20170510

"අවුරුදු 03 ක් විතර තන කිරි විතරමයි" දරුවන් 15 දෙනෙකුගේ අම්මා




   " මම මේ සෑම දරුවෙකුටම අවුරුදු 03 ක් විතර තන කිරි විතරමයි දුන්නේ. දරුවෝ හොඳට මව් කිරි බිව්වා. ඒ කාලේ අපි කන්නේ කුරහන් තලප, දඩ මස් හොඳියි, මුං ඇට ආණමයි.

ඒ කෑම නිතරම ගෙදර වේල් දෙකක් කනවා. ඉතිං ඒවා කෑවම මට හොඳට කිරි එරෙනවා. අපි තලප කාල නිකං ඉන්නෙ නැහැ. කැත්තෙ උදැල්ලේ වැඩ කරනකොට අපේ ඇඟට පුදුම ශක්තියක් එනවා. කුරහන් ගලේ දාලා කුරහන් අඹරනවා. මේ වැඩ කරනකොට හිතට මහා හයියක් එනවා."

 '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

දරුවන් 15 දෙනෙක් දැයට දායාද කර අදටත් සනීපෙන් ඉන්න අම්මයි, තාත්තයි කීව කතාව.



හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර ගම්මානයක් වූ උඩමත්තල ගම්මානයට සිය විවාහයෙන් පසු පදිංචියට ආ රාජපක්ෂ ගුණසේකර පේමාවතී මාතාව දරුවන් 15 දෙනෙකු මෙලොවට දායාද කළ උත්තම මාතාවක් ලෙස හැඳින්විය හැක. 1942.10.26 දින තණමල්විල පෑවූවැව ගම්මානයේ උපත ලබා ඇති පේමාවතී අම්මා දැනට 75 වියේ පසුවන අතර, කිසිදු රෝගී තත්ත්වයක් නොමැතිව නීරෝගීව වෙසීම වාසනාවට කරුණකි.
හොඳින් ඇවිදින, හොඳින් කන් ඇසෙන, හොඳින් ඇස් පෙනෙන නිරෝගීභාවය අම්මාට උපතින්ම දයාද වී ඇත. පේමාවතී අම්මා පවසන පරිදි වයස අවුරුදු 14දී උඩමත්තල සුප්‍රසිද්ධ ගල්වැව ගම්භාරයා වන සිං ආරච්චිගේ අමරජීව තරුණයා සමඟ විවාහ ගිවිස ගන්නා අතර, දැනට විවාහ දිවියේ 60 වන සංවත්සරයද පසුකර තිබේ. එදා මෙදා කාලය තුළ මේ දෙදෙනා ඉතාමත්ම සතුටින් ජීවිතය ජයගැනීමට කටයුතු කිරීම අද පරම්පරාවේ අයටද හොඳ ආදර්ශයකි.
තමන් දරුවන් 15 දෙනෙකුගේ දයාබර මෑණියන් කෙනෙකු වන අතර, පුතාලා 8 දෙනෙක් සහ දූවරු 7 දෙනෙක් මෙලොවට බිහිකළ බව පවසනුයේ දැඩි සතුටකිනි. තමන් පළමු දරුවා මෙලොවට බිහි කරද්දී වයස අවුරුදු 15 ක් තරම් වයසේ පසුවූ බවත්, පහළොස්වෙනි දරුවා 45 වන වයසේදී බිහි කළ බවත් පේමාවතී මාතාව පවසයි.
දැනටත් තම ස්වාමියා සමග එදා මෙන්ම සෙනෙහසින් ආදරෙන් දිවි ගෙවීම මෙම දෙමහල්ලන් ලද වාසනාවකි. මේ වන විට ගල්වැව ගම්භාරයා වන පේමාවතීගේ ස්වාමිපුරුෂයා 77 වියේ පසුවන්නෙකි. පේමාවතීගේ ස්වාමිපුරුෂයා වන ගල්වැව ගම්භාරයා හට එදා අතීතයේ එළහරක් මීහරක් බාන් සියගණනක් සිට ඇත.
හම්බන්තොට වැනි ප්‍රදේශවල ඒ කාලයේ ගව සම්පත් තිබෙන පුද්ගලයන් හට විශාල ලෙස මුදල් තිබී ඇත. ඒ අය සමාජයේ විශේෂ පැලැන්තියක සල්ලිකාර පුද්ගලයන් ලෙසට හඳුන්වා දී තිබුණේ ගම්භාරයන් යන නමිනි. පේමාවතීගේ මාතාවගේ ස්වාමියා එලෙස මහා ගම්භාරයෙක් වන විට මෙම අම්මා දරුමල්ලන්ද හදා වඩාගෙන කුඹුරු හේන්පිටිවලද වැඩ කරමින් කාලය ගතකර තිබේ.
