20190421

"බුර්කා නෙමෙයි යකඩෙන් හදපු ඇඳුම් ඇන්දත් ස්ත්‍රී දූෂකයින්ව නවත්තන්න බැහැ"


"මම මේ අපරාධයට එරෙහිව මගේ අවසාන හුස්ම දක්වා සටන් කරනවා"
"මාව ඒ වෙලාවේ නතර කළේ නැත්නම් ඇයට මේ වගේ දෙයක් වෙන්නේ නැහැ,"
බංගලාදේශ පාසලක ඉගෙනුම ලබමින් සිටි නුස්රත් ජහාන් රාෆි නම් සිසුවියට පාසල තුළදී ම භූමිතෙල් දමා ගිනි තබා ඝාතනය කර තිබේ.
ඉන් දෙසතියකට පෙර පාසලේ ප්‍රධාන ගුරුවරයා තමන් ලිංගික අපයෝජනයට ලක් කළ බවට ඇය පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි.
ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව ඇය හඬ නැගීම, දින පහකට පසු ඇයව ඝාතනය කිරීම සහ ඒ අතරතුර සිදු වූ සියලු සිද්ධි මූලික කරගෙන ගතානුගතික දකුණු ආසියානු රටක් වන බංගලාදේශයේ කාන්තාවන් මුහුණ පාන ලිංගික අඩන්තේට්ටම් පිළිබඳව ලෝකයේ අවධානය යොමු වෙමින් පවතී.





19 හැවිරිදි නුස්රත් ජහාන් රාෆි

19 හැවිදිරි නුස්රත් ජීවත් වූයේ, ඩකා නුවරට දකුණු දෙසින් කිලෝමීටර් 160ක් එපිටින් පිහිටි 'ෆෙනී' නම් කුඩා නගරයේය.
ඇය ඉස්ලාමීය පාසලක ඉගෙනුම ලැබුවාය. පසුගිය මාර්තු 27 වන දා පාසලේ ප්‍රධාන ගුරුවරයා ඇය සිය කාර්යාලයට ගෙන්වාගෙන දිගින් දිගට ම අනවශ්‍ය ආකාරයට ස්පර්ශ කළ බව ඇය පවසා තිබිණි.
එය තවත් බරපතළ තත්ත්වයකට පත් වීමට පෙර ඇය කාර්යාලයෙන් ඉවතට දිව ගොස් තිබේ.
සමාජයෙන් සහ පවුලෙන් එල්ල වන පීඩනය හේතුවෙන් බංගලාදේශයේ බොහෝ කාන්තාවෝ තමන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් ගැන හෙළි නොකරති.
නමුත් නුස්රත් ජහාන් රාෆි තමන්ට සිදු වූ හිරිහැර ගැන හඬ නැඟුවා පමණක් නොව, සිය පවුලේ අයගේ සහය ඇතිව ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද ක්‍රියා කළාය.
ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ගිය ඈ ප්‍රකාශයක් ලබා දුන්නාය. ඇය මුහුණ පෑ කටුක අත්දැකීම් විස්තර කිරීමට පොලිසිය තුළ ආරක්‍ෂිත ස්ථානයක් ලබා දිය යුතුව තිබිණි. නමුත්, සිදු වූයේ වෙනත් දෙයකි. ඇය මුහුණ පෑ සිද්ධිය ගැන පවසද්දී අදාළ පොලිස් නිලධාරියා සිය ජංගම දුරකතනයෙන් එය වීඩියෝගත කර තිබිණි.
නුස්රත් එම අවස්ථාවේ මහත් අපහසුතාවට පත්ව සිය අත්ලෙන් මුහුණ සඟවා ගැනීමට උත්සහ කරන අයුරු වීඩියෝ දර්ශනවල පැහැදිලිව දැක ගත හැකිය.
මෙය "ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි" යැයි පවසන පොලිස් නිලධාරියා මුහුණෙන් අත් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින ආකාරය මෙම වීඩියෝවේ දක්නට ලැබේ. පසුව මෙම වීඩියෝව මාධ්‍යයට ලබා දීමට ඔහු ක්‍රියා කර තිබිණි.



නුස්රත්ගේ මරණයත් සමග ලිංගික හිංසනයන්ට මුහුණ දුන් කාන්තාවන්ට එල්ල වන හිරිහැරවලට එරෙහිව බංගලාදේශය පුරා උද්ඝෝෂණ පැවැත්වේ
කුඩා නගරයක, සාම්ප්‍රදායික පවුලකින් පැවත එන නුස්රත් ජහාන් රාෆි අධ්‍යාපනය හැදෑරුවේ ආගමික පාසලකය. එවන් පසුබිමක සිට ලිංගික අපයෝජනයක් ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ඉතා අපහසු කාර්යයකි.
මෙවන් අවස්ථාවකදී අදාළ කාන්තාවට ඇය අවට සමාජයෙන් දැඩි පීඩනයක් එල්ල වන අතර, අන්තර්ජාලයෙන් මෙන් ම වෙනත් නොයෙකුත් පුද්ගලයන්ගෙන් ද හිරිහැර එල්ල වන අවස්ථා ඇත. සමහර අවස්ථාවල දී දරුණු ප්‍රහාරයන්ට ලක් වීමට ද ඉඩ ඇත.
නුස්රත්ට ද මේ සියල්ලට ම මුහුණ දීමට සිදු විය.
ඇය ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව පොලිසිය ප්‍රධාන ගුරුවරයා අත්අඩංගුවට ගනු ලැබීය. ඉන්පසු නුස්රත්ට එල්ල වන පීඩනය දැඩි විය.
ප්‍රධාන ගුරුවරයා නිදහස් කරන ලෙස ඉල්ලා එක්තරා කණ්ඩායමක් උද්ඝෝෂණයක නිරත වූහ. සිසුන් දෙදෙනෙකු සහ දේශපාලඥයෙකුගේ සහය ඇතුව මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
නොයෙකුත් පුද්ගලයන් වරද නුස්රත්ගේ යැයි පැවසීමට පටන් ගත්හ. මෙම සිද්ධි හේතුවෙන් පවුලේ අය ඇයගේ ආරක්ෂාව ගැන බියට පත් වූ බව ඔවුහු පවසති.
කෙසේ නමුත්, දින එකොළහකට පසු, අප්‍රේල් 6 වන දා සිය අවසාන විභාගයට මුහුණ දීම සඳහා නුස්රත් නැවත පාසල වෙත ගියාය.
"මම මගේ සහෝදරියව පාසලට එක්කගෙන ගිහින් පාසල් ගොඩනැගිල්ලට ඇතුළු වීමට උත්සහ කළා. නමුත් ඇතුළට යන්න නොදී මාව නතර කර ගත්තා" යැයි නුස්රත්ගේ සහෝදරයා වන මහ්මුදුල් හසන් නොමාන් පැවසීය.



නුස්රත්ගේ මරණයෙන් වැලපෙන ඇයගේ සහෝදරයා වන මහමුදුල් හසන්
"මාව ඒ වෙලාවේ නතර කළේ නැත්නම් මගේ සහෝදරියට මේ වගේ දෙයක් වෙන්නේ නැහැ," ඔහු පැවසුවේය.
නුස්රත් පැවසූ පරිදි, ඇයගේ යෙහෙළියකට පහර දෙන බව පවසමින් එක් සිසුවියක් ඇයව පාසල් ගොඩනැගිල්ලේ වහල මතට රැගෙන ගොස් තිබේ.
එම ස්ථානයට ගිය සැණින් බුර්කා ඇඟලා සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු ඇයට තර්ජනාත්මක ස්වරයෙන් කියා සිට ඇත්තේ ප්‍රධාන ගුරුවරයාට එරෙහිව දැමූ පැමිණිල්ල ඉවත් කර ගන්නා ලෙසය. එයට විරුද්ධ වීමත් සමග ඔවුන් ඇයට ගිනි තැබූහ.
මෙය සියදිවි නසා ගැනීමක් ලෙස පෙන්වීමට ඝාතකයන්ට අවශ්‍ය වී තිබූ බව පොලිස් පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී බනාජ් කුමාර් මජුම්දර් පැවසුවේය. ඔවුන් එම ස්ථානයෙන් දිව ගිය පසු නුස්රත් බේරා ගැනීමෙන් ඔවුන්ගේ සැලසුම් සියල්ල ව්‍යර්ථ විය. එමෙන් ම, ඇය මිය යෑමට පෙර ප්‍රකාශයක් ලබා දීමට ද ක්‍රියා කළාය.
"එක් ඝාතකයෙක් ඇයගේ හිස පහතට සිටින සේ අල්ලාගෙන ඉඳලා තියෙන නිසා මුහුණට භූමිතෙල් වැටිලා නැහැ. ඒක නිසා ඇයගේ හිස පිච්චිලා නැහැ" යැයි බනාජ් කුමාර් මජුම්දර් බීබීසී බෙංගාලි සේවයට පවසා තිබේ.
නමුත් නුස්රත්ගේ ශරීරයෙන් 80%ක් පිළිස්සී තිබෙන බව රෝහලට රැගෙන ගිය පසු වෛද්‍යවරු පැවසූහ. පිළිස්සුම් තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා ඇය ඩකා නුවර පිහිටි රෝහලකට මාරු කර යැවිණි.
තමන් මිය යන බව දැනුණු නුස්රත් ගිලන් රථය තුළදී සිය සොහොයුරාගේ ජංගම දුරකතනයේ ප්‍රකාශයක් පටිගත කළාය.
"ගුරුවරයා මාව ස්පර්ශ කළා. මම මේ අපරාධයට එරෙහිව මගේ අවසාන හුස්ම දක්වා සටන් කරනවා" යැයි ඇය පවසනු හඬ පටයේ පටිගත වී තිබිණි.
එමෙන් ම, ඇයට පහර එල්ල කළ සමහර ප්‍රහාරකයන් එම පාසලේ ම සිසුන් බවට ඇය හඳුන්වා තිබිණි.



