20160314

මිනිස් මොළයේ විද්‍යාත්මක වම සහ කලාත්මක දකුණ...




මිනිස් මොළයෙ වම්පැත්තත් දකුණු පැත්තත්
එකිනෙකට බෙහෙවින් වෙනස් ආකාරයට ක්‍රියා කරන බව
අද සොයාගෙන තියනවා.
වම්පැත්ත විද්‍යාත්මකයි, යාන්ත්‍රිකයි, පුරුෂ ගුණිකයි.
දකුණ කලාත්මකයි. ස්ත්‍රී ගුණිකයි.

වම තාර්කිකයි, සමාජවාදීයි, පාක්ෂිකයි,
ඔත්තෙ සංඛ්‍යාත්මකයි...
එකාකාරී තාලයක් තියනවා.
විච්ඡදනය කරමින් ඛණ්ඩනය කරමින්
වර්ග කරනවා.
වතුර අයිස් ජලවාෂ්ප
වර්ග තුනක් විදියට දකිනවා.
ඒ විදියට සලකනවා.
විද්‍යාවෙදි මේ ගුණය ප්‍රකටයි.

දකුණ අතාර්කිකයි. ඉරත්තෙ සංඛ්‍යාත්මකයි..
කාරුණිකයි, අපක්ෂපාතීයි,
තාලයට වඩා රිද්මයක් තියෙන්නෙ.
සියලු කොටස් එකම දේක අංග විදියට
සම්බන්ධ කරමින් බලනවා.
වතුර අයිස් ජලවාෂ්ප
එක වර්ගයක ප්‍රභේද විදියට දකිනවා.
දෙවිදියටම සලකනවා.
කලාවෙදි මේ ගුණය අත්‍යාවශ්‍යයි.

හිරු, දහවල, ආලෝකය වමට බරයි.
සඳු, රාත්‍රිය, අඳුර දකුණට බරයි.

සියල්ලම මේ ආකාරයෙන් බෙදෙනවා.
හැම කෙනෙක් තුළම මේ දෙපැත්ත
එක් පසකට බරව පවතිනවා.
සමබර කර ගැනීමේ අභියෝගය
හැම කෙනෙක් ඉදිරියෙම තියනවා.

මොළයේ දෙපසම සමබර කරගත් සහ
සමබර කරගන්නා ක්‍රමය කියා දුන්
උත්තර මනුෂ්‍යයා බුදුන් වහන්සේයි.
බුදු දහමෙන් පුහුණු කරන සම්පජානෝ සතිය මගින්
සම්පූර්ණ මොළය සහ ස්නායු පද්ධතිය
භාවිතා කරන්නට මග සකස් කරනවා.

දක්ෂ විද්‍යාඥයන් වමට බරයි.
ඒත් ඔවුන් අතර ලෝක පූජිත වෙන්නෙ
දකුණෙ ස්වභාවය මිශ්‍ර වුණ අයින්ස්ටයින්
නිර්මාණාත්මක හැකියාව තිබුණ එඩිසන් වැනි අයයි.

කලාකරුවන් බිහිවෙන්නෙ දකුණෙන්.
ඒත් ඔවුන් අතර ලෝක පූජිත වෙන්නෙ
ඩාවින්චි, ටොල්ස්ටෝයි, තාගෝර් වැනි
වම් පැත්තත් මිශ්‍ර වූ අයයි.

ලංකාවෙ නිර්මාණකරුවන් අතුරෙන්
මාර්ටින් වික්‍රමසිංහ වැඩිපුර වමට බර කෙනෙක්..
ඔහුගෙ නිර්මාණ වල තර්කනය තියනවා.
සරච්චන්ද්‍ර මාර්ටින් වික්‍රමසිංහ ළඟින් ඇසුරු කළා.
ඒත් ඔහු ඊට වඩා දකුණට බරයි.
ඔහු නිර්මානය කළ දෙවෙන්දොරා සං
මොළේ දකුණු පැත්තෙ ප්‍රතිමූර්තියක්.
නොරිකො ස්ත්‍රියක් ලෙස දකුණට බර නමුත්
වම භාවිතා කොට ප්‍රශ්න ඇති කළා.

"පුතු සෙනේ පිතු හද තුළම මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ"
සිංහබාහු වදන් තුළ තර්කනය
කලාත්මකව සැඟවී තියනවා.

සේකර තුළ මේ දෙපැත්ත
වෙන්කරන්න නොහැකි තරමෙ
හොඳ සමබරතාවයකින් තිබුණා.
ප්‍රේමකීර්ති දකුණට බර වුණත්
සියුම් ලෙස වම්පැත්ත භාවිතා කළ කෙනෙක්.

වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය...
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී
අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට...

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල..
බිඳී ගියමුත් බඳුන් අතින් දිය බොනු හැකිය...
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන...

සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට...
ගළන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද...
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන...
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්.

සුනිල් ආරියරත්න වමට බර කෙනෙක්.
මහාචාර්ය පදවිය සමග ඔහු වමටම කොටුවුණා.
නිර්මාණ උල්පත හිඳුණා.

ගාමිණී ෆොන්සේකා වම භාවිතා කරමින්
දකුණ නිදහස් කරගත් කෙනෙක්.
ජෝ දකුණට බරයි.
ජෝ තුළත් ප්‍රේමකීර්තිගේ මෙන් සියුම්ව
වම හොඳින් ක්‍රියා කළා.

රත්න ශ්‍රීත් වමට බර, තාර්කිකව, පාක්ෂිකව
සමාජවාදීව ලොව දිහා බලන කෙනෙක්.
දකුණ දුර්වලවීම ඔහුගෙ නිර්මාණ හැකියාවට
විශාල බාධාවක්.

සැබෑ කලාකරුවාත් , විද්‍යාඥයාත් දෙදෙනාම
මිනිස් වර්ගයාගෙන් කොටසක් තෝරාගත්තේ නෑ..
ඔවුන් වින්දිතයාට මෙන්ම වරද කරන්නාටත්
කරුණාව දැක්වුවා.

හිරිමල් යොවුන් වියේදි
දක්ෂ ලේඛන හැකියාවක් පෙන්වූ
මගේ එක් කාලයක මිතුරෙක් සමග
මම රූපවාහිනිය නැරඹුවා.
එක් දර්ශනයක
කාක්කෙක් හා පැටියෙක් අල්ලා ගනිද්දි
"අනේ පව්" කියා ඔහු කම්පා වුණා.
ඊළඟ දර්ශනයක
රාජාලියෙක් අර කාක්කා අල්ලාගනිද්දි
" හොඳ වැඩේ" කියමින් සතුටුවුණා.
ඔහු තුළ තිබුණේ අනුකම්පාවයි.
කරුණාව නොවෙයි.

අනුකම්පාවෙන් නිර්මාණ කරන කලාකරුවා
උත්තම ගණයට වැටෙන්නෙ නෑ..
ඔහුගෙ නිර්මාණ වලට පදනම් වෙන්නෙ
අනුව කම්පා වීමයි.
අනුකම්පාව සියුම් ආත්මානුකම්පාවක්.
ඔහු සටන් කරන්නෙ තමන්ගෙ වර්ගයා වෙනුවෙන්.

සැබෑ කලාකරුවා කාරුණිකයි.
ඔහු වරද සිදුවන්නාටත්
වැරදි කරන්නාටත් කරුණාව දක්වනවා.

" මා වැඳ වැටුණේ ඔබට නොවෙයි.
දුක් විඳින සියලු මිනිස් වර්ගයාටයි."

ඩොස්ටොයෙව්ස්කිගේ අපරාධය සහ