20170531

ගං වතුරෙන් පන්නරය ලබන වානේ

ජීවිතය අඩු මිලට උකස් කොට
හරියට නොකා හරිහැටි නොඇඳ
පමණට නින්දක්, නිසි විවේකයක් නැතිව
වෙහෙස මහන්සි වී උපයාගත් සීමිත මුදලට
අමාරුවෙන් ගත් ණයත් එක්කොට තනාගත්
කුඩා නිවහනත්, බඩු බාහිරාදිය සියල්ලමත්
එක රැයක වට එක වැස්සකට ගොදුරු වී
සදහටම අහිමි වූ පසු පත් වෙන
අසරණ මානසිකත්වයෙහි ස්වරූපය
එවන් අත්දැකීමක් නොලද කිසිවෙකුටත්
සිතා ගන්නට නොහැක.

සමහර අනාථ ජීවිත වල
මිලට ගත හැකි යස ඉසුරු සමග
කිසිදාක යළි ලද නොහැකි
උපන්දා සිට එක්ව වැඩුණ පවුලේ සාමාජිකයන්
දුක සැප බෙදා ගත් නෑසියන් හිත මිතුරන්
අද ගංවතුර රකුසා පැහැරගෙන ගොසිනි.

පාසලක, පන්සලක, පල්ලියක කොටුවී
ඇති කුඩා ඉඩ කඩ දුක සේ බෙදාගෙන
ලැබෙන දේ රැස් කරගෙන, ඇති ටික පිරිමහගෙන, 
නැති නාස්ති නොකර අරපරිස්සමින් රැකගෙන
පවුල් සිය ගණන් එක පවුලක් මෙන් වෙසෙන
මේ අවිනිශ්චිත අඳුරු දින කිහිපයෙහි
සියලු දුක් වේදනාවන් මැද්දේත්
මේ අල්පේච්ඡ ජීවන රටාවෙහි යම් සැනසිල්ලක්ද
පහසුවෙන් දැකිය නොහෙන සේ සැඟව ඇති බව
දුක් දොම්නස් සෝ තැවුල් ඉක්මවා පසක් කරනා
එක් කෙනෙක් හෝ දෙදෙනෙක්වත්
මේ සුවහසක් මිනිසුන් මැද
සමාහිත සිතින් වෙසෙනු ඇති.

අල්ලා නොගෙන බැරි නිසා අල්ලාගෙන
දුක් විඳින විට අත්හරින්නට හිතුණත්
අත්හැරගන්නට බැරිව විඳවන නමුත්
ගංවතුරට ගසාගෙන ගිය දා
හිස්තැන දරාගෙන
ඉන් ලැබෙන සැනසිල්ල විඳින්නට තරම්
ප්‍රඥාවන්ත සිත් ඇත්තෙක් හෝ දෙදෙනෙක්
මේ පිරිස අතර ඉන්නවා ඇති.

කොහොමත් දුක් විඳින ජීවිතය
අකල්හි පතිත වන ව්‍යසනයකින්
එකවර සසල කොට කළතා කළඹවා
කම්පනය කොට මුදා හළ පසුව
ඒ ව්‍යසනයෙන් නිර්මාණය කරන හිස් තැන
ඉන් ලද පන්නරයෙන් පිරෙනවා නම්
කවර තරාතිරමක ව්‍යසනයක් වුවද
අපේ ඉතිරි ජීවිත කොටසට පමණක් නොව
මතු සසරටද ආශීර්වාදයකි.

ජීවිතය නම් අවදානම් ව්‍යාපාරයෙන්
කල් පවතින ලාභයක් ලැබිය හැක්කේ
අපට නැති වෙන දේ මත තැවීමෙන් නොව
ඉතිරිව ඇති දේත්, අප ඉන් උගත් දේත්,
අප ලද පන්නරයත් කළමනාකරණයෙන්
හෙට දවස සකස් කරගැනීමෙනි.

2 comments:

  1. සසර මග සත්‍යය මතුකරවමින් වත්මන් සිදුවීමක් මත ලියැවුන මෙම ලිපිය, එහි අන්තර්ගතයෙන් කියැවෙන සත්‍යය වත්මන් සමාජයේ කී දෙනෙක් අවබෝධ කරගනීද, යනුවෙන් සැක සහිත අදහසක්ව ඉදිරිපත්ත්මකිරීමට හේතුව වනුයේ,වත්මන් සමාජ විඥානය සියයට අනූනමයයි දසම නවයක්ම ධනවාදී ලෝක වෙළඳ අධිකාරිය විසින් ඔවුනට අවැසි පරිදි හසුරුවා ගැනීමට හුරුකරගෙන ඇති හෙයිනි. සමාජයේ වැඩිදෙනෙක් තම දෛනික අවශ්‍යතා වෙනුවෙන් තීරණය ගනු ලබනුයේ, මාධ්‍ය ප්‍රචාර තුලින් බව වත්මන් සත්‍යයයි. මෙම මුළාව මත අප වර්ධනය කරගත්තා වූ පාපයේ ශාපයයි, වත්මන යහමින් බුකිති විඳිමින් ඇත්තේ. ඒබව වැඩිදෙනෙකුට අවබෝධකර ගැනීමට අපහසු වී ඇත්තේ, යම්පලයකට හේතුවක් ඇතිබව සත්‍ය ලෙසින්ම මනසින් ඉවත් වී ඇති නිසාවෙනි. කාළීන දේශනා වලින් පවා වැඩිවශයෙන් මනසට එක්වනුයේ ළෞකික ආසාවන් උද්දීපනය වන අදහස් මිස සත්‍ය යථාර්තය නොවේ. නමුත් එවන් සමාජයක දී ද, මෙවන් සත්‍ය මිනිස් ධර්මතා එලිදක්වන්නාවූ මිනිසුන් ඇතිබව පසක් වීම මෙම පාපයේ ශාපයෙන් අනාගත පරපුර මුදාගැනීමට ඇති සත්‍ය මග මේ යැයි කියා පෑමකි.

    ____________________________
    ගං වතුරෙන් පන්නරය ලබන වානේ
    ____________________________

    මේ දකිනට ලබන පන්නරය තවතවත් වර්ධනය කරගැනීමට බුද්ධිය වර්ධනයකරගනිමින්, නැවතත් සත්‍ය ධර්මතාවය පිලිගන්නා පින් බිමක, ප්‍රඥාවන්තයින් වැඩිදෙනෙක් බිහි වේනම්, සොභාවි සම්පත රැක ගනිමින් දිවි ගෙවන සමාජයක් මේ පින්බර දිවයිනේ නැවතත් ස්තාපිතවනු ඇත. 2017.05.31

    ReplyDelete
    Replies
    1. "එක් කෙනෙක් හෝ දෙදෙනෙක්වත්
      මේ සුවහසක් මිනිසුන් මැද
      සමාහිත සිතින් වෙසෙනු ඇති."
      කියල ලිව්වෙ ඒකයි අඛිල

      Delete