20170209

පොත් කියවන දරුවාට විභාග ජයගැනීම පහසුයි.



අනේපිඩු සිටු තුමා
බුදුන් වහන්සේ ළඟට ගිය පුතාට
ඔහු යන වාරයක් පාසා
මුදල් ගෙවා තියනවා.

දරුවෙකුට නොමිලේ සලකනවාට වඩා
ඔහු අපෙන් යමක් උපයා ගැනීම
හිතට සතුටක් වගේම
අපි අතර ඇතිවෙන්න ඉඩ තියන
අනවශ්‍ය බැඳීමෙනුත් මිදීමක්.
අප මෙන්ම ඔහුත් නිදහස්.
අපටත් වඩා
දරුවාට ඒ නිදහස වටිනවා.

මාසෙකට විතර කලින්
පුතා මේ ඩයිනොසෝර් අරන් ඉල්ලුවා.
"මාසයක් ඇතුළත
පිටු 1500ක පොත් කියෙව්වොත්
අරන් දෙන්නම්" කියා දුන් පොරොන්දුව
අපි අද ඉටු කළා.

ඒ මුදල
වෙන දේකට වියදම් කරලා
ඊට වඩා වටිනා දෙයක්
අපට ලබාගන්න පුලුවන් කියා
මම හිතන්නෙ නැහැ.

කියවූ පොත් වලින් ඔහුට එකතුවුණ දේත්
නිශ්චිත කාලයක් අරමුණක් පසුපස හඹා යන්නට
ඔහුට නිතැතින් ලැබුණ පුහුණුවත්
යමක් දිනාගැනීමෙන් ඔහු ලබන සතුටත් සමග
දරුවෙක් පොත් කියවන්න හුරුවෙද්දි
දෙමාපියන් විදියට අපි වින්ද සතුටත්
මුදලෙන් මිළ කරන්න බැහැ.

 ඔබ කියවීමට හොර ඇති.
නොකියවන කෙනෙකුට කියවීම වටින්නෙ නෑ.

ඔබේ දරුවා පාසල් යන කාලෙට
ඔහුගෙ දක්ෂතාවයෙ තරමට
විභාග වලින් ලකුණු නොලැබෙන කොට
ඔහුට ප්‍රශ්න පත්‍රයක් කරන්න දීල බැලුවොත්
කියවීම ඔහුට කොතරම් අවශ්‍යද කියා
ඔබට වටහාගන්න පුලුවන් වේවි.

දක්ෂ බුද්ධිමත් දරුවන්
විභාගවලින් අසමත් වෙන්න
ප්‍රධානම හේතුවක් වෙන්නෙ
ප්‍රශ්නය පහසුවෙන් කියවා
හොඳින් තේරුම් ගන්නට තරම්
ඔහුගෙ කියවීමෙ හැකියාව දියුණු නැති වීමයි.

දෙවනුව
වචන හා වාක්‍ය ගලපා ලියන්නට
ඔහුට හුරුවක් නැති නිසයි.

කුඩා කල සිටම පෞද්ගලික පාසල්වල
හතරෙ පන්තියෙ අවසාන වාරය තෙක්ම
ඉංග්‍රීසියෙන් ඉගෙන ගත් මගේ පුතාට
ළමයි 85ක් ඉන්න කුඩා ප්‍රාථමික පාසලකින්
169ක් අරන් 5 ශිෂ්‍යත්වෙ සමත් වෙන්න හැකි වුණේ
අපි හැකි උපරිමයෙන් ඔහුට සිංහල කියවීම
හුරුකර තිබුණ නිසයි.
5 ශිෂ්‍යත්වෙන් දෙවැන්නාට ලකුණු 111යි..
ඒ පරතරයට ප්‍රධාන හේතුව
ඉංග්‍රීසියෙන් ඉගෙන ගත් අපේ පුතා
සිංහල කියවීමට හුරුවීම සහ
ඒ පාසලේ 1 වසරෙ සිටම
සිංහලෙන් ඉගෙන ගත් අනෙක් සිසුන්
කියවීමට හුරු නොවීම.
.
කියවන්න බැරි ළමයාට
අනිවාර්යයෙන්ම ලියන්නත් බෑ.

දරුවෙක් මොන ටියුෂන් පන්තියට ගියත්
කියවන්නෙ නැත්නම් දැනුම ලැබෙන්නෙ අඩුවෙන්.
ලැබෙන දැනුමත් කොළේක ලියාගන්න බෑ.

කියවීම දරුවගෙ අවශ්‍යතාවයක්..
දරුවා කියවීම අපට පහසුවක්.

No comments:

Post a Comment