20170209

සයිටම්, ජැක්සන් ඇන්තනි සහ වෛද්‍ය සිසුන්

වෛද්‍ය විද්‍යාල සිසුන්
නාට්‍ය හා රංග කලාවේදියෙකු වූ
ජැක්සන් ඇන්තනි හමුවන්නේ ඇයි.?


එක් යුගයක
මහින්ද රාජපක්ෂ
දේශපාලනික අවශ්‍යතා සඳහා
ජැක්සන් ඇන්තනි භාවිතා කළ අයුරු
අපට මතකය.

ජැක්සන්ගේ සිවිල් ප්‍රතිරූපය ඇසුරෙන්
ජනතා ආශීර්වාදය තමාට ලැබෙතැයි
මහින්ද විශ්වාස කරන්නට ඇත.
සමහර නොගැඹුරු ජනතා වටුවෝ
ඒ දැලට හසුවන්නට ඇත.

අද සිටින රංගවේදීන් අතුරෙන්
ඉහළම තැනක සාධාරණව වැජඹෙන
ජැක්සන් ඇන්තනි භාවිතා කිරීමෙන්
වෛද්‍ය විද්‍යාල සිසුන්ද පත්වන්නේ
බාල දේශපාලනික තලයට පත්වීම
ඔවුන්ට වාසියක්දැයි තවම කිව නොහැක.

දේශපාලනික වාසිය ලැබෙන්නට නම්
එක වසරේ ගෙවන කප්පමෙහි සිටම
මුදල් ගෙවා අධ්‍යාපනය මිලට ගන්නට
හුරුවී ඇති ජනතා සිත්සතන් තුළට
නිදහස් අධ්‍යාපන පඹයාගේ අගය
නාට්‍යමය අයිසින් යොදා කාවද්දන්නට
ජැක්සන් ඇන්තනිගේ රංගන හැකියාව
ප්‍රමාණවත් විය යුතුය.

දේශපාලන නාඩගම් වේදිකාවේ
නාඩගම අරඹන තුරු සෙනග රසවත් කරන
බම්මන්නාගේ භූමිකාව රඟන්නට
ජැක්සන් ඇතුළු කලාකරුවෝ පාවිච්චි වෙයි.
ඡන්දා දෙපැත්තට වැටෙන්නේ
නාඩගම අනුවය.

මහින්ද ප්‍රතික්ෂේප කරන නමුත්
ජැක්සන්ට කැමති ජනතාව
ජැක්සන් මහින්දට සහාය දුන් පමණින්
ජැක්සන් ප්‍රතික්ෂේප කරන්නේ නැත.
මහින්දට පක්ෂවන්නේද නැත.

බම්මන්නාගේ සාර්ථකත්වය කෙසේ වුවත්
දේශපාලන ක්ෂේත්‍රයේ වටුවැද්දෙකු
ජනතාව කොටුකරන්නට යොදාගත් දැලක්
වෛද්‍ය විද්‍යාල සිසුන් අතද රැඳෙන විට
අපට ඉන් ගම්‍ය වෙන සත්‍යය කුමක්ද?

"මහින්ද, ජවිපෙ ප්‍රමුඛ නව දේශපාලනික රැල්ලට
දැනුවත්ව හෝ නොදැනුවත්ව
වෛද්‍ය විද්‍යාල සිසුන් හසුව ඇත" යන සැකය
ඔබ තුළ මේ වනවිට පහළ වී නැද්ද?

ජාවාරම්කාර දේශපාලනයට නම් දැරූ
දේශපාලනික කඳවුරකට එකතු වීමෙන්
රජයේ වෛද්‍ය විද්‍යාල හා සයිටම් ගැටුම
අධ්‍යාපනික ක්ෂේත්‍රයෙන් ලිස්ස ගොස්
වාණිජ දේශපාලනික ක්ෂේත්‍රයට කොටුවීමෙන්
වෛද්‍ය සිසුන්ට මානසිකව හෝ මෙතෙක් ලැබුණ
නිර්පාක්ෂික ජනතා සහයෝගය
මහින්ද-ජවිපෙ පාක්ෂික සහයෝගයක් බවට
ලඝු වීම වැළැක්විය නොහැක.

"සයිටම් අහෝසි කරන්නට නම්
සයිටම් හදන්නට සහයෝගය දුන්
මහින්දම නැවත පත්කරගනිමු"
කියමින් කාසි කැට හොල්ලමින්
වෛද්‍ය විද්‍යාල සිසු සිසුවියන්ද
ගමේ ගෙන් ගෙට එන දවස
වැඩි ඈතක නොවිය හැක.

"නමට පාසල් යන අපේ දරුවො
දැනුත් විභාග පාස් කොරගන්නෙ
අපේ සල්ලිවලින් තමයි මහත්තයො.
අපිට බැරි වුණත් පුලුවන් එකෙකුට හරි
සල්ලි දීල උගන්වාගන්න තියන එක
නැති කරන්න හදන්නෙ මොන අමාරුවකටද"
කියා ඔවුන්ගෙන් විමසීමට
ජනතාව ඉදිරිපත් නොවෙනු ඇතිද?

No comments:

Post a Comment