20160704

ප්‍රයෝගිකව සමාධිය අත් විඳින්න.

මේ පහන් දැල්ල ඔබට බලා ඉන්න පුලුවන්.


ඔබේ සිතට සැනසිල්ලක් ඇති වෙන්න පුලුවන්.

සමහර විටඔබේ සිතේ ස්වභාවය අනුව
සුලු වෙලාවකින් ඔබට එපා වෙයි.
ඔබ වෙහෙස වෙයි.

අත්දැකීම පුද්ගලයාගෙන් පුද්ගලයාට
වෙනස් විය හැකියි.
-----------------------------------------------------

මේ පහන් දැල්ල
ඉතා සෙමින් වෙනස් වෙනවා.
ඒ වෙනස බලා ඉන්න ඔබට පුලුවන්ද?

මේ පහන් දැල්ලෙහි ''වෙනස් වීම'' බලා ඉන්න.

ඔබේ හිත නවතිනවා.

හිත ක්‍රියාත්මක වුණොත්
සිත වෙනතකට යොමු වුණොත්
ඔබට පහන් දැල්ලෙ ''වෙනස්වීම'' මග හැරෙනවා.

ඉතාම අසංවර හිතක් ඇති කෙනෙකුට හැර
සාමාන්‍ය සංවර හිතක් ඇති පුද්ගලයෙකුට
ඕනෑම වෙලාවක්
 ''වෙනස් වීම''
බලා ඉන්න පුළුවන්.
.
පහන් දැල්ලක් 
''වෙනස් වීම'' බලා හිඳීම
සමථ භාවනාවක්.

වෙනත් අරමුණු වලින් මිදෙන සිත
සමාධිගත වෙනවා.

ඔබේ සමාධිය ඉතා තියුණු වුණොත්
අවට ඇති සියල්ලම නොපෙනී
පහන් දැල්ල පමණක් පෙනෙයි.

ඔබ ඇස් පියා ගත්තොත්
ඔබේ සිත ශූන්‍ය
වෙන්න පුලුවන්.
නිවන නොවෙයි.ඔබ ඉන්නෙ මෝහය තුළයි.

ඔබේ සිත තැන්පත් වෙයි.

ඔබට ලැබෙන්නෙ සමාධියක්.
මිථ්‍යා සමාධියක්.

ඒ සමාධියත් හිතට විවේකයක්.
.
ඒ විවේකය ඔබට ලැබෙන්නෙ
ඔබ පිළිබඳව
ඔබේ කය පිළිබඳව සිත මෝහයට පත් වීමෙනුයි.

ආළාර කාළාම උද්දක රාමපුත්ත දෙදෙනාගෙන්
ඉහළම ධ්‍යානය වූ අටවෙනි ධ්‍යානය දක්වා
තුන් මසක් තුළ සමාධිය ප්‍රගුණ කළ
සිදුහත් තවුසාණෝ
මේ මිථ්‍යා සමාධිය ප්‍රතික්ෂේප කළා.

වසර හයක් පුරා දැඩි වීර්යයෙන් යුතුව
සිදුහත් තවුසාණෝ මේ සමාධිය
තමන්ගෙ සිතට සහ කයට යොමු කළා.
මිථ්‍යා  සමාධිය සිහිය බවට පත්වුණා.

කය තුල වේදනා ස්වරූපයෙන්
සංස්කාර මතු වුණා.
ඒ සංස්කාර නිසා ඇතිවෙන
සුඛ දුක්ඛ වේදනා
ප්‍රිය අප්‍රිය වශයෙන් නොගෙන
නව සංස්කාර ඇති නොවන ආකාරයට
රාගයෙන් නො ඇලී ද්වේශයෙන් නොපෙළී
සිහියෙන් විසුවා.

හිතේ පත්ලේ තැන්පත්ව තිබුණ
රාග ද්වේශ අනුසය කෙලෙස් වල
ස්වභාවය වැය වීමයි.
අනුසය කෙලෙස්
රාග ද්වේශ සංස්කාර ලෙස මතුවෙමින්
එකින් එක ඉපදෙමින් නිරුද්ධ වුණා.

අදුක්ඛමාසුඛ වේදනාවන් විලසින්
අවිජ්ජානුසය කෙලෙස් සිතේ මතුවුණා.
මිථ්‍යා සමාධිය වඩන කෙනෙක්
නිවන් සුව ලෙස වරදවා වටහාගන්න
අදුක්ඛමාසුඛ වේදනාවන් වල ශාන්ත සුවයට
සිදුහත් තවුසාණෝ ඇලුණේ නෑ.
ඒ මෝහ සංස්කාර ලෙස හඳුනාගනිමින්
අවිජ්ජානුසය කෙලෙස් නැසෙන්නට ඉඩ දී
විදසුන් වැඩුවා.

සමස්ත සිත සහ කය පිළිබඳව
සම්මා සතිය පහළ වුණා.

සිතත් කයත්
වෙනස් වෙන ආකාරය පිළිබඳව
සිහියෙන් වසමින්
ඒ වෙනස් වීම් වලට උපේක්ෂාවෙන් වෙසෙන විට
සම්මා සමාධිය පහළ වුණා.
සිත සහ කය වෙනස් වුණාට
සම්මා සමාධිය බිඳුණේ නෑ.
ආලෝකය පහළ වුණා. විද්‍යාව පහළ වුණා.
ප්‍රඥාව පහළ වුණා.
බුදුන් වහන්සේ විපස්සනා සොයාගත්තෙ
ඒ අයුරිනුයි.

බුදුන් වහන්සේ කියන විදියට
විදසුන වඩන කෙනෙකුට
සිතේ සහ කයෙහි
අති සියුම් වෙනස් වීම් පවා පෙනෙනවා.

ඔබේ සමාධිය
සම්මා සමාධිය බවට පත් කරගන්න
ඔබටත් පුලුවන්.

පහන් දැල්ල මොහොතෙන් මොහොතට
වෙනස් වෙන විදිය බලාගෙන සිටින අතරම
ඔබේ ආශ්වාස ප්‍රශ්වාසය ගැන
සිහියෙන් ඉන්න.

ඔබේ සිත තවත් නිවෙනවා.

ඔබේ කය පිළිබඳව, ඉරියව්ව පිළිබඳව සිහිය පුළුල් කරන්න.
කය පිළිබඳව, ඉරියව්ව පිළිබඳව සිහිය පුළුල් කළාට
ඔබට දැල්ලේ වෙනස් වීම මග හැරෙන්නෙ නැහැ.

සිතුවිලි ඇති වුණොත් ''වෙනස් වීම'' මග හැරෙනවා.

තමා තුළ සිදු වෙන වෙනස්වීම් ගැන අවදියෙන්
ඒ වෙනස් වීම පිළිබඳව
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමයි

මේ වෙනස්වීම බලාගෙන
ඔබට හිතන්න පුලුවන්ද?

මේ විවේකය තුළ
සිහිය සහ උපේක්ෂාව නිසා
කෙලෙස් මතු වී නැසෙනවා.

ඔබේ සිත 
පිරිසිදු වෙනවා.

දවස පුරාම
මේ විදියට ඔබ දිහා බලන්න..
ඔබේ සිත සහ කය වෙනස් වෙන විදිය බලන්නට
විපස්සනා  පුහුණුවක් ලබන්න.

මේ විවේකයට වඩා
සිය දහස් ගුණයක් වටින විවේකයක්
විපස්සනා  පුහුණුව මගින්
 ඔබට ලැබෙයි.

No comments:

Post a Comment