දරුවන් 15 දෙනෙකු ජනිත කරවීම සම්බන්ධයෙන් වූ අදහස් අත්දැකීම් අද මෙලෙස පැවසුවාය. “එදා අපි දරුවො බිහිකළේ අපේ ගෙදරදීමයි. මගේ ගම්භාර දෙයියාගේ අම්මා, මගේ නැන්දම්මා තමයි වින්නඹුකම කළේ. ඒ නිසා දරුවන් ලැබෙනකොට ඉස්පිරිතාලෙ ගියේ නැහැ. මම මේ සෑම දරුවෙකුටම අවුරුදු 03 ක් විතර තන කිරි විතරමයි දුන්නේ. දරුවෝ හොඳට මව් කිරි බිව්වා. ඒ කාලේ අපි කන්නේ කුරහන් තලප, දඩ මස් හොඳියි, මුං ඇට ආණමයි.
ඒ කෑම නිතරම ගෙදර වේල් දෙකක් කනවා. ඉතිං ඒවා කෑවම මට හොඳට කිරි එරෙනවා. අපි තලප කාල නිකං ඉන්නෙ නැහැ. කැත්තෙ උදැල්ලේ වැඩ කරනකොට අපේ ඇඟට පුදුම ශක්තියක් එනවා. කුරහන් ගලේ දාලා කුරහන් අඹරනවා. මේ වැඩ කරනකොට හිතට මහා හයියක් එනවා.
දරුවන් වෙනුවෙන් තන කිරි නිතරම වැගිරෙනවා. ඒ බලය ශක්තිය තමයි මේ දරුවන් හදන්න අපිට ශක්තියක් වුණේ. ඒ කාලේ ගෝන මස් වේලලා කෑලි කපලා මී පැණි වල පොඟවාගෙන අපි නිතරම කනවා. කැලේ කටුබටු, වෙද බටු, කටු අල අපේ කෑමවලට වරදින්නෙම නැහැ.
කුරක්කන් තලප සමගින් ජිවුල් හොඳි
මලක්කා ගසන මුවකොටුවන්ගේ හොඳි
බිබික්කං කැවුම් මී පැණියෙන්ම සැදි
කැමැත්තෙන්ම කතහැකි උඩමත්තලදී……….
යලට මෙදෙරි මාහට කුරක්කන්
වෙලට බැස විට හිඳ බතුත් කන්
පිනට පහල වුනු මී පැණි බිබික්කන්
අපට මොකද වුණෙ අහරන් අනෙක්කන්………
අපි දරුවන්ට ඒ කාලේ බිත්තර දුන්නෙ නැහැ. පුළුවන් කාලේ එනකොට
දරුවන්ට බත් දුන්නා. දරුවෝ කුරහන් කලප කෑවා. මේවා කාල තමයි උන් ලොකු මහත් වුණේ. අපේ දරුවො ජීවිතේටම ලැක්ටෝජන් පිටි, චීස්, සොසේජස් කෑලි කාල නැහැ. අපිට ඕනතරම් එදා කොස්, පොළොස්, බත්, මේනේරි බත් තිබුණා. ඒවා තමයි දරුවො කෑවේ. අපිට එදා වාහන බස් තිබුණෙ නැහැ. දරුවන්ට ලෙඩක් හැදුණම හැතැප්ම පහක් විතර පයින් එනවා ලුණුගම්වෙහෙර ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න.
මගේ දරුවො තුන් දෙනෙක් මේ වන විට මිය ගියා. එයින් එක් දරුවෙක් යුද හමුදාවෙ ඉන්නකොට යුද්දෙදි මිය ගියා. මම ගොඩාක් ආඩම්බර වෙනවා යුද්දෙ නතර කරන්න රට ජාතිය වෙනුවෙන් මගේ දරුවෙක් දිවි පිදීම සම්බන්ධව. රට වටේම මගේ දරුවො දැන් පදිංචි වෙලා ඉන්නවා. කොළඹ, ගාල්ල, අකුරැස්ස, හම්බන්තොට වැනි ප්‍රදේශවල දරුවො පදිංචිවෙලා ඉන්නවා. මේ සෑම කෙනෙක්ම නිතරම වගේ අපිව බලන්න එනවා. මට දරු මුණුබුරෝ 24 දෙනෙක් දැනට ඉන්නවා.
දැන්නම් මේ ගම්මාන දියුණුයි. එදා අතීතයේ අපි ගොඩාක් දුක් ගැහැට විඳලා තමයි මේ දරුවො හදාගත්තේ. අපි එදා හිටියෙ මහ ඝන වනාන්තර ප්‍රදේශවල. අද ඒ තත්ත්වය නැහැ. ඒත් අද තියෙන ප්‍රශ්න හින්දා අපේ දරුවන්ගේ පවුල්වල දරුවො ඉන්නේ එකා දෙන්නා විතරයි. එදා වගේ දරුවො හදන්න මේ අයට බැහැ. ඒ තරමටම අද කාලෙ වෙනස් වෙලා. මම කියන්නේ හදන එක දරුවට වුණත් හොඳට මව්කිරි අවුරුදු තුනක්වත් බොන්න දෙන්න. එතකොට නිරෝගී දරුවෙක් රටට දයාද වෙයි” පේමාවතී අම්මාගේ සෙනෙහෙබර ප්‍රාර්ථනාව එයයි.
රුක්මන් රත්නායක
උපුටා ගැනීම :අද.

1 comment: