20170506

වර්ජන මග හරින වර්ජන සංවිධායකයා, වෛද්‍ය පාදෙණිය


වෛද්‍ය පාදෙණිය 2017 05 05 වර්ජනයේ මූලිකයායි.

ඔහු ළමා රෝහලට නැතිව බැරි කෙනෙක් නොවෙයි.

ඔහු දවසේ පැය විසි හතරම
දවස් 365ම එතන ඉන්න කෙනෙක් නොවෙයි.
වෙනත් සුළු අවශ්‍යතාවයන් වලටත්
ඔහු නිවාඩු දමනවා ඇති.

වර්ජනය පිළිබඳ රැස්වීම් සඳහාම
පැය අටට වඩා නිවාඩු දමන්න ඇති.

වෛද්‍ය පාදෙණියට අවශ්‍ය නම්
වැඩ වර්ජනයට සහයෝගය දෙන්න විකල්ප තිබුණා.
ඔහු කිසිම සහයෝගයක් දැක්වූයේ නෑ.

වර්ජනය කරන්න බැරි තැන්වල වැඩ කරන අය
වැඩ වර්ජනයට සහයෝගය දෙන්න
වර්ජන දිනය ගත කරන්නේ ලෙඩ නිවාඩු මතයි.
ඒ ඔවුන් වර්ජනයට සහයෝගය දෙන්නයි.
ගුරුවරුන්ට එසේ කරන්නට ඔවුන් උපදෙස් දුන්නා.

පාදෙණියට ලෙඩ නිවාඩු දමන්න තිබුණා.

ඔහු එදා ලෙඩ නිවාඩු නොදැම්මේ ඇයි.?

ගොමා වර්ජන කරන ශෛලියද
රටේ ඉහළම බුද්ධියෙන් තනා ගත්
අපූරු වර්ජන රටාවකට කෙරෙන්නකි.

ගොමා රෝහල් වර්ජනය මතුපිටින් බලන විට
සානුකම්පිතය, කාරුණිකය, දයාබරය.
ඔවුන් වර්ජනය කරන්නේ සායන සහ
බාහිර රෝගී අංශ පමණි.

ගොමා වර්ජන වලින් වඩාත් පීඩා විඳින්නේ
කිසි විටෙකත් පෞද්ගලික රෝහලකට නොයන
ඉතාම දුගී දුප්පත් සරණ ජනතාවයි.
ඔවුන් විඳින දුක සමාජයට හුරුය.
ඔවුන් දුක් වින්දාට සමාජය දුක් නොවෙයි.
ඔවුන් දුක් විඳින්නටම උපන් පව් කාරයන්ය.
ඔවුන්ට ප්‍රතිකාර කිරීම වර්ජනය කළාට
කිසිවෙකු විරුද්ධ වන්නේ නැත.

අනෙකුත් අංශ වර්ජනය කිරීම
වෛද්‍යවරුන්ගේ හොඳ නමට කැළලකි.
චැනලින් කඩ වල  වෙළඳ සන්නාමයට
හානි කරගැනීම හානියකි.

වර්ජන සංවිධානය කරන පාදෙණිය
වර්ජනය දවසේත් වැඩ කරන්නේ
මේ වෙළඳ සන්නාමය රැක ගන්නටද?.

පාදෙණිය එදා උදේ වැඩ කරන්න ඇත්තේ
හවස නවලෝකෙ පුද්ගලික සේවය කරන්නයි.
හවස සායනයට එන පාදෙණිය වෙනුවෙන්
දහදෙනෙකුට කාලය වෙන් කරන්න
නවලෝක රෝහල ක්‍රියා කොට තිබුණා.

උදේ වරුවෙ වැඩ නොකර ලෙඩ නිවාඩු දමලා
පුද්ගලික රෝහලේ වැඩට යන්න බෑ.
උදේ වැඩ කරලා හවස නවලෝකෙ ගිහින්
ප්‍රශ්න කරන අයට කියන්න පුලුවන්...
දවසේම වැඩ කළා නේ කියලා.

උදේ සේවය කළ නිසා හවස සේවය
ගැටළුවක් නොවේයයි ඔහු සිතන්න ඇති.
ඔහු වෙනුවෙන් කතා කරන්නට
බැතිමතුන් ඉන්න බව ඔහු දන්නවා.

"ළමා වෛද්‍යවරු වර්ජනය කරන්නෙ නෑ"
කියලා බැතිමතුන් අපිට කියාවි.

ඒත් සියල්ල කණ පිට ගැහුණේ
රන්ජන්ගේ වික්‍රමය නිසයි.
ඒ කතාව නැත්නම් ඔහු උදෙත් වැඩ කරලා
හවස පුද්ගලික සේවයත් කරන්න ඉඩ තිබුණා.

ඔහු පුද්ගලික වාසි තකා වැඩ කළ බවයි
මම නිගමනය කරන්නෙ.

වෛද්‍ය පාදෙණියට අවශ්‍ය නම්
වැඩ වර්ජනයට සහයෝගය දෙන්න විකල්ප තිබුණා.
පාදෙණියට ලෙඩ නිවාඩු දමන්න තිබුණා.
ඔහු වර්ජනයට කිසිම සහයෝගයක් දැක්වූයේ නෑ.

