20180106

මානව වාදී කවියා මානව වාදියෙක්ද???


මම මානව වාදය පිළිගන්නේ නෑ.

එහෙම නැත්නම්..............
මම මානව වාදය වෙන විදියකට දකිනවා ඇති.

ආහාර, නිවාස, ඇඳුම් ආදිය
ඉඳහිට කෙනෙකුට ලබා දීමෙන් එහා
භෞතිකව කෙනෙක් සුවපත් කිරීම
තව කෙනෙකුට කළ හැකියයි
මා විශ්වාස කරන්නේ නෑ.

මානසිකව සුවපත් කිරීම
ඊටත් එහා ගිය අසීරු කාර්යයක්.
දුක් විඳින මිනිසෙක් සුවපත් කරන
යම්කිසි කවියක් ඔබ අසා දැක තියනවාද?

කවියෙන් දුක නැති කරන්න බැහැ.

ධම්මපද ගාථාවකින්වත්
තව කෙනෙක් දුකෙන් මුදවන්න බැහැ.

"යේ ධම්මා හේතුප්ප භවා"
කවි පදයෙන් උපතිස්ස සුවපත් වුණත්
ඒ සුවපත් කිරීම අස්සජි හිමියන්
කළ දෙයක් නම් නොවෙයි.
උපතිස්ස සුවපත් වෙන්න ක්‍රියා කළේ
උපතිස්ස විසින්මයි.
ඒ කවිපදය ඇසුණ පමණින්
කෝලිත සුවපත්වුණේ නෑ.

තාගෝර් දුක් විඳින කම්කරුවා
දෙවි කෙනෙක් විදියට දකින කවියෙන්
කම්කරුවා සුවපත් වෙනවාද?
රසිකයා කියවන කවියෙන්
සුවපත් වීම කම්කරුවාට
කිසියම් සුවයක් වේද?

කවියෙන් කවියා සුවපත් වෙන්න පුලුවන්.
ඔහු කවිය ලියද්දී දකින සත්‍යය
ඔහු සුවපත් කරන්න පුලුවන්.
කවියා මුහුකුරා යන්නට ඒ කවිය
යම් ආකාරයකින් පාදක වුණොත්
කවිය නිසා මානව වාදී කවියා
වඩාත් මානව වාදී වෙන්න පුලුවන්.
ඒ ඔහු තුළ දුක දකීමෙන් පහළ වෙන
ප්‍රඥාව නිසා විනා කවිය නිසා නොවෙයි.

"කවිය මානවවාදි විම තුලින්
කවියා මානවවාදි වෙන්නේ නෑ."
සුජීව කියන දේ
සත්‍යයක් වෙන්නෙ බුද්ධිමත් කවියාටයි.
ඔහු තර්කයෙන් දකින දුකට
ඔහු සැබෑ ලෙසම සංවේදී නෑ.

සුජීව ඉල්ලා සිටින සහභාගිත්ව ප්‍රවේශය
ඔහු සංවේදී නොවෙන දුකකට
ඔහු තර්කයෙන් දෙන විසඳුමක්.

ප්‍රායෝගික ලෝකයේ දුක් විඳින්නාට
ඔහුගෙ විසඳුම දෙවැනි දුකක් වෙයි.

බිරිඳ මියගොස් හඬන කෙනෙකුගෙ දුක
ගණිකාවක් සැපයීමෙන් නිවන්න බැහැ.

ප්‍රඥාවන්ත කවියා කවියකින් කරන්නෙ
ඔහුගේ කඳුලු වලින් කෙරෙන භාව විශෝධනය
ඊට වඩා සියුම්ව හැඟීම් මට්ටමෙන් කරන්න
වියෝදුකින් පෙළෙන්නාට ඇසෙන්නට
"කාත් කවුරුවත් ඇතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්" කියා කීමයි.

විරහ වේදනා විඳ හුරු හදවත්
ඒ කවියේ ගීතයේ අත්වැල අල්ලාගෙන
භාව විශෝධනයෙන් සුවපත් වෙනවා.

ප්‍රඥාවන්ත කවියාත්
තවම දුක් විඳින්නෙක්.

කවියා රසිකයාට ඉදිරියෙන් යන නමුත්
බිරිඳ මිය යන දවසේ
ඔහුත් රසිකයෙක් මෙන් හඬා වැටෙන්නට පුලුවන්.
ඒ දුක සමනය වූ හිතින්
ආවර්ජනාත්මකව ඔහු ලියන
"කාත් කවුරුවත් ඇතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්" පද වැල
ඔහුගේ නෙතේ කඳුලු වෙනුවට
සිතේ කඳුලු නිදහස් කරනවා.

ඒ කවිය කියවන කෙනෙකුගේ
නෙතේ කඳුලු නිවී
සිතේ කඳුලු නිදහස් වෙනවා.

කවියෙන් දුක සමනය වෙන්න පුලුවන්.
කවියෙන් දුක නැති වෙන්නේ නෑ.
කවියා දුකෙන් මුදවන්නවත්
කවියට පුළුවන් කමක් නෑ.

කවියා මානවවාදී වෙන්නෙ
ඔහුගෙ දුක ඔහුම හඳුනාගත් නිසයි.

දුක දැකීමෙන් සුවපත් වී
අනුන් සුවපත් කරන්නට කවියෙන් සූත්‍ර ලියූ
ලොව හොඳම මානව වාදී කවියා
බුදුන් වහන්සේයි.
Athula Siriwardhane

No comments:

Post a Comment