම නිර්මාණ කරන අය
කොයිතරම් හොඳට කොයිතරම් ලොකු දෙයක් කළත්
ඔවුන් අන් අයගෙ අවධානයට ලක් වෙන්නෙ නැහැ.
බොහෝ විට ඔවුන් හොඳ ගුරුවරුන් වෙනවා.

ඉහත දැක්වෙන ලැයිස්තු අසම්පූර්ණයි.
මා ඇසුරු කළ කෘතීන් හා ඔවුන්ගේ චරිත ගැන ඇති
සාමාන්‍ය අවබෝඅධය මත වර්ගීකරණය කළත්
අපූර්ව අවස්ථාවන්හි ඔවුන් නිර්මාණය කරන සමහර කෘතීන්
වෙනත් වාර්ගික ලක්ෂණත් පෙන්වනවා.

මේ හැමකෙනෙක්ම සාමාන්‍ය මිනිසුන් අතර විශේෂයි.

ඔවුන් වටා පිරිසක් එකතු වෙනවා.
ඒ පිරිස සංවිධානය වී කල්ලිගැහෙනවා.
ඒ පිරිසත් විවිධයි.
රසිකයන්, අනුගාමිකයන්, ශිෂ්‍යයන්, ගෝලයන්, ආධාරකරුවන්,
හෙංචයියන්, එහෙයියන්, පන්දම් කරුවන්,
ප්‍රශස්ති ගායකයන් ආදී වශයෙන්
කූඩැල්ලන් මෙන් ඔවුන්ගෙන් යමක් ලබන අය
ඔවුන් වටා රොක්වෙනවා.

මේ එක්වෙන පිරිස තුළ හිස් එහෙයියන් මෙන්ම
පක්ෂපාතී අනුකාරකයින් පිරිසකුත් බිහි වෙනවා.
ඒ අනුකාරක පිරිස යම් පමණකට වර්ධනය වුණාම
ඔවුන් වටා සම්ප්‍රදායක් ගොඩ නැගෙනවා.
ඒ සම්ප්‍රදාය තවත් පැතිරෙන කොට
විචාරකයන් ඔවුන් වර්ගීකරණයකට ලක් කිරීමෙන්
වාදයක් ගොඩ නැගෙනවා.

අතීතයේ නිර්මාණ කරුවන් ආවේ
දෙමව්පියන්ගෙන් දරුවන්ට වශයෙන්
පරම්පරාවෙන් පරම්පරාවටයි.
සහජ හැකියාවෙන් යුත් අය නිසා
පරම්පරාවෙන් පැවතෙන අය ශිල්පීන් ලෙසත්
සහජ හැකියාවන් ඇත්තන්
කලාකරුවන් ලෙසත් වැඩුණා.

පසුකාලීනව ලොව පුළුල්වෙනවිට
පාරම්පරික ශිල්පීන්ගේ දරුවන්
වෙනත් කාර්යයන් සඳහා යොමුවෙද්දී
සහජ හැකියාව ඇත්තන්
ශිල්පීන් වෙත යොමුවුණා.
කිසියම් ක්ශේත්‍රයක කැපී පෙනෙන පුනරුදයක් ඇතිවන්නේ
මේ පිරිස් දෙක එක්වීමත් සමගයි.

බුදුන් වහන්සේ මේ සඳහා ඇති හොඳම නිදසුනයි.
රජ පවුලක කුමරෙක් ලෙස ස්දුහත් කුමරුන්
බමුණන්ගෙන් වේද හා ශාස්ත්‍රත්,
ශිල්පීන්ගෙන් ශිල්පීය තාක්ෂණත්,
යෝගීන්ගෙන් සමථ භාවනා ක්‍රමත් හදාරා,
සහජයෙන් ගෙනා ශක්තියෙන්
විදසුන සොයාගත්තා.

චිත්‍ර කලාවට ඩාවින්චිලාත් යුගයත්
විද්‍යාවට අයින්ස්ටයින් යුගය
සාහිත්යයට ශේක්ස්පියර් යුගය
ටොල්ස්ටෝයි යුගය ආදී වශයෙන්
පුනරුදයක් ඇතිවෙනවා.

පසු කාලීනව සහජ හැකියාව ඇත්තන්
ශිල්පීන් ඇසුර නොලබා හිතුමතේ නිර්මාණ කරනවා.
ඒත් ඔවුන්ගේ නිර්මාණවල සංයමයක් තියනවා.

ශාස්තරයක් විදියට ගොඩ නැගිය නොහැකි
කිසියම් ශිල්පීය උපක්‍රම රැසක් මත
වාදයක් ගොඩ නැගෙනවා.
එසේ නැත්නම්
ශිල්පීය ක්‍රමයක් නැති තර්කානුකූල දැනුමක් මත් හෝ
මිනිසුන්ට පහසුවෙන් යොමුවිය නොහැකි
ශිල්පීය ක්‍රම නිසා වාද ගොඩ නැගෙනවා.
බොහෝ විට වාද ගොඩ නගන්නේ
කෘති පිළිබාඳ අත්දැකීමෙන් තොර
ගොඩ ඉඳන් පීනන පිරිසක් විසින්.
ඔබ කිසියම් වාදයක් අනුගමනය කරනවා නම්
ඔබ ඒ වාදයට අනුව ජීවත්වූ එක මොතක් හෝ
ඔබේ ජීවිතය තුළ ඇත්දැයි සිතා බලන්න.
එසේ නොකරණ කෙනෙක් නම්
ඔබ ඊට පටහැනිව ජීවත් වෙනවා නම්
ඔබ වක්‍රාකාරයෙන් එම වාදය විනාශ කරන කෙනෙක්.

