20170510

ආර්ය ශ්‍රාවක තෙමේ කායික වූ එක් වේදනාවක් විඳියි. චෙතසික වේදනාව නො විඳියි. .

ළදරු වියේ සිටම
සැපටම හුරුවූ සැපම සොයන කෝමල සියුමැලි චරිතවලට
කය පිළිබඳව අවසිහියෙන්, මෝහයෙන් පසුවීම ආනන්දයකි,
නිවන සුවදායක ෆැන්ටසියක් ලෙස සිතන ඔවුන්ට
සිත ශූන්‍ය කරගෙන ලබන මෝහය
ඔවුන් සිතන පතන නිවන බඳු සුවයකි.

සැබෑ නිවන තුළ අමුතු සුවයක් නැත.
නිවන තුළ ඇත්තේ
දුකට පත්වෙන පුහුදුන් තැනැත්තා විඳින
මානසික දුක නැතිවීම පමණි.
--------------------------------------------

පින්වත් සාරිපුත්‍රයෙනි,
නිවන සැපයි, සුවදායකයි යයි ඔබ කියයි,
විඳින්න කෙනෙක් නැති නිවනේ කවර සැපයක්ද සුවයක්ද?
“උපාලි, විඳින්න කෙනෙක් නොමැති වීමමයි එහි ඇති සැපය,
විඳින්න කෙනෙක් නැති වීමමයි එහි ඇති සුවය..”
සංයුක්ත නිකාය නිබ්බානාසුඛ සූත්‍රය
------------------
මාර්ග ඵල ලාභියා පැය විසි හතර
තුළමත්
විදසුන් වඩ
න්නා විදසුන් වඩන මොහොතත් තුළ
සිදු වෙන දේ සිහියෙන් දකින නිසා මෝහයත්
ප්‍රිය අප්‍රිය භාවයෙන් නොබැඳෙන නිසා
රාග ද්වේශත් ඇති නොවන හෙයින්
විඳින්නෙකු නැත.

===================================
මහණෙනි,
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

සල්ල සූත්‍රය

මේ සනාතන දහම පැහැදිලි වෙන
මගේ ප්‍රායෝගික අත්දැකීමක්
අද 2017 වෙසක් පුන් පොහෝ දින
මට යළිත් සිහි වූයේ
ඒ සීදුවීමට අදාළ සංස්කාර
අද මගේ ඇඟිල්ලේ මතු වූ
වේදනා ලෙස දැනෙන්නට වූ බැවිනි.

මේ සංස්කාර
මෙසේ මතු වී නැසී නොගිය හොත්
තවත් ජීවිතයකට යන්නට අවකාශ ඇත.
ඒ ජීවිතයේදී
අද මට තියන අවබෝධය එදාට නොතිබුණොත්
මම මේ වේදනාව රෝගයක් ලෙස සලකා
ප්‍රතිකාර සොයන්නට ඉඩ ඇත.

අද මගේ ඇඟිල්ලේ මතු වූ වේදනාවේ
අතීත කතාව මින් දැක්වෙයි.

Dhamma Khetta, Hyderabad - 500 070, Telangana, India
1990 දශකයේ මැදභාගයේදී
ඉන්දියාවෙ තෙලඟානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර
ධම්ම ඛෙත්ත විපස්සනා මධ්‍යස්ථානයේ
විපස්සනා පාඨ මාලාවකට පසුව
ජීවන් නම් ආයතන සේවකයෙක්
මා නගරය වෙත ඇරලවීමට
ඔහුගේ ස්කූටරයේ නංවාගෙන
මේ ගේට්ටුව අසලට පැමිණියා.

මේ රූපයෙ දැක්වෙන
යකඩ ගේට්ටුව මා අරිනකොට
අසල නතර කරගෙන තිබුණ ස්කූටරය
ජීවන් පසු පසට ගැනීමට යාමෙදි
අත්වැරදීමකින් ඉදිරියට පැනලා
ගේට්ටුව නැවත වැහුණා.

මගේ මහපටැඟිල්ල
ඒ ගේට්ටු පළු දෙකට අහුවුණා.

එක් වරම අත ගසා දැමුණා.

ඊළඟ මොහොතෙහි මම
අත දෙසත් වේදනාවත් බැලුවා.
මහපටැඟිල්ලෙ උඩ පුරුක
දෙපලකින් පැලී ලේ ආවා.
අදටත් නිය පොත්තේ ඒ වෙනස තියනවා.

මහපටැඟිල්ලත් දබරැඟිල්ලත්
ඇඟිළි දෙකේ දැඩි වේදනාවක් දැනුනා.
අනික් ඇඟිළි තුනේ වේදනාව අඩුයි.

මෑත දිනක මට හමු වූ වෛද්‍ය ශිෂ්‍යයෙකුට
මා මේ අත්දැකීම කිව්වාම ඔහු කිව්වේ
මහපටැඟිල්ල සහ දබරැඟිල්ල එක් ස්නායුවකටත්
අනික් ඇඟිලි තුන වෙනත් ස්නායුවකටත්
සම්බන්ධ බවයි.

වේදනාව පිළිබඳව සිහියෙන්
මම ඒ වෙනස හඳුනා ගත්තේ
මගේ සිතේ උපෙක්ෂාව තිබුණ නිසයි.
මගේ හිතේ ද්වේශය තිබුණා නම්
උරහිස දක්වා මුළු අතම වේදනාවක්.
ද්වේශය තිබුණා නම්
මා යම් ද්වේශ සහගත ප්‍රතිචාරයක්
ජීවන්ට දක්වන්න තිබුණා.

ඒ වේදනාවට උපෙක්ෂාවෙන්
මම සන්සුන්ව ස්කූටරයට නැග්ගා.
ස්කූටරය පැදවූ ජීවන්
ඒ සිද්ධිය සාමාන්‍ය දෙයක් ලෙස භාර ගත්තා.
මමත් ඔහුට කිසිවක් කීවේ නෑ.

පසුදා උදේ දහය පමණ වනතුරු
වේදනාව තදින්ම තිබුණා.
මුළු කාලය පුරාම
හැකි හැම අවස්ථාවකම
මා වේදනාව පිළිබඳව සිහියෙන්
වේදනාවට උපේක්ෂාවෙන් විසුවා.

ඇඟිල්ල පුපුරා ලේ ගලා තිබුණා.
ඇඟිල්ල ඉදිමී කලු වී තිබුණා.
මා කිසිදු ප්‍රතිකාරයක් කළේ නෑ.
ඇඟිල්ල සුව වෙන තුරුම
විශබීජ වලින් ආරක්ෂාව,
වියලී කැටි ගැසුණ ලේ ටික පමණයි.
කබොල්ලක් වී වියළෙන තුරුම
කැටි ගැසුණ ලේ නොතෙමා ආරක්ෂා කළා.
ඉදිමුම කෙමෙන් අඩු වී
ඇඟිල්ල සාමාන්‍ය තත්වයට පත් වුණා.
මසකට පමණ පසු මහපටැඟිල්ල සුව වුණා.
මා කිසිදු ප්‍රතිකාරයක් කළේ නෑ.

මේ මොහොතෙත් ඒ අතට  සිහිය යොමු කරන විට
ඒ ඇඟිලි දෙකේ වේදනා මතු වෙනවා.
ඒ අත්දැකීමෙන් එකතු වූ ද්වේශ සංස්කාර
තවමත් තියනවා.

වේදනා ඇඟිලි වල දැණුනත්
මේ දැනෙන වේදනාවලට හේතුවෙන
ද්වේශ සංස්කාර තැන්පත්ව ඇත්තේ
ස්නායු පද්ධතියේ හෝ මොළයේ විය හැකියි.

අදටත් කලින් කලට
සිත හොඳින් තැන්පත්වූ අවස්ථාවන්හි
එදා මා සිහියෙන් නොදැක
විඥාණයෙහි තැන්පත්වූ ද්වේශ සංඛාර
ඇඟිල්ල කීරි ගැහෙන
සියුම් වේදනාවක් ලෙස මතු වී
නිරුද්ධ වෙනවා.
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති.

මගේ අත කැපුවත් වරින් වර
මේ සංස්කාර මතුවීම මට දැනෙන්න පුලුවන්.

හදිසි අනතුරු වලට ලක් වී අතපය කපන්නට හේතු වෙන අයගේ
කැපූ කොටසේ වේදනා දැනීම වාර්තා වෙන සංසිද්ධියක්.

Phantom Limb නමින් හැඳින් වෙන
මේ සංසිද්ධිය පිළිබඳව
බටහිර වෛද්‍ය විද්‍යාවේ නිශ්චිත පැහැදිලි කිරීමක් නෑ.
ඒ පිළිබඳව දැක්වෙන එක් අදහසක් නම්
කැපුණ තැන ඇති ස්නායු අග්‍ර
උත්තේජනය වීමයි.

බුදු දහමට අනුව
අපේ ඇස, කණ නාසය, දිව,
කය සහ මනස යන ආයතන හයේ
ස්පර්ශ වෙන දෙයක් නිසා වේදනා ඇති වෙනවා.

ඵස්ස පච්චයා වේදනා.

වේදනාව සුඛ, දුක්ඛ හෝ
අදුක්ඛමාසුඛ ලෙස හැඳින් වෙනවා.
මේ වේදනා නිසා අදාළ සංස්කාර
රාග, ද්වේශ, මෝහ ලෙස ඇති වෙනවා.

වේදනා පච්චයා තණ්හා

මේ වේදනා පිළිබඳව
සිහියෙන් උපේක්ෂාවෙන් වෙසෙමින් පහ කිරීම
නිස්සරණය නොදැක
සුව වේදනාව රාගයෙන් විඳින්නහුට රාගානුසය වේ

වේදනාව නොදන්නා නිස්සරණය නොදක්නා
දුක් වේදනාව විඳින්නහුට පටිඝානුසය වේ.

තථාගතයන් වහන්සේ විසින් ශාන්තය යි වදාළ
නොදුක් නොසුව වේදනාව ද පතන්නේ
දුකෙන් නොමැ මිදෙයි.

නිවන ලෙස අද බොහෝ දෙනෙක් සිතන්නේ
තථාගතයන් වහන්සේ විසින් ශාන්තය යි වදාළ
නොදුක් නොසුව වේදනාව වන මෝහානුසයයි.

මේ සංස්කාර විඥාණයෙහි එක් රැස් වෙනවා.
විටින් විට මතු වෙනවා.

බුදු දහමේ හැඳින් වෙන්නේ සංස්කාර ඉපදීම ලෙසයි

අනිච්චාවත සංඛාරා
සංස්කාර වෙනස් වෙන සුළුයි.
උප්පාද වය ධම්මිනෝ
ඉපදීම සහ වැය වීම ධර්මතාවයයි
උප්පජිත්වා නිරුජ්ඣන්ති
ඉපදුණොත් නිරුද්ධ වෙයි.

මෙසේ උපදින සංස්කාර
හැඟීම් සහ සිතුවිලි වලට
පාදක වෙනවා.
සංස්කාර වේදනා මට්ටමෙන් දකින විට
ඒ සංස්කාරයට අදාළ අනුසය කෙලෙස් නැසෙනවා.

විදසුන් වඩන්නා විසින්
සුවවේදනාවෙන් රාගානුසයය පහකටයුතු ය.
දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය.
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය පහකටයුතු යි

පහාන සූත්‍රයෙහි
බුදුන් වහන්සේ මෙසේ පවසති.
''වේදනා තුනෙකි.
සුව වේදනා ය,
දුක් වේදනා ය,
නොදුක් නොසුව වේදනා යි.''
[[[ වේදනානුපස්සනාව ]]]

සුවවේදනාවෙන් රාගානුසයය පහකටයුතු ය.
දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය.
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය පහකටයුතු යි.

යම් කලෙක මහණහට
සුවවේදනාවෙන් රාගනුසයය ප්‍රහීණ වූයේ වේ ද
දුක්වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ වුයේ වේ ද
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ වූයේ වේ ද
පහ වූ රාගානුසයය ඇති මේ මහණ තෘෂ්ණාව සිඳදැම්මේ ය.
සංයොජන මුලිනුපුටා හළේ ය.
මැනවින් මනාවබොධයෙන් දුක් කෙළවර කෙළේ යයි කියනු ලැබේ.

වේදනාව නොදන්නා නිස්සරණය නොදක්නා
සුව වේදනාව විඳින්නහුට රාගානුසය වේ.

වේදනාව නොදන්නා නිස්සරණය නොදක්නා
දුක් වේදනාව විඳින්නහුට පටිඝානුසය වේ.

තථාගතයන් වහන්සේ විසින් ශාන්තය යි වදාළ
නොදුක් නොසුව වේදනාව ද පතන්නේ
දුකෙන් නොමැ මිදෙයි.

යම් හෙයකින් කෙලෙස් තවන වෙර ඇති මහණ
සති සම්පජන්‍යය අත් නොහැර වඩාද,
එහෙයින් ඒ පණඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.

හෙතෙමේ වේදනා පිරිසිඳ දැන
කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ
මරණින් මතු පැනවීමකට නො පැමිණේ.
----පහාන සූත්‍රය

අනුසය කෙලෙස් නැසෙන විට
සත්වයා විශුද්ධියට පත් වෙනවා.
සෝක පරිදේව ඉක්මවා යනවා.
දුක් දොම්නස් අස්තංගත වෙනවා.
දැනීම, සංවේදී බව ඉහළ යනවා.
නිවන සාක්ෂාත් වන්නටත් හේතු වෙන්නේ
සංස්කාර ඉපදී නැසී යාමයි.

විපස්සනා
සැබෑ ජීවිතයෙ අත්දැකීම් වලදි
දුකෙන් මිදෙන්න උපකාර වෙන්නෙ
ඒ ආකාරයටයි..

එදා ඒ අත්දැකීම නිසා
මම කායිකව දුක් වින්දා පමණයි.
මානසිකව දුක් වින්දේ නෑ.

වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,

පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි.
.

මොහොතෙන් මොහොතට සිහිය පිහිටුවාගෙන
සිදුවෙන කිසිවකින් නොකැළඹී,
සියල්ලටම අනිශ්‍රිතව,
ඒ වෙනස්කම් කිසිවක් අල්ලාගැනීමෙන් තොරව
උපේක්ෂාවෙන් විසීම විපස්සනාවයි.
සම්මා සතියයි, සතර සතිපට්ඨානයයි.
බුදු දහමෙහි සඳහන් නිවන් මාර්ගයයි.


 =================================
මහණෙනි,
ශ්‍රැතවත්
ආර්ය ශ්‍රාවක තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

සල්ල සූත්‍ර


No comments:

Post a Comment