20170228

ශබ්දකෝෂ භාවිතාවෙන් තොරව කියවන්න...


ශබ්දකෝෂය අත්වැලක් පමණයි.

අත්දැකීම් රහිත කෙනෙකුට
වචනයක නියම අරුත
ශබ්ද කෝෂයකින් ලබා දිය නොහැකි බව
අප පළමුවෙන්ම වටහා ගත යුතුය.

ශබ්දකෝෂය භාවිතාවේදී අරුත ලෙස
"අක්මාව" යන වචනය ලැබුණොත්
අක්මාව කුමක්දැයි නොදත් කෙනෙක්
අතරමං වීම නිශ්චිතය.

අක්මාව දන්නා කෙනෙකුට
ශබ්දකෝෂය ප්‍රයෝජනවත් වන්නේ
අක්මාව නිශ්චිත අවයවයක් බැවිනි.

එහෙත් අක්මාව යනු
අක්මාව නොවන අවස්ථාද
භාෂා භාවිතයෙහිදී හමුවේ.
එවැනි අවස්ථාවක
ඔබට අවශ්‍ය වන්නේ ශබ්ද කෝෂය නොව
ඔබේ අක්මාවයි.

භාෂාවක බොහෝ වචන
ඒ ඒ වචන යෙදෙන තැන අනුව
ඒ සමග යෙදෙන වෙනත් වචන අනුව
අරුත් ගැන්වෙන්නේය.
එම වචන ඉගෙනගත යුත්තේ
භාවිතා වෙන අවස්ථාව
භාවිතා කරන පුද්ගලයාගේ ස්වභාවය
සහ වාක්‍යයෙහි යෙදෙන වචන අනුවය.

විශ්ව විද්‍යාල සිසුන් අතර සංවාදයකදී
එක් අයෙකු කළ මෝඩකමක් නිසා
කුපිත වන තවත් සිසුවෙක්
"තොට අක්මාවක් නැද්ද යකෝ" කියන්නේ
මිනිසෙකුගේ රුධිරයෙහි ග්ලූකෝස් පාලනය
බුද්ධියට බලපාන නිසා නොවේ.

මේ අවස්ථාවට අදාළව
ඔහු අක්මාව තේරුම්ගන්නට
ශබ්ද කෝෂය ප්‍රමාණවත් නොවේ.
අක්මාවද අවශ්‍යය.

එක් එක් අයගේ අක්මාවෙහි ප්‍රමාණය අනුව
මේ වනවිට ශබ්ද කෝෂයක භාවිතාව
කෙබඳුදැයි වැටහෙන්නට ඇත.

ඔහු අක්මාව කීවේ කුමකටද යන්න
අක්මාවක් ඇති ඕනෑම කෙනෙකුට
මේ වනවිට වැටහිය යුතුය.
නැත්නම් ඔබට අක්මාවක් නැත.

"තොට අක්මාවක් නැද්ද යකෝ" යන්නෙහි
අක්මාව යනු කුමක්දැයි මා මෙතෙක් කීවේ නැත.
එහි සැබෑ අරුත ඔබ මීට පෙර දැන සිටියා නම්
එදා දැනගත්තේද භාවිතාවෙන් මිස
ශබ්දකෝෂය පරිශීලනයෙන් නොවේ.

වචන වර්ණ වැනිය.
තනි වර්ණයකින් චිත්‍ර ඇඳිය නොහැක.
වර්ණ වලින් පමණක් චිත්‍ර ඇඳිය නොහැක.
පින්සල්, මාධ්‍යයක්, පෘෂ්ඨයක්, පුවරුවක්
ආදී බොහෝ දේ අවශ්‍යයි.
ශබ්දකෝෂය ඔබට සපයන්නේ
වර්ණ පමණි.

වාක්‍යයක් තේරුම් ගන්නට
ශබ්දකෝෂයක් නැතිව නොහැකි අවස්ථා
ඕන තරම් තිබිය හැකි නමුත්
ඡේදයක් වටහා ගන්නට
ශබ්දකෝෂයක් අවශ්‍ය නොවේ.

ශබ්දකෝෂයක් රහිතව
ඡේදයක් තේරුම් ගත නොහැකි නම්
ඔබ දියුණු කරගත යුත්තේ
භාෂා දැනුම විනා වචන නොවෙයි.

