20171016

ගීතය කවියේ විලංගුවෙන් මුදා ගනිමු.

නින්ද විරසක රාත්‍රියේ...
හීතට වද දෙන ප්‍රේමයේ..
හීන පැදකුණු කරන සයනේ
කඳුළු බර වැඩි නෑ .
රැහැයියනි ඔය විරහ ගී නවතා
පාඩුවේ මට ඉන්න දෙනවද
කඳුළු බර වැඩි නෑ....
මේ, කඳුළු බර වැඩි නෑ...

ප්‍රේමයක් යනු රිදුමක්ම පමණී.
අපට ඒ බව පසක් වී තිබිණී.
ඇනුණ විසකටු දරා ගන්නට බෑ...
විරහ ගීයක කිසිදු අරුතක් නෑ..

කදෝකිමි එළි කුමට මා නිවසේ
සඳ කිරණ ඇවිලුණා පෙර දවසේ
නිලන සිහිලැල් සිනා කඳුරක් නෑ....
වන්දනාවක පවා සුවයක් නෑ ...

රචනය: නයනසේන වන්නිනායක

වන්නිගේ මේ ගීතය
සාර්ථක ලෙස කාව්‍යාකෘතියෙන් මිදුණ
කාව්‍යමය ගීතයක්.

පසුගිය කාලයේ කවි මෙන් ලියන ගීත
නවකයන් විසින් යොදන කවි වැනි තනු සහිත
එකාකාරී ගීත ඇසීම අප්‍රසන්න වූ කාලයක්.
පද රචනාව කියවද්දී
ඇදෙන්නේ නැති ස්ථාවර වචන
අදින්නට යෙදූ තනු නිසා
සමස්ත ගීයේම පිරිමි කම නැසී
නපුංසක ස්වභාවයක් දක්නට ලැබුණා.

කවියත් ගීතයත් දෙයාකාර නිර්මාණයන්.

කවිය බොහෝ දුරට හැඟීමට වඩා
අරුතට හා විරිතට මුල්තැන දී ගයන
උපේක්ෂා සහගත නිර්මාණයක්.

ගීතයෙහි පදනම වන්නේ
රචකයාගේත් සංගීතඥයාගේත්
ගායකයාගේත් තුන් ඈඳුතු ප්‍රයත්නයක්.
එහි මූලික අරමුණ හැඟීම් ප්‍රකාශනයයි.
රචකයා ඒ සඳහා දරන වෑයමේදී
හැඟීම් ප්‍රකාශනය සඳහා වූ
පුළුල් නිම්වළල්ලක් සැපයීම මගින්
සංගීතඥයාත් ගායකයාත් නිදහස් වී
නිර්මාණය සාර්ථක වෙනවා.

කවියෙක් විරිතකට අනුව කවි ලියන්නේම
විරිතට අනුව ගායනා කිරීමේ අරමුණෙන්මයි.
වාණිජ අරමුණෙන් මුදල් සඳහා ලියන
යාන්ත්‍රික ගී පද රචකයාට යාන්ත්‍රික රාමුවක කවි ලිවීම
නිර්මාණාත්මක ගී ලියනවාට වඩා පහසුයි.
විරිතකට ලියන ගීතයට තනුව යොදන සංගීතඥයා
ඒ විරිත තුළ අත පය විලංගු ලූ සිරකරුවෙක් වීම
වැළැක්වීමට අසීරු අපරාධයක්.

සංගීතඥයා අතිදක්ෂයෙක් නම්
ඒ සිර ගෙයින් මිදෙන්නට සමත් වන නමුත්
වාණිජත්වයට වහල්වී කාලය ගැන සිතන
දක්ෂ සංගීතඥයා පවා විරිතට යට වෙනවා.
මඳ දක්ෂතා ඇති සංගීතඥයන්
ඒ කාව්‍යාකෘතියේම හිරවෙනවා.

කාව්‍යාකෘතියෙන් මිදී ලියන්නාට
යාන්ත්‍රික බව ඉක්මවන නිර්මාණශීලී බවත්
වචන වල රිද්මය තුළ සැඟවෙන
කවිත්වයේ සවිමත් පදනමක් නැති
අල්පප්‍රාණ ගී පද රචකයන්
කාව්‍යාකෘතියෙන් නිදහස් වීමට අසමත්.

පැහැදිලි කවි පෙළක් වන 'සුදු හාමිනේ' රචනාව
මඳ වශයෙන් හෝ කාව්‍යාකෘතියෙන් මිදී
කවියේ හැඟීම තීව්‍ර කරමින් ගයන්නට
නන්දා මාලනිය සමත් වෙනවා.

සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ

උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන

දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී
මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී
ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී.

ගායනය සංගීතය නන්දා මාලිනි
රචනය සුනිල් ආරියරත්න

රිද්මය හොඳින් හඳුනන සේකර
ඉතා කාව්‍යාත්මක නමුත් කවි නොවූ
ගී ලියන්නට සමත් වුණා.

පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව, පැතුම ඇයයි...

අසාරවූ මහ පොළව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාකාලිකවු සැපත ඇයයි...

කැළැව මැද ක‍ටු පඳුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි...

සේකර - අමරදේව නිර්මාණයක්.

මේ ගීය අමරදේවයන් ගයන්නේත්
කවි ගායනයකට හුරු රිද්මයකින් වුවත්
අපිට කවියක් මෙන් දැනෙන්නේ නැහැ.

අහසට පිඹිනා එරන් කළේයා
පොළවට පිඹිනා භූමි කළේයා
විරිතට අනුව
සසර වසන තුරු නිවන් දකින තුරු
කියා ඇරඹෙන ගී පද රචනාව
ඉන් මිදී වෙනත් මගක ගන්නා අයුරු
ඉතාමත්ම අපූර්වයි.

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

පද රචනය : ඩෝල්ටන් අල්විස්
ගායනය : ඩබ්. ඩී. අමරදේව

රසඥතාවයක් ඇති සියල්ලන් තුළම
දේශාභිමානී හැඟුම් දනවන
මේ මියුරු ගීතය පිළිබඳ
අතුරු කතාවක් ඩොල්ටන් අල්විස්ගෙ බිරිඳ වන
ආරියවති සේනානායක මෙසේ පවසනවා.

"ඩෝල්ටන්ගේ කවිය වගේම ගීතත් හරිම සරලයි. එයා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සරල බසක් තමයි යොදා ගෙන තිබුණේ. ලිව්ව පද රචනයේ තනුව තිබුණා. සංගීතඥයාට වුණත් තනු දාන්න හරිම ලේසියි. අපි අතරේ භාවිත වන වචනවලින්ම තමයි එයා ගීත නිර්මාණය කළේ. ඒ සරල බව එයාගේ ගීත කලාව ඔපමට්ටම් කළා.
ඩෝල්ටන් අතින් ලියැවුණු ගීත අතුරින් වඩාත්ම කැමැති ගීතය 'සසර වසන තුරු' බව එයා කීප වරක් මට කියා තිබුණා. එයා කිව්වේ ක්ෂණිකව එයා අතින් ලියැවුණු පිරිත් සජ්ජායනාවක දෝංකරයෙන් මතුවලා ආපු මේ ගීතය කියලා.
මේ ගීතය ලියනු ලැබුවේ ගෙදරදී. මට මතක හැටියට 1972 වසරේදී විතර. එදා පසළොස්වක පෝය දිනයක්. එදා රෑ දොළහට විතර ඇති. රේඩියෝ එකේ මහ පිරිත විකාශය වෙනවා. මගේ අම්මත් ඩෝල්ටනුත් පිරිත් අසමින් හිටියා. ඔය අතරේ ඩෝල්ටන් නිදිමතයි කියලා අම්මාට පිරිත් අහන්න රේඩියෝව දාලා එයා නිදාගන්න ගියා. මමත් නිදාගන්න ගියා. කොහොම හරි පැය කීපයක නින්දෙන් පසු මාව හදිසියේ ඇහැර වුණේ කාමරයේ මහත්තයා ඇහැරගෙන කරන ලියන කියන දේවල් නිසා. මම ඇයි මේ රෑ ඇහැරගෙන කියලා මහත්තයාගෙන් ඇහුවාම එයා ඔය ලිව්ව ගීතය මගේ අතට දුන්නා. ඒක දැකපු මම පුදුමයට පත් වුණා. ඒ පාර මහත්තයා මට කිව්වා මේක පිරිතකින් පස්සේ බිහි වෙච්ච සිංදුවක්. මේක මම අමරදේවට දෙනවා කියලා.

පිරිත් යන රේඩියෝව දාලා තියෙද්දීම එයාට ටික වෙලාවකින් නින්ද ගියාලු. නින්දේදී එයාට සිහිනයක් පේන්න පටන් ගත්තලු. ඒ හීනේ තමයි මහත්තයා සුදු ඇඳගෙන සුදු මල් වට්ටියක් අතින් අරගෙන පළමුව ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් වැඳලා ඊළඟට රුවන්වැලි සෑය ළඟට ගිහින් වැඳලා පස්සේ තිසා වැවෙන් නාලා ආයෙත් රුවන්වැලි සෑයට මල් වට්ටියක් පූජා කරලා ඉවර වුණාලු. ඊට පස්සේ සීගිරියට ගිහින් සීගිරිය නගින්න හදන තැනම වම් පැත්තේ සිංහාසනයක් වගේ එකක වාඩි වෙලා මහත්තයා ගිමන් හැරියාලු. එක පාරටම ඇහැරුනාලු. සසර වසන තුරු - නිවන් දකින තුරු - පින් කෙත හෙළ රන් දෙරණේ - යළි උපදින්නට හේතු වාසනා වේවා කියන වචන මාලාවක් එක්කම මහ නාදයක් එයාගේ කණට ඇතුළු වුණාලු. ඒ පාර එයා එක පාරට ඇඳෙන් බිමට බැහැලා කාමරයේ ලයිට් එක දාලා පෑන අරන් ලියාගෙන ලියාගෙන ගියාලු. ගීතය ලියලා ඉවර වුණා විතරයිලු එයාව සසල වෙලා ගියාලු කොහොමද මම මේ ගීතය ලිව්වේ කියලා. ඔය වෙලාව පාන්දර හතරට විතර ඇතිලු.

