20161217

කම් සුව අරපරිස්සමෙන් විඳින්න.



සංවාසය මගින් කම්සුව විඳීමත්
අහරකින් කුස පුරවා ගැනීමත් අතර
බොහෝ සමානකම් ඇත.

කුසගින්නට ආහාර ගැනීමත්,
කුසගින්න නැතිව
රස තෘෂ්ණාවට ආහාර ගැනීමත්
වෙනස් අවස්ථා දෙකකි.
ප්‍රතිඵල වෙනස්ය.

හාමත් වූ කෙනෙක්
ඒ කෑදරකමෙන් පෙළමින්
විශාල ආහාරයක් ගැනීමද අහිතකරය.
දවස පුරා වරින් වර
කුමකින් හෝ කුස පිරවීමද අහිතකරය.

කාම ගින්න නිවා ගැනීමට අහිතකර මාර්ග යොදා ගැනීම
කුසගින්න වරදවා නිවීමටත් වඩා අහිතකර වන්නේ
කාමය වරදවා ගැනීමෙන්
කය මෙන්ම මනසද රෝගී වන බැවිනි.
---------------------------

අද කාලයේ
ඉසුරු ඇති නැති වෙනසක් නැතුව
බොහෝ විවාහ ජීවිත අසාර්ථකය.

මතුපිටින් මොන විසිතුරු ආයිත්තම් වලින්
වයිවාරන්න වෙස්මුහුණු බැන්දත්
අප අතර වෙසන බොහෝ අඹු සැමියන්
ඇතුළාන්තයෙන් ආගන්තුකයෝය.
සමහරු සතුරෝය.

කාමය මුල්කරගෙන විවාහ වී
වැටුණු ළිං කටෙන්ම ගොඩ එන ක්‍රම නොදැන
අනියම් දෝනා කපාගෙන ගොස් ඒ තුළ හිරවී
කයින් මනසින් දුක් විඳින්නෝ බහුලය.

රාගාධික කාමභෝගී සිතුවිලි වලින්
සිත් සතන් රෝගී වීම සහ
ඒ රෝගී මනසින් පීඩිත වී
ලද ලද අවසරයෙන් කම් සුව විඳින්නට තැත් කිරීම
කාමාතුර ජීවිතවල
අසාර්ථකත්වයේ මූලික පදනමයි.
___________ . ___________


පෙම් බඳින කාලයේ
විවිධ සීමා බන්ධන වලට කොටුවී
අපහසුවෙන් සොයා ගත්
සුළු මොහොතකට හමුවෙන පෙම්වතුන් අතර බැඳීම
තාවකාලිකව පැවතුණත්
පවතින කාලය තුළ ඉතා දැඩිය.

කුසගින්නේ හාමත්ව සිටින කෙනෙකුට
කෙසෙල් ගෙඩියක් බිස්කට් එකක් ලැබුණත්
දිව බොජුනක් වැනිය.
කාමයෙන් හාමත් වූ තැනැත්තාට
ස්පර්ශය එවැනිය.

කාම ගින්න නිවා ගන්නට
තම පෙම්වතා හෝ පෙම්වතිය හැර
වෙනත් සබඳතා කෙරෙහි යොමුවෙන
චපල සිත් ඇත්තන්ට
ඉඳහිට හමුවෙන පෙම්වතුන් ලබන
මේ තියුණු තෘප්තිය ආශ්වාදය
මග හැරී යයි.

අතට අහුවෙන අහුවෙන දෙයක්
නිරන්තරයෙන් කටේ ඔබා ගන්නා
චපල පෙම්වතුන් පෙම්වතියන්
කපුටන් මෙන් නොනිවෙන කුසගින්නකින්
දවස පුරා පීඩා වින්දත්
අහරක් ලද විට විඳින රසය
ඉතා අල්පය.

