20170925

සිය දිවි නසා ගන්නට සිතන ඔබට...


ජීවිතය තුළ
කොතරම් සිතුවිලි
ඇති වී නැති වී යනවාද?

මේ මොහොතේ අප ගන්නා තීරණයක්
ඊළඟ මොහොතේ වෙනස් වෙන්න පුලුවන්.
ඒ වෙනස් වීම අප නොසලකන්නත් පුලුවන්.

ඒ වෙනස් වීම නිසා ජීවිතය...
නැත්නම් මරණය හිමි වෙන්න පුලුවන්.

වේගයෙන් එන වාහනයට කලින්
පාර පනින්න පුලුවන් කියා
ඔබ ක්ෂණයකට හිතනවා.
වේගයෙන් එන දුම්රිය එන්න කලින්
අනාරක්ෂිත දුම්රිය පාර
ඉක්මවා වාහනය පදවන්න
ඔබ ක්ෂණයකට හිතනවා.

ඊළඟ මොහොත තීරණාත්මකයි.

ඔබ ඒ මොහොත ඉවසීමෙන්
ඔබට නැති වෙන කිසිම දෙයක්
ඔබේ ජීවිතය තරම් වටින්නේ නෑ.

පේරාදෙණියේදී මිය ගිය ගෝමරී
අධ්‍යාපනය විසින් ජීවිතයේ වටිනාකම
කිසිවෙකුට කියා නොදෙන බවත්
ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්න වලට
අධ්‍යාපනයෙන් විසඳුම් ලබා නොදෙන බවත්
අපට පසක් කර දුන්නා..

යොවුන් රුව, කඩවසම් බව, ජනප්‍රියත්වය ආදී
කිසිවකින් සැනසෙන්නට කෙනෙකුට නොහැකි බවත්
තමන්ගේ චරිතය, පෞරුෂය දුර්වල නම්
එක් ක්ෂණයකදී ඇති වෙන සිතුවිල්ලක් මගින්
ගෙල සිරකරදමා ජීවිතය අහිමි කරන්නට
ඉරණම කුරිරු විය හැකි බවත්
දසුන් නිෂාන් අපට කියා දෙනවා.

සිය දිවි නසා ගන්නට ගත් තීරණය
ඔහු තව සුළු මොහොතකට කල් දැම්මා නම්
ඒ නිමේශය ප්‍රමාණවත් වෙන්නට
ඉඩ නොතිබුණා යයි සිතිය නොහැකියි.

සිය දිවි නසාගන්නට එන සිතුවිල්ල
සුරතාන්තය මෙන් තාවකාලිකයි.
ඒ මොහොත ඉක්මවන ජීවිත
මරණය මගහරින්නට සමත් වෙනවා.

රේල් පාරෙ තියපු පය
අවසන් මොහොතේ ආපස්සට ගන්න
ආත්ම දමනය තිබුණොත්
පෙර නිමිති එකක්වත් අදාළ නෑ.

මේ අයුරින් තීරණය කල් දැමීමෙන්
රැකුණ ජීවිත කොතරම් නම්
අප නොදැනුවත්ව අප අතරම
අපටත් වඩා සතුටෙන්
ජීවත් වෙනවා ඇතිද?

කෙනෙක් හෝ දෙයක් නැති නිසා
සිය දිවි එපා වූ මොහොත ඉක්මවූ නිසා
ඒ දේවල් වල වටිනාකමත් ඉක්මවන
වටිනා බොහෝ දේ ඔවුන් සතු වී ඇති.

මරණය යනු
ජීවත් වෙන කිසිවෙකුත්
තමන් වෙනුවෙන් හෝ අනුන් වෙනුවෙන්
ගත යුතු තීරණයක් නොවෙයි.

පෙළඹවීම කොතරම් බලවත් වුවද
තීරණය ජීවිතයත් මරණයත් අතර නම්
ජීවිතය තෝරාගත යුතුය.

ජීවිතය පිළිබඳ තීරණ
හදිසියේ නොගැනීම යහපත්ය.

ජීවිතය පිළිබඳ තීරණ
තනි මතයට නොගැනීම යහපත්ය.

තවත් කෙනෙකුට දැනෙන්නට
ඔබ නැති කරගන්නා ජීවිතය
ඔබට තරම් වෙන කිසිවෙකුටත්
වටින්නේ නැත.
ඔබ නැතැයි කියා අනෙකුත් ජීවිත
නතර වන්නේත් නැත.

ඔබ නතර වන්න, මොහොතකට....

ඔබේ ජීවිතය ඔබෙයි.

ආදරේ කරන්න,
ඔබ,
ඔබේ ජීවිතයට...

  වෙන කවුරුවත්ම නැතත්....


No comments:

Post a Comment