මුළු සිංහල ජාතියේම වංශ කතාව ගත්තහම මේ පද ස්වල්පයේ ඒ සියල්ල ඇතුළත්. අපේ සංස්කෘතිය, බෞද්ධ හැදියාව, සිංහලයාගේ අදීන කලා කුසලතා ගැන කියන්න වෙන වචන ටිකක් ඇතැයි කියලා 
මම හිතන්නේ නැහැ."
"සසර වසන තුරු"
කාව්‍යාකෘතියෙන් මිදී ලියා
කාව්‍යාකෘතියෙන් මිදී ගායනා කළ
සුවිශේෂී ගීතයක්.

පැරණි රාගධාරී ගීත සහ හින්දි ගීත අනුකරණ ගීතවල
මේ කාව්‍යාකෘතියෙන් මිදුණු රචනා
දකින්නට ලැබුණා.

කෙනෙක් උත්සාහ කළත් ඒ ගීත
කවි මෙන්ගායනා කරන්නට නොහැකියි.

සිරි බුද්ධ ගයා විහාරේ
වඳිනේමූ මෝක්ෂ පතාලා
ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා
මරංග්නන් පරදාලා...
බුද්ධගයා.. සිරි බුද්ධගයා
විහාරේ වඳීනේමූ මෝක්ෂ පතාලා

ශ්‍රී මහ බෝධී වෙත සැදි ඒ
විදුරසුනේ දී මුනිරාජා...
ආ දස බිම්බර මාර සේනා
පෙරුම් බලෙන් පරදාලා

බුද්ධගයා.. සිරි බුද්ධගයා
විහාරේ වඳිනේමූ මෝක්ෂ පතාලා

ප්‍රාතිහාර්ය පෑ දස බලධාරී
ජය බිම මේ විශාලා
සාසන ආලෙ ඇති ලෝ වාසී
බවදුක නසනා සේමා
වඳිනේමූ මෝක්ෂ පතාලා...

සිරි බුද්ධගයා විහාරේ
වඳිනේමූ මෝක්ෂ පතාලා

එච්. ඩබ්ලිව්. රූපසිංහ - රුක්මණී දේවී
සී. වීරසේකර / එච්. ඩබ්ලිව්. රූපසිංහ
1939 වසරේ HMV තැටියක්

මේ ගීතය තුළ සංගීතය
ගීතමය සංවාදයේ ප්‍රධාන භූමිකාවක්....

අපේ ගීත වලට තනු යොදන විට
සංගීතය සංවාදාත්මක ලෙස
සජීවී ලෙස සහභාගි වෙනවාද?
අපේ බොහොමයක් ගීතවල
සංගීතය පසුබිම් සංගීතයක් පමණයි..

දකුනු ඉන්දියානු සංගීතඥයන්
ඉතාම සාර්ථකව සංවාදාත්මකව
සංගීතය යොදාගන්නවා.

දමිළ භාෂාව ඉතා රළු වචන සහිත
අපට නුහුරු භාෂාවක්.
එවැනි භාෂාවකින් ගැයෙන ගීත
ඉතාම මිහිරි තනු යොදා ඇති බව
අපිට පෙනෙනවා.

මේ දමිළ ගීතයෙහි පද රචනය බලන්න.

මලරේ මෞනමා
මෞනමේ වේදමා
මලර්ගල් පේසුමා
පේසිනාල් ඕයුමා
අන්බේ

මේ ගීතයට තනුව යෙදීමේදී
පද වැලේ විරිත නොසලකා හරින සංගීතඥයා නිසා
ගීතය වෙනම තලයකට පත් වෙනවා.
එක වචනයක් ඔහුට පේලියක්.

ඔහු පද වැල බෙදා ගන්නෙ මෙසේයි.

මලරේ...........
මෞනමා...........
මෞනමේ...........
වේදමා...........

මලර්ගල්...........
පේසුමා...........
පේසිනාල්...........
ඕයුමා...........

අන්බේ.
 
 

No comments:

Post a Comment