ෆෙනී නගරයේ පැවති ඇයගේ අවමංගල්‍ය උත්සවයට දහස් ගණනක පිරිසක් සහභාගී වූහ
බංගලාදේශ මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත් වූයේ, නුස්රත්ගේ සෞඛ්‍ය තත්ත්වයයි. නමුත් අවසානයේ, අප්‍රේල් 10 වන දින ඇය සදහට ම දෑස් පියා ගත්තාය. ෆෙනී නගරයේ පැවති ඇයගේ අවමංගල්‍ය උත්සවයට දහස් ගණනක පිරිසක් සහභාගී වූහ.
පොලිසිය මේ වන විට 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් හත් දෙනෙකු මෙම අපරාධයට සෘජුව සම්බන්ධ බව පවසයි. ප්‍රධාන ගුරුවරයාට සහය පළ කරමින් උද්ඝෝෂණයක් සංවිධානය කළ සිසුන් දෙදෙනෙක් ද මේ අතර සිටිති.
ප්‍රධාන ගුරුවරයා තවමත් අත්අඩංගුවේ පසුවේ. එමෙන් ම, නුස්රත් පැමිණිල්ල ඉදිරිපත් කිරීම වීඩියෝගත කළ පොලිස් නිලධාරියා ඔහුගේ නිලයෙන් පහ කර වෙනත් පොලිස් ස්ථානයකට මාරු කර යවා ඇත.
"මේ අපරාධයට සම්බන්ධ කිසි ම කෙනෙකුට නීතියෙන් බේරෙන්න දෙන්නේ නැහැ," යැයි බංගලාදේශ අගමැතිනි ෂයික් හසීනා මිය ගිය නුස්රත්ගේ පවුලේ අය හමුවෙමින් පවසා තිබිණි.



නුස්රත්ගේ පවුලේ අය
නුස්රත්ගේ මරණයත් සමග ලිංගික හිංසනයන්ට මුහුණ දුන් කාන්තාවන්ට එල්ල වන හිරිහැරවලට එරෙහිව බංගලාදේශය පුරා උද්ඝෝෂණ පැවැත්වෙන අතර, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දහස් ගණනක් සිය කෝපය පළ කර තිබේ.
"බොහෝ කාන්තාවන් තමන්ට වෙන ඔය වගේ හිරිහැරවලට විරුද්ධ වෙන්නේ නැහැ. බුර්කා විතරක් නෙමෙයි යකඩෙන් හදපු ගවුම් ඇන්දත් කාන්තා දූෂකයින්ව නවත්තන්න බැහැ" යැයි අනෝවාර් ෂෙයික් බීබීසී බෙංගාලි සේවයේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබිණි.
"මගේ ජීවිත කාලය ම මට ඕන වුණේ දුවක් හදන්න. නමුත් දැන් මම ඒකට බයයි. මේ රටේ දුවක් හදනවා කියන්නේ ජීවිතය ම ගෙවන්න වෙන්නේ බයෙන් සහ දුකෙන්," ලෝපා හොසේන් සිය ෆේස්බුක් පිටුවේ පළ කර සටහනක සඳහන් විය.
බංගලාදේශයේ කාන්තා අයිතීන් පිළිබඳ සංවිධානයක් පළ කළ දත්ත අනුව 2018 වර්ෂයේදී කාන්තා දූෂණ සිද්ධි 940ක් වාර්තා වී ඇතත්, සත්‍ය ගණන ඊට බොහෝ වැඩි බව පරීක්ෂණ කණ්ඩායමක් පවසයි.

-බීබීසී සිංහල-

No comments:

Post a Comment