වාදයක් ලොවට සාපයක් වෙන්නෙ
කිසියම් වාදයක් හදාරමින්
ඒ වාදයට අනුව ගිරවුන් මෙන් හිතන්න, කතා කරන්න,
තමන්ගෙ වාදිත්වය පෙන්වන්න විවාද ඇතිකරගන්නා
පුස්සන් පිරිස නිසයි.

ඔවුන් නිසා වාදයට මුල් වූ
හරවත් චින්තනයෙන් මිනිසා ඈත් වෙනවා.
බොහෝ විට එක් යුගයක බිහිවෙන වාද
වෙනත් වාදයකට අනුපූර්ව ලෙස පදනම් වෙනවා.

හැම වාදයක්ම නිර්මාණ ශීලී නැහැ.
වාදයක් හුවා දක්වන පුස්සන්
මොන ප්‍රශස්ති ගැයුවත්
වාදයක් සම්භාව‍ය හෝ නිවැරදි වන්නෙත් නැහැ.
නිර්මාණකරණයට අතවත් තබා නැති පුස්සන්
නිර්මාණකරණය පිළිබඳ වාද වෙනුවෙන්
දිවි හිමියෙන් ඉදිරිපත්වීමම
වාදයක ඇති නිරර්ථකභාවය
පැහැදිලිව පෙන්නුම් කරන්නක්.
ආගමට එරෙහිව ජීවත් වෙන දූශිත පූජකයන්
ආගම රකින්නට පෙරට ඒමත් එවැන්නක්.

නූතනවාදයට වැටෙන කෘති ගොඩ නැගෙන්නෙ
ශාස්ත්‍රීය රීති පසෙකට දමමින්
සම්ප්‍රදායෙන් පරිබාහිරව නැවුම් යමක් කරන්න උත්සාහ කරන
සම්ප්‍රදාය හෙළා නොදකින පිරිසක් විසින්.
ඔවුන් විද්‍යාත්මකව හිතන්න පුරුදු වෙන ලෝකයට
ගැලපෙන ලෙස හීතන්න උත්සාහ කළ
ගවේශකයන් පිරිසක්.
නූතනවාදයෙ සැබෑ නිර්මාණකරුවන්
ශාස්ත්‍රීය දැනුම ඇති අය නිසා
එයින් ලද ආභාෂය මත
ඔවුන්ගෙ නිර්මාණවල
මිනිසාට ප්‍රතික්ෂේප කළ නොහැකි
ශාස්ත්‍රීය ලක්ෂණ දක්නට ලැබුණා.
පසුව නූතනවාදී කෘති කියා
විකාර නිර්මාණය කරන්නට යොමුවෙන
හිස් මිනිසුන් රැසක් බිහිවුණා.

පශ්චාත් නූතන වාදය ගොඩ නැගෙන්නෙ
සම්ප්‍රදායට ඍජුවම පහර දෙන නිර්මාණ කරුවන් විසින්.,
ඔවුන්ගේ ප්‍රධාන අරමුණ සම්ප්‍රදාය බිඳීමයි.
ඒ අනුව තවත් සම්ප්‍රදායක් බිහිවෙනවා.
දර්ශන හෙළා දකින තවත් දර්ශනයක්...
වාද හෙළා දකින තවත් වාදයක්...

කෙසේ වුවත් වාදවලින්
අවසානයෙදි වෙන්නෙ
දක්ෂයන් මෙන් තමන් හුවා දක්වන
අධික මාන්නයෙන් යුතු
නිර්මාණකරණයෙහි අදක්ෂ පිරිසක්
ඔවුන්ගේ කෘති ජනතාවගේ හිස් තුළට
බලෙන් ඔබ්බන්නට යොමුවීම සහ
ඔවුන් මෙන් හිතන එහෙයියන් පිරිසක්
ඔවුන් කරතබාගෙන යෑමයි..

වාදයකින් ප්‍රයෝජන ගත හැකි
සීමිත දක්ෂතා සහිත
අවංක නිර්මාණකරුවන් අතලොස්සක් සිටිය හැකියි.
අබ්බගාතයෙකුට කිහිලිකරු අවශ්‍යයි.
ඒත් සහජයෙන්ම නිර්මාණශීලී කෙනෙක්
වාදයක සරණ පැතීම
ඔහුට බාධකයක් වෙනවා.

නිර්මාණකරණය අරමුණුකර නොගත් වාද නිසා
සහජ හැකියාව ඇත්තන් පවා නොමග යනවා.
ඇවිදින්නට හැකි අයත්
අබ්බාගාතයින් සඳහාම නිර්මාණය වූ
වාද නමැති කිහිලිකරු භාවිතා කොට
ගමන ව්කෘති කරගන්නවා.

කිසිදු වාදයකට යට නොවී
ශාස්ත්‍රත්, සම්ප්‍රදායත්, අන් සියලු වාදත් අවශ්‍ය පමණට හදාරා
ස්වාධීනව හෝ ශාස්ත්‍රානුකූලව නිර්මාණයෙහි යෙදීම
නිර්මාණශීලී ජීවිතයකට ප්‍රමාණවත්.

මා මෙහි සාරාංශ ගතකොට දක්වා ඇත්තේ
ඉතා විශාල පරාසයක්.
හිතට එකඟ නැති කිසිවක් අන්ධ භක්තියෙන් පිළි නොගන්න.
මේ කිසියම් දිශාවක් ආනතියක් පෙන්වන
ඉඟියක් පමණයි.
ඔබම සොයා දැනගත යුතුදේ බොහොමයි.

සිහියෙන් විමසා බලන්න.
අඩුලුහුඬුතැන් පුරවා ගන්න.
වැරදි යයි ඔබ හිතන තැන් පෙන්වා දෙන්න.

සංවාදයට විවෘතයි.

No comments:

Post a Comment