20171004

නොගැලපෙන හදවත් බද්ධ කල හැකිද?

දසුන් නිෂාන්ට මෙන්ම සචිනි සෙව්වන්දිට
ජීවිතය අහිමි වූයේ හදවත නිසාය.

"පුතේ බාධා වුණානෙ.
ඔය ගමන යන්න එපා"
වැඩිහිටියන් කියනු අප අසා තිබේ.

ඒ බස නො අසා පිටවී යන අයට
ඒ අවස්ථාවට පමණක් සාපේක්ෂව
ඒ කතාවෙහි ඇත්ත නැත්ත ගැන
දැන ගන්නට ලැබෙයි.

සමහරවිට වැඩිහිටියා නිවැරදිය.
හැමවිටම නිවැරදි නැත.

මේ හදවත් බද්ධයේදීත්
වෛද්‍යවරුන්ගේ පුද්ගලික වර්ජනය මත
සැත්කමට බාධා වීම
සැත්කම අසාර්ථක වීම පිළිබඳව
අසුභ පෙර නිමිත්තක්ද?

සචිනිගේ ජීවිතයේ අවදානම
ඇගේ හදවතේ ක්‍රියාකාරිත්වය අඩු වීමද?
ඒ අඩුවීම නිසා ඇය මරණයට පත්වීමද?

හදවතේ ක්‍රියාකාරිත්වය අඩු වීම
මාරාන්තික නැත්නම් ඇයට ජීවත් වන්නට
හදවත් බද්ධයක් අවශ්‍යද?

අඩු ක්‍රියාකාරිත්වයක් සහිත හදවත
ඇය මරණයට පත් නොකරනවා නම්
ඇයට හුරු පුරුදු ඇගේ හදවත සමග
ජීවත්වන්නට සුදුසු වාතාවරණයක්
හදවත් බද්ධයකට වාඩා
ඇයට සුදුසුද? නැද්ද?

මාස හයක් තිස්සේ කල් බලමින් සිට
හදවතක් ලැබී සැත්කම සූදානම් වෙද්දී
වෛද්‍යවරු කොටසක් සැත්කම වර්ජනය කිරීමෙන්
පළමු හදවත විනාශ වී යැමෙන් පසු
දෙවන වරට ලැබුණ හදවත
ඇයට ගැලපුණාද, නැද්ද?

පළමු හදවත නාස්ති වීමෙන් පසු
"වෛද්‍යවරු හදවත් මරාගත්තා"
කියා දොස් පවරන විට ඉන් මිදීමට
නිසි පරීක්ෂණ වලින් තොරව
හදිසියේ සැත්කම කළාද?

හදවතේ ක්‍රියාකාරිත්වය අඩු වීම
මාරාන්තික නැත්නම් ඒ අඩුපාඩුව සමග
ඇය රැකගෙන ජීවත් වන්නට
දෙමාපියන් එකඟ වේද?

පවුලක් ලෙස සැලකූ විට
ජන්ම අඩුපාඩු සහිත දරුවන් හෝ
පසුව අඩුපාඩු ඇති වෙන දරුවන්
ඒ අඩුපාඩු සමග පිළිගන්නට නොහැකිවීම
සචිනිගේ මරණයට හේතුවද?

සචිනිගේ හදවත ක්‍රියාකාරිත්වය අඩුවීම
හදවතේ පමණක් ප්‍රශ්නයක්ද?

සමස්ත ශරීරය, මොළය, ස්නායු පද්ධතිය
මේ සියල්ලේම පොදු ගුණාකාරයක් ලෙස
හදවතේ ක්‍රියාකාරිත්වය අඩුවුණා නම්
හදවතක් බද්ධ කිරීම පමණක්
ඇය සුව කරන්නට ප්‍රමාණවත් වේද?

සචිනිගේ හදවත රෝගී නම්
හදවත් බද්ධය සාර්ථක විසඳුමක්.
ඇගේ ශරීරය රෝගී නම්
හදවත් බද්ධයක් සාර්ථක වෙයිද?

පරණ රෙද්දකට අලුත් රෙද්දකින්
එළලන්න බැරි බව අපි දන්නවා.

ඇගේ රෝගී බවට හේතුව
ඇගේ හදවත පමණක් නොව
හදවතත් ඇතුළුව මුලු සිරුරේම නම්
වෙනත් නිරෝගී හදවතක්
රෝගී සිරුරට ගැළපේද.?

"අඩි පහක් හයක් ඇවිද්දත්
ඇය වෙහෙස වෙනවා" කියා
සචිනිගේ පියා කියනවා.
මේ වෙහෙසට එකම හේතුව
හදවත දුර්වල වීම පමණක්ද?

සමස්ත ශරීරය දුර්වල වෙද්දී
හදවත ඉතිරි විය හැකිද?
ඒ හදවත වෙනුවට වෙනත් හදවතක්
බද්ධ කර ඇය සුව කරන්නට නම්
සමස්ත ශරීරය සුවපත් කළයුතු නේද?

මේ දුර්වලතා සමග ඇයට ඇගේ ලෝකයේ
ළදරුවෙක් මෙන් ජීවත් විය හැකි ලෙස
පරිසරය සකස් කර දුන්නා නම්
ඇය කොපමණ කලක් ජීවත් වේද?

සොබා දහමෙන් ඇයට ලැබුන කාලය
සතුටෙන් ජීවත්වන්නට ඇයට ඉඩ දුන්නා නම්
ඇගේ ජීවිතයට ප්‍රමාණවත් නැද්ද?

මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට
සමාජයක් ලෙස අපට නොහැකි වීම නිසා
සචිනි සෙව්වන්දි ඒ පවුලට අහිමි විය.

සියලුම බාහිර සම්පත්වලින් පිරිපුන්
දසුන් නිෂාන්, ගෝමරී වැන්නන් පවා
මනසේ ක්‍රියාකාරිත්වය විකෘති වීමෙන්
විසඳුම් නැති ප්‍රශ්නවලට මැදිවී
හදවතේ ක්‍රියාකාරිත්වය
සියතින්ම නතර කරගනිති.

හදවත් නොගැලපීම නිසා
ජීවිත කාලය දික් කරන්නට ගත්
මාරාන්තික අවදානම වැරදී ගියෙන්
සචිනිගේ ජීවිත කාලය කෙටි විය.

දසුන් නිෂාන් මිය ගියේත්
තමාට නොගැලපෙන හදවතක්
බද්ධ කරගන්නට දැරූ වෑයම
අසාර්ථක වීමෙන් නොවේද?

දසුන් නිෂාන්ගේ ජීවිතය
අඩුපාඩු සමග පිළිගන්නට
දසුන් නිෂාන්ට නොහැකිවීම
ඔහුගේ මරණයට හේතුවයි.

සචිනි සෙව්වන්දි
අඩුපාඩු සමග පිළිගන්නට
සමාජයට නොහැකිවීම
ඇගේ මරණයට හේතුවද?

No comments:

Post a Comment