නිරන්තරයෙන් ලීක් වෙන
වතුර ටැංකියක් ඇති නිවෙසක
සිත් සේ නාන්නට කිසිවෙකුට නොලැබෙයි.
සබන් ගාන්නටත් පෙර
වතුර නවතියි.

නිතර නිතර
කුමක් හෝ බුදින අය අතර පවතිනේ
නොනිවෙන අතෘප්තියකි.

විවාහ වූ පසුව
මීට ප්‍රතිවිරුද්ධව හැසිරෙමින්
කාමයෙහි ඇලී ගැලී විසීම හේතුවෙන්
කාම ජීවිතයට යාන්ත්‍රිකව ඇබ්බැහි වෙන
කාමාතුර සිත් ඇති විවාහකයන්ටද
කල්යාමේදී
විවාහයත් කම්සුවයත් නීරස වෙයි.

මේ අතෘප්තියට විකල්පයක් ලෙස
තාවකාලිකව ඇති කරගන්නා අනියම් සබඳතාවලින්
ඔවුන් ලබන නැවුම් තෘප්තිය ආශ්වාදය
නිවසේදී නොලැබෙන්නේ
තමාගේ  තෝරාගැනීමේ වරදකැයි
සිතන්නට ඔවුහු පෙළඹෙති.
එහෙත් රහස ඇත්තේ
ඔවුන්ගේ චර්යාවන් නිසා සිත් වල උපදින
කාමාශාවන් සුවපත් කරගන්නට
ඔවුන්ට ඇති අවස්ථාවන් දෙකෙහි වෙනසයි.
කම්සුවයට නිවසෙහි ඇති නිදහස සහ
අනියම් පෙමක ඇති සීමිත නිදහස අතර වෙනස
ඔවුන්ට දැනෙන වෙනසට මූලික හේතුවයි.

ශීතකරණයෙහිත් මේසය මතත් කෑම වර්ග පුරවාගෙන
යන්තම් කුසගින්නක් දැනෙන විටම
කටේ මොනවා හෝ ඔබාගන්නට
පහසුකම් සපයා ඇති නිවෙස් වල වෙසෙන්නෝ
වෙනසක් සොයාගෙන බැහැරක ගොස්
අමුතු ආහාර බුදින්නට සතිය පුරා පෙරුම් පුරති.

ගමේ රහට නෙලුම් කොළේ,
නැත්නම් සයිවර් හෝටලයක, මැක්ඩොනල්ඩ්ස්, ඛ්FC ආදී
ගෙදර නොවන කොතනකින් හෝ
අමුතු කෑමක් කන්නට
ඔවුහු අතිශයින් ප්‍රිය කරන්නේ
නිවසෙහි හැම විටම පිරී ඇති ආහාර
සිත්සේ නිදැල්ලේ බුදින්නට ලැබීමෙන්
ඒ ආහාර හොඳටම අප්‍රිය වී ඇති නිසාය.

අනවරත මධුසමයක් සොයන
කාමයෙහි ඇලී ගැලී වෙසෙන කාම භෝගීන්ද
නිවසේ විඳින කම්සුවය අප්‍රිය වී
කම්සුවය නීරස යාන්ත්‍රික ක්‍රියාවක්
පැහැර හැරිය නොහැකි අප්‍රසන්න වගකීමක්,
ඉටුකළ යුතු යුතුකමක් බවට
කෙමෙන් පත් වීම නිසා
අමුතු රස සොයන්නට බැහැරට යොමු වෙති.

සුරූපී දෙවඟනක් වන් බිරිඳ නිවසේ සිටියදී
ඉඳහිට හමුවන කැහැටු විරූපී අනියම් බිරියට
පණ පුදා පෙම් කරන සැමියන්ද
කඩවසම්, ධනවත් සැමියා සිටියදී
තට්ට හිසැති වියපත් ත්‍රීවීල් කරු සමග
පාසැල් දැරියක මෙන් පෙමින් වෙළෙන බිරියන්ද
සමාජයෙහි අපට හමුවන්නේ
පමණ ඉක්මවා කම් සුවයෙහි ගැලී
කාමාශාව අකාලයේ සිඳී මෝහයට පත්වූ
අසාර්ථක විවාහ නිසාය.
___________ . ___________
.
කම් සුව විඳින්නට
සාමාන්‍යයෙන් කායිකව අප්‍රිය නොවන
විරුද්ධ ලිංගිකයෙක් ප්‍රමාණවත්ය.
මනසට බලපාන සුරූපී බව හෝ කඩවසම් බව
කම් සුවය විඳින විට ඍජුව බල නොපායි.

ස්පර්ශයෙන් සුඛ වේදනා ජනිත වෙන
කවර හෝ ස්ත්‍රී පුරුෂ සම්බන්ධයක් තුළ
කම් සුව විඳීමට බාධාවක් ඇත්නම්
ඒ බාධාව මානසික බාධාවකි.

කම් සුවයෙහි මූලික පදනම
අප මානසිකව තනාගන්නා විවිධ චිත්ත රූප නොව
හුදු කායික ස්පර්ශය හා ඉන් ජනිත වෙන
ප්‍රිය ජනක වේදනා මාලාවයි.

ස්පර්ශයෙන් උපදින වේදනාව
සුඛ වේදනාවක් නම්
ඒ වේදනා හඳුනාගන්නා සංඥාව නිසා
රාග සංස්කාර පහළ වෙයි.

කායිකව එකිනෙකා ප්‍රිය කරන
විරුද්ධ ලිංගිකයන්ගේ ස්පර්ශයකදී
කායික ස්පර්ශය සිදු වන්නේ එක ඇඟිල්ලක වුවද
ඉන් පහළ වන සුඛ වේදනාව ප්‍රිය කිරීමෙන්
චිත්තයෙහි ජනිත වන රාග සංස්කාර නිසා
විඥාණයෙහි අනුසය කෙලෙස් කැළතී
පැරණි රාග සංස්කාරද උපදී.
නව සහ පැරණි සංස්කාර වලින්
සමස්ත ස්නායු පද්ධතියම කම්පනය වෙමින්
මනසෙහි කාමච්ඡන්දය ඉපදී
මුළු කය පුරාම කාමය රළ නැගෙමින්
කාම තණ්හාව පහළ වෙයි.

කාම නිමිත්ත
බාහිර නිමිත්තක් වුවද
ස්ත්‍රී පුරුෂ හැම කෙනෙක්ම
දැඩි තෘෂ්ණාවෙන් විඳින කම් සුවය
සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ කය තුළම ඉපදී
කය තුළම නැසෙන ස්වයං වින්දනයකි.
මේ වින්දනයට පෙම් බඳින ඔවුන්
ජීවිත පරිත්‍යාගයෙන්
ඒ වින්දනය ලබාදෙන නිමිත්ත සොයති.
හිමි කරගනිති. රකිති.
අහිමි වීමෙන් වියරු වැටෙති.

ඒ වින්දනය අඩු වෙනවිට
නිමිත්ත එපාවීමත් පිළිකෙව් කිරීමත්
ඒ තීව්‍රතාවයෙන්ම සිදු වෙයි.
ඒ වින්දනය ඉක්මවන වින්දනයක් සපයන
වෙනත් නිමිත්තක් හමුවූ සැණින්
පළමු නිමිත්තෙන් මිදෙන්නට
සිත් පහළවන්නේද ඒ ආකාරයටමය.
___________ . ___________
.
ස්පර්ශයෙන් උපදින වේදනාව
සුඛ වේදනාවක් නම්
ඒ වේදනා හඳුනාගන්නා සංඥාව නිසා
රාග සංස්කාර ඉපදී ඇති වෙන කාම තණ්හාව
සංවාසයට යොමු නොවී උපාදාන වන්නට ඉඩ හැරීමෙන්
භව තණ්හාවක් බවට පත් වී
කම් සුවය වඩ වඩාත් උද්දීපනය වෙයි.

පෙම්වතුන් ලෙස ඈතින් වෙසෙන කාලයේ
සිත්වල පහළ වන රස තෘෂ්ණාව
ඔවුන් බැහැරක හමුවෙනතුරුම
උපාදාන වෙයි.

පෙම්වතුන් ලෙස පසුවන කාලයේ
දුරකථන ඇමතුම්,
සෙල්ෆි ඡායාරූප, පෙම් හසුන්, SMS පණිවිඩ ආදී
කිසියම් රූප නිමිත්තක් ශබ්ද නිමිත්තක
ඉන්ද්‍රිය උත්තේජන නිමිති කරගෙන,
පෙම්වතුන් ලබන නිමිත්තාස්වාදයත්
ඒ නිමිති අනුව චිත්ත රූප මවා ගනිමින් ලබන
අනුව්‍යඤ්ජනාස්වාදයත් නිසා
ඔවුන් තුළ උපදින රාග සංස්කාර
ඔවුන් යළි හමුවෙනතුරුම උපාදාන වෙයි.

රස තෘෂ්ණාවෙන් උපාදාන වෙන රාගය
කාමය බවට පත් වෙන අවස්ථාවෙහි
ඔවුන්ගේ උපාදාන වීමට සමානුපාතිකව
ඔවුන් විඳින කම් සුවයෙහි තීව්‍රතාවයද
එකිනෙකා කෙරෙහි ප්‍රිය කිරීම සහ බැඳීමද
අසාමාන්‍ය ලෙස ඉහළ යයි.

මේ චර්යාවට ප්‍රතිවිරුද්ධව
දිනපතා එක යහනක සැතපෙන
දවස පුරා ස්පර්ශ වෙමින් පසුවෙන විවාහකයන්
නිරන්තර ස්පර්ශයට හුරු වීමෙන්
ඔවුන්ගේ සංඥාව මොට්ට කරගනිති.
ස්පර්ශයෙන් දැනෙන සුඛ වේදනාවට
මනස හුරුවීම නිසා
සුඛ වේදනාව අදුක්ඛම සුඛ වේදනාවක් වී
දෙදෙනා එකිනෙකා පිළිබඳව
මෝහයට පත් වෙති.

පැණි රස කෑමකින් පසු
තේ එකට සීනි මදිවාක් මෙන් හැඟෙන්නේ
තේ පානයෙහි වරදක් නිසා නොව
රස තෘෂ්ණාව ඇති වෙන රස නහර මොට්ට වී
දිව මෝහයට පත්වීම නිසාය.

අනියම් සබඳතා පවත්වන අඹු සැමියන්ට
නිවසේ විඳින සුපුරුදු කම්සුවයෙහි රස අඩුවන්නට
මේ ප්‍රවණතාවයද හේතුවක් වෙයි

___________ . ___________
.
අතීත කාලයේ අඹුසැමියෝ
අරපරිස්සම දැන හෝ නොදැන
වෙන් වෙන්ව යහනා දෙකක හෝ
කාමර දෙකක සැතපුණෝය.
මේ පරතරය නිසා
ඔවුන්ගේ කම් සුව විඳීම සිදුවන්නේ
දෙදෙනාගේම කාමාශාව
උපරිමයට උපාදාන වීමෙන් පසුවය.

කාමය උපාදාන වීමට සමානුපාතිකව
ඔවුන් විඳින කම් සුවයෙහි තීව්‍රතාවයද
එකිනෙකා කෙරෙහි ප්‍රිය කිරීම සහ බැඳීමද
අසාමාන්‍ය ලෙස ඉහළ යයි.
ඔවුන්ගේ ජීවිත පරිණත වනවිට
ස්වාභාවිකව කාමය නිවී ගියත්
අරපරිස්සමෙන් කම් සුව විඳි ඔවුන්ගේ
මානසික බැඳීම් අඩු නොවීය.
අනියම් පෙමින් නොබැඳුණෝය.
ඔවුන්ගේ විවාහ වල පදනම වූයේ
කාමය නොවේ.
අන්‍යෝන්‍ය සහජීවනයයි.

මෙකල වුවද
රැකියා අවශ්‍යතා නිසා
නිවෙසින් බැහැරව වෙසෙන අයද
( අනියම් සබඳතාවයන්ගෙන්
රස තෘෂ්ණාව බාල කර නොගත හොත් )
වඩා සමීප සබඳතාවයකින් වෙසෙති.
රැකියාව නිවස ආසන්නයට  ලැබුණ කල
ඉඳ හිට ලැබූ වින්දනය නිරතුරුව විඳීමෙන් බාල වී
වෙනත් ආශ්වාදයන්ට නැඹුරු වීම
සිදුවිය හැකි දෙයකි.
___________ . ___________.
.
නොමේරූ සම්බන්ධයක ආවේග ගොරෝසුය.

කායික ස්පර්ශයට නුහුරු අය
මුල් කාලයේදී මනසින්ද කුලෑටි නිසා
ඔවුන් විඳින සුවය ගොරෝසුය.
බියෙන් චකිතයෙන් බොර වී ඇත.

කායිකව එකිනෙකාට හුරු වෙන විට
එකිනෙකා විඳින සුඛ වේදනා පිළිබඳව
සිහියෙන් පසුවෙන පෙම්වතුන්ට
කාලයත් සමග සියුම් වන වේදනා
හඳුනාගත හැකි අයුරින්
සංඥායතනයද තීව්‍ර වෙයි.

වස්දඬු රාවයට වඩා
කොත්තු රොටි හඬට ප්‍රිය කිරීම
ගොරෝසු මනසක ස්වභාවයයි.

කාමභෝගී බව අධික නිසා
කාමයෙන් මුසපත් වන කාමාතුර පෙම්වතුන්
නිරන්තරයෙන් සොයන්නේ ගොරෝසු සුඛ වේදනායි.
එකෙකු හා පෙමින් වෙළී සිටියදී
වෙනත් සබඳතාවයන්හි ඇලෙන්නේ ගැලෙන්නේ
මේ කාමාතුර ස්වභාවය නිසාය.

ඔවුන් කොතෙකු වෑයම් කළත්
නිරන්තරයෙන් පසුවන්නේ අතෘප්තියෙනි.
මත්පැනට මත්ද්‍රව්‍ය වලට හුරුවන්නට
ඔවුන් තුළ ඇති ප්‍රවණතාවයද වැඩිය.
රාගයෙන් ද්වේශයෙන් පෙළෙන්නෝ
මතට ඇබ්බැහි වන්නේ
කැළඹෙන මනස සැනසීමටය.

අනියම් සබඳතා මගින්
සිත කය දූෂ්‍ය කර නොගෙන
අරපරිස්සමෙන් කම් සුව විඳිමින්
මානසිකව සමීපව වෙසෙන විවාහකයන්ගේ
සමාහිත විවාහ ජීවිත
කාලයත් සමග පරිණත වෙන අතර
සුඛ වේදනා සියුම්ව විඳීම
වඩාත් ප්‍රබලව සිදු වෙයි

සියුම් සුඛ වේදනාවන්ට හුරුවීම
පෙම්වතුන්ට වඩා විවාහකයන්ට පහසු වන්නේ
ඔවුන් සතුව ඇති නිදහස අසීමිත නිසාය.

ඉඳහිට හමුවෙන පෙම්වතුන් මෙන්
බියකින් චකිතයකින් තොරව
නිදහසේ එක්වන විවාහකයන්ගේ සමාහිත සිත්වලට
සියුම් සුඛ වේදනා විඳීම සුවයකි.
ඒ විවාහය තුළ
කාමය ශෘංගාරය බවට පත් වෙයි.
ශෘංගාරය සිත කය දෙකටම
ආනන්දනීය සුවයකි.

ආධුනික කලාකරුවෙක්
මුදලට, ස්ත්‍රියට, මත්පැනට වහල් නොවුණොත්
කාලයත් සමග පරිණත වීමෙන්
ශෘංගාරය මනාව මුසු කරමින්
සියුම් කලාත්මක නිර්මාණ බිහි කරන්නාක් මෙන්
කාලයත් සමග සියුම් වෙමින් පරිණත වෙන විවාහයද
අඹුසැමියන්ටත් දරුවන්ටත් සුවදායකය.

පරදාර සේවනයෙහි යෙදෙමින්
සිල් බිඳගන්නා විවාහකයන්ගේ සිත්වල
සමාහිත බව පිරිහෙයි.
සිතෙහි සංවේදී බව පිරිහෙයි.

අසමාහිත සිතට සියුම් වේදනා නොදැනෙයි.
ගොරෝසු සුඛ වේදනා සොයයි.
අනියම් සබඳතා ඇති සැමියාට හෝ අඹුවට
නිවසේ විඳින කම්සුවය අප්‍රිය වන්නට
ප්‍රධානම හේතුව
ඔහුගේ රුචිය ගොරෝසු වීම නිසාය.

අනියම් සබඳතා ඇති අඹුව හෝ සැමියා
නිවසක පවතින සන්සුන් වාතාවරණයට නොගැලපෙන
රළු ගොරෝසු චර්යා ඇත්තෝය.

වස්දඬු රාවය සමග මුසු කළ
කොත්තු රොටි තනන හඬක් මෙන්
ඒ විවාහය දෙදෙනාටම අතෘප්තිකර වෙයි.

අඹු සැමි දෙදෙනාම
අනියම් සබඳතා පවත් වන්නෝ නම්
ඒ විවාහය විවාහයක් නොවේ.
___________ . ___________ 

 .
අරපරිස්සමෙන් කම්සුව විඳින විවාහ වල
ඔවුන් විඳින කම්සුවයෙහි තාරතාවය
කාලයත් සමග සියුම් වෙමින් තීව්‍ර වෙයි.

කම් සුව විඳින්නට කොතෙකුත් අවසර ඇතත්
අරපරිස්සමෙන් කම්සුව විඳීම
අඹු සැමි සම්බන්ධය මනාව පවත්වා ගැනීමට
යහපත් පිළිවෙතකි.

ස්පර්ශයෙන් උපදින සුඛ වේදනාවන්ට නිරතුරුව වහල් නොවී
රස තෘෂ්ණාව ප්‍රබල වනතුරු උපාදානවන්නට ඉඩ හැරීම
කාමය මත පදනම් වන විවාහ ජීවිත වලට
ආරක්ෂාවක් වෙයි.
අනියම් සබඳතා ඇති කර නොගනිමින්,
විරුද්ධ ලිංගික රූප නිමිති කරගෙන
නිමිත්තාස්වාදය නොලබමින්,
ඒ නිමිති අනුව චිත්තරූප මවාගෙන හෝ
ඒ නිමිති ගැන සංවාදයෙහි යෙදී
අනුව්‍යඤ්ජනාස්වාදය නොලබමින්
කයින් මෙන් මනසින් එකිනෙකා සමග බැඳුණ
ශීලාචාර අඹුසැමියන්ගේ විවාහ ජීවිත
ස්වාභාවිකව පරිණත වෙති.

සැබෑ කම්සුව විඳින්නෝ ඔවුන්ය.

-__________________-

මේ සටහන අදාළ වන්නේ රාගය පදනම්වූ විවාහයන්ටයි.
ද්වේශය හා මෝහය පදනම් වන විවාහ පිළිබඳව
වෙනම ලිවිය යුතුය.

සටහන ලියා ඇත්තේ ඉතා කෙටියෙන් නිසා
පැහැදිලි නැති තැන පිළිබඳව
ප්‍රශ්න කරන්නේ නම් මැනවි.


No comments:

Post a Comment