ඡේදයක් තේරුම් ගන්නට
එහි හැම වචනයක්ම දැන ගත යුතුයි
ඔබ සිතන්නෙහි නම් ඔබ තේරුමට වඩා
වචනවල තේරුම් සොයන්නෙකි.
ඔබ වඩාත් ප්‍රවේශම් විය යුත්තේ

කතා කිරීමත් කියවීමත් නැතිව
නිසි ලෙස භාෂාවක් ඉගෙනගත් කෙනෙකු
මෙලොව නැතැයි කිව හැක.

භාෂාවක් ඉගෙන ගන්නට ඇති
හොඳම මග නම් කියවීමයි.
සරල පොත්පත් වලින් පටන් ගෙන කියවීමෙන්
දැනුම මෙන්ම ආත්ම විශ්වාසයද
සමාන්තරව වැඩෙයි.

සිංහල ඉගෙන ගන්නට පටන් ගැන්මේදී
කුමාරෝදය තෝරාගැනීම සුදුසුය.
සද්ධර්ම රත්නාවලිය තෝරා ගැනීමෙන්
ඔබට සිංහල එපා විය හැක.
කවර භාෂාවක් වුවද
තමන්ගේ දැනුම මට්ටමට වඩා
පහළ මට්ටමේ පොත් වලින් ඉගෙනීම
පහසුය, නිවැරදිය.

චිත්‍රකතා කියවීමද පහසු මගකි.
මමත් බිරිඳත් ඇතුළු බොහෝ දෙනෙකු
ඉංග්‍රීසි භාෂාවට හුරු වූයේ
Tin Tin පොත් කියවීමෙන් බව මම දනිමි.
පොත්වලින් හුරුවූ බොහෝ දෙනෙකුට
Tin Tin සජීවීකරණ චිත්‍රපටි
ප්‍රයෝජනවත් විය.

දෙවැනි හොඳම ක්‍රමය නම්
භාෂාව ශ්‍රවණය කිරීමයි.
ඉනුත් ගීතවලට සවන් දීම ප්‍රධානයි.
හින්දි භාෂාව අදටත් මා ඉගෙන ගන්නේ
ගීතවලට සවන්දීමෙනි.
චිත්‍රපටි නැරඹීමෙනි.

උප සිරැසි යෙදීම නිවැරදි නොවුවද
උප සිරැසි සහිතව නරඹන කෙනෙක්
වචනවලට සවන් දෙනවා නම්
ඔහුගේ භාෂා දැනුම දියුණු වෙයි.

ඉහත කී මාර්ග වලින්
භාෂාව හුරුවුණ කෙනෙක්
භාෂාව කතා කිරීම සහ
ඉගෙන ගන්නා භාෂාවෙන් සිතීමත්
භාෂාව දියුණු කරගැනීමට
ඉතාම සුදුසු මාර්ගයන් වෙයි.

පහත දැක්වෙන
Audio-Read ක්‍රමය
ඇසීමෙන් සහ කියවීමෙන්
යන දෙකෙන්ම භාෂාව හුරුවීමට
ඉතාම සාර්ථක ක්‍රමයක් බව
අපි අත්දැකීමෙන්ම දනිමු.

වැඩි විස්තර ලිපියෙහි සඳහන් වෙයි.

Audio-Read ක්‍රමයෙන් ලැබෙන
ප්‍රබලම ප්‍රයෝජනය වන්නේ
නිරන්තරයෙන් ශබ්දකෝෂයට යොමුවීමේ
නරක පුරුද්දෙන් මිදෙන්නට ඉන් කෙරෙන
නිසග බලපෑමයි.

නීත්‍යානුකූලව
කඩුවක් තබා ගන්නා කෙනෙකු මෙන්
හැකිතරම් දුර හැකි තරම් උස තැනකින්
ශබ්දකෝෂය ඈත් කර තබන්න.
වැඩිහිටියෙක් මෙන් වචන ඔස්සේ නොව
කුඩා දරුවෙක් මෙන් අත්දැකීම් ඔස්සේ
ඔබේ දැනුම දියුණු කරගන්න.

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

1 comment: