20160510

අපේ ජීවිතයෙ වටිනාම අංග හතර...


අපි ජීවත් වෙන්නෙ
අපේ කයත් සිතත්
ක්‍රියා කරන තුරු විතරයි.

කයත් සිතත් ක්‍රියා කිරීම නැවතුණාම
අපි මැරෙනවා.


 කල්ගත වෙලා
අපි වයසට ගිහින්
අපේ සිතත් කයත් හොඳටම පරණ වුණාම
අපි මැරෙනවා.

ලෙඩක් හැදිලා සුව නොවුණොත්
අපි මැරෙනවා.

වාහනයක හැපුණොත්, වතුරෙ ගිලුණොත්
අපි මැරෙනවා.

කෑම නැතුව, වතුර නැතුව
ගොඩක් දවස් හිටියොත් මැරෙනවා.

කවුරු හරි පිහියකින්, කැත්තකින් අපිව කපලා,
අපිට වෙඩි තියලා
ගොඩාක් ලේ ගියොත් අපි මැරෙනවා.

කවුරු හරි අපේ හුස්ම හිරවෙන තුරු
බෙල්ල මිරිකගෙන හිටියොත් මැරෙනවා.

කාලයක් තිස්සෙ මත්පැන් බිව්වොත්
අක්මාව දියවෙලා මැරෙනවා.
වස විස කැවුණොත් මැරෙනවා.
හෘදය වස්තුව දුර්වල වෙලා නැවතුණොත් මැරෙනවා.

සුව නොවෙන පිළිකාවක් හැදුණොත් මැරෙනවා.

සුනාමියක්, භූමි කම්පාවක් ඇවිත් මැරෙන්න පුලුවන්.

ලොකු උසකින් වැටුණොත් මැරෙනවා.

ගින්නකට අහු වුණොත් පිළිස්සිලා මැරෙනවා.

කෙනෙක් මැරෙන්නෙ කයට සිදු වෙන දෙයින්.
ඒත් කලාතුරකින්, දුර්වල හෘදය වස්තුවක් තියන කෙනෙකුඅට
ලොකු දුකක්, තරහක්, බයක්, සතුටක් හිතට ආවිත්
හෘදය වස්තුව නැවතිලා මැරෙන වෙලාවල් තියනවා.

කොයි වෙලාවෙ උණත් ජීවිතය
මරණයෙන් කෙළවර වෙන්න පුලුවන්.

මරණයට පත් නොවී, ලෙඩරෝග හැදෙන්නෙ නැතුව,
ලෙඩරෝග හැදුණොත් සුව කර ගනිමින්,
අනතුරු නොවෙන්න රැකගනිමින්
ස්වාභාවිකව මැරෙන තුරු ජීවිතය පවත්වා ගැනීම
අපේ ස්වාභාවික වගකීමක් සහ කැමැත්තක්.

කය මරණයෙන් ආරක්ෂා කරගන්න
කයෙහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න
ඒ සඳහා අවශ්‍ය තැන් සොයාගන්න හිත අපිට උපකාර වෙනව.

අපේ ජීවිතය ආරක්ෂාකරගන්න
අපි තුලත් අප අවටත් සිදුවෙන
ලොකු කුඩා වෙනස්කම්
හිතට දැනෙන්න ඕන.
හිතට මුලු කයම දැනෙනවා.
ඒත් හිත වැඩියෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ
මොළය මගිනුයි.

අවට පරිසරයෙ සීතල වැඩි වෙනකොට
ඒ අනුව කය වෙනස් වෙනවා.
ඒ වෙනස ස්නායු වල සිදුවෙන වෙනස් කම් මගින්
මොළයට දැනෙනවා.
සීතල නිසා ස්නායු වල සිදුවෙන වෙනස
කයෙහි ඇතිවෙන වේදනාවක් විදියට
හිත හඳුනාගන්නවා.
ඒ වේදනාවට අපි සීතල කියලා කියනවා.
අව්වෙ ඉන්නකොට දැනෙන වේදනාවට
අපි කියන්නෙ උණුසුම කියල.
ඒ හඳුනා ගැනීමට අනුව
මොළය ක්‍රියා කරලා
කයෙහි උණුසුම අඩු වැඩි කරමින්
ශරීරයෙ උශ්ණත්වය
නිශ්‍චිත අංශකයක
පවත්වාගන්නවා.

අවට පරිසරය හඳුනා ගන්නත්
ඒ පරිසරය තුළ ආරක්ෂාවෙලා ඉන්නත්
අවශ්‍ය දේ සපයා ගන්නත්
අපට ආධාර වෙන
තවත් අංග කිහිපයක් තියනවා.

ඇසට රූපයක් වැටුණාම
ඇසේ ඇඳෙන රූපයෙන් ඇතිකරන
විවිධ වේදනා ඇසුරෙන්
අපි රූප දකිනවා, රූපවල වර්ණ දකිනවා,
හැඩතල, ප්‍රමාණය දැන ගන්නවා.

කණට ඇතුල්වෙන ශබ්දයෙන් ඇතිවෙන වේදනාවට
අපි කියන්නෙ ඇහෙනවා කියලා.
ශබ්දයේ තියුණු බව, තාලය, රිද්මය
ඒ වේදනාව ඇසුරෙන් අපිට දැනෙනවා.
ඒ ශබ්දය මගින් හඳුන්වන බව
අපි දන්න යමක් තියනවා නම්
ශබ්දය ඇසුරෙන් අපි ඒ දේ ත් හිතාගන්නවා.

නාසයට දැනෙන සුවඳ
අපිට තොරතුරු ලබාදෙන තවත් වේදනාවක්.

කයෙහි ක්‍රියාකාරිත්වයත්, පෝෂනයත්, පැවැත්මත්
බොහෝ දුරට රඳා පවතින්නෙ
දිවට දැනෙන වේදනා හඳුනා ගැනීම මතයි.
දිවෙහි සිදු වෙන වෙනස් කම් නිසා
දිවේ ඇතිවෙන වේදනා ඇසුරෙන්
අපි රස, උෂ්ණත්වය, දළ-මුදු බව, ඝන-ද්‍රව වෙනස
ආදිය මගින් ආහාර හඳුනා ගන්නවා.
මේ ක්‍රියාවට ඇසෙත් නාසයෙත්
සමහර විට කණෙත්
ඇතිවෙන වේදනා ආධාර වෙනවා.

මෙතෙක් ගතකළ ජීවිතය තුළ
සිදු වූ දේවල් වල මතක සටහන්
අපි තුළ තැන්පත් වෙලා තියනව.
කයෙන් බැහැර හෝ
කය තුළ සිදුවෙන වෙනස්කම් නිසා
ඒ මතක සටහන් කැලැත්තිලා
ස්නායු සහ මොළය ක්‍රියාකාරී වෙලා
කයෙහි ඇතිවෙන වෙදනා නිසා
හැඟීම් සහ සිතුවිලි ඇතිවෙනවා.

අපි ජීවිතය ගත කරද්දි
අපිට ඒ සඳහා ආධාර වෙන
උපාංග හතරක් අපි දන්නවා.

1, කය
2, වේදනා [ කයෙහි වෙන වෙනස්වීම් ]
3, සිත
4, හැඟීම් හා සිතුවිලි [ සිතෙහි වෙන වෙනස්වීම් ]

මේ හතරට පිටින් සිදුවෙන කිසිම දෙයක්
අපට දැනෙන අපි විඳින ජීවිතය තුළ නැහැ.



මේ අංග හතර නිවැරදි විදියට
භාවිතා කිරීම
දුකෙන් මිදෙන්න මාර්ගයයි.
 

මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.
1, 
සත්වයාගේ විශුද්ධියට,
2, 
සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, 
දුක් දොම්නස් අස්තංගත වීමට
4, 
ප්‍රඥාව ඉහළ යාමට
5, 
නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

කවර වූ සතරෙක්ද?
___මහණෙනි, යම් මහණෙක්,
1, 
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, 
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේ
නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,
3, 
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, 
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

No comments:

Post a Comment