පාදෙණිය පාවාදෙණිය වීම
බොහෝ දෙනෙකුට තේරුම් ගන්න අපහසු වෙලා
ඔහු මුදවා ගන්න තර්ක කරනවා.

ඒ සියල්ලටම පදනම් වෙලා තියෙන්නෙ
"ඔහුගේ වගකීම ඔහු ආරක්ෂා කළා,
ඔහුගෙ යුතුකම ඉටු කළා" කියන
ඒක පාර්ශවික පටු තර්කයයි.

අනුරුද්ධ පාදෙණිය
රජයේ රෝහලේ වෙනදා මෙන් වැඩ කළා.

වෛද්‍යවරු වැඩ වැරීම වැරදියි..
පාදෙණිය වැඩ වැරුවා නම් ඔහුට පමණක්
දොස් නගන්න අපට බැහැ.
එවිට ඔහු සමූහයකින් කෙනෙක්.
දැන් ඔහු
වැඩ වැරූ සහ නොවැරූ
සමූහ දෙකටම අයිති නැති
ද්‍රෝහියෙක්.

සරලව සිතා බලන විට
1, වෛද්‍යවරු වර්ජනය කරන එක
වෙනත් අය වර්ජනය කරනවාට වඩා වැරදියි.
2, වෛද්‍යවරයෙක් හෝ වෙනත් කෙනෙක්
තවත් පිරිසක් වර්ජනයකට යොමු කරලා
ඔහු වෙනදා මෙන් වැඩ කරනවා නම් ඔහු වැරදියි.

දෙවන කරුණෙදි
ඔහු කවුද කළේ කුමක්ද යන්න අදාළ නෑ.
අසාර්තක සහ මිථ්‍යා නායකයෙක් ලෙස
ඔහු තමන්ගෙ පිරිස පාවා දෙන ද්‍රෝහියෙක්.

යුද්ධ ප්‍රකාශ කළ රජ කෙනෙක්
අනෙක් සියල්ලෝම යුද්ධය කරන වෙලාවෙ
දවල් දවස දරුවන් නලවමින් ඉඳලා
හැන්දෑවට කඩේ බඩු වෙළඳාම් කළොත්
ඔහු රජකමට සුදුසු නැහැ.

ඔහුට වගකීම/යුතුකම්
දෙවිදියකට අදාළ වෙන බව
මේ පිරිසට දකින්න බැහැ.

1, පාදෙණිය නම් වෛද්‍යවරයා
2, පාදෙණිය නම් වෘත්තීය සමිති නායකයා.

මේ වෘත්තීය සමිති නායකයා විසින්
වර්ජනයක් කැඳවා ක්‍රියාත්මක වන විට
ඔහුගේ වඩාත් වැදගත් භූමිකාව වන්නේ
මේ දෙකෙන් කුමක්ද?

1, වෛද්‍ය පාදෙණිය
2, වෘත්තීය සමිති නායක පාදෙණිය

වැඩ වර්ජනය දවසේ
ඔහුට "පැහැර හැරිය නොහැකි" වගකීම කුමක්ද?

වැඩ වර්ජනය දවසේ
වැඩ කරන ජනතාවට ඔවුන්ගේ වෘත්තීය වගකීම
අසනීප නිවාඩු දමා හෝ පැහැර හරින්නට උපදෙස් දී
ඔහුගේ පැහැර හැරිය හැකි සහ පැහැර හැරිය යුතු වූ
වෛද්‍ය වෘත්තීය වගකීම රැකගත් වෛද්‍ය පාවාදෙණිය
වෘත්තීය සමිති නායකයෙක් ලෙස
ඔහුට පැහැර හැරිය නොහැකි සහ පැහැර හැරිය යුතු නොවූ
වටිනා වගකීම පැහැර හැරීම නිසා
ඔහු නායකත්වය දුන් ජනතාවට ද්‍රෝහියෙක් වුණා.

මේ සරල කාරණය
පහසුවෙන් තේරුම් ගත නොහැක්කේ
සිය වාසිය තකා අන් අය පාවා දෙන
බාල සිත් ඇති දුර්වල පෞරුෂයෙන් යුතු
නොමේරූ පුද්ගලයන්ටයි.
ඔවුන්ට එහි වරදක් පෙනෙන්නේ නැහැ.

රන්ජන්ගේ සිදුවීමත් ඇතුළුව
පාදෙණිය නිසා වෛද්‍ය සංගමයට වූ
නිග්‍රහය සහ විශ්වාස භංගය අනුව
වෘත්තීය සමිති නායකත්වයෙන්
ඔහු ඉල්ලා අස්විය යුතුයි.
http://sansaranee.blogspot.com/2017/05/gmoa-5.html

1 comment:

  1. ඔහු කීවා යැයි පුවත් පතක තිබුණා "මම කොහේ ගියත් කාටවත් මොකද" කියා, වර්ජනයට නායකත්වය දෙන්නෙක්ගේ මෙවැනි කථාවක් කිමෙන්ම ඔහු පාවාදෙන්නෙක් බව පැහැදිලියි.

    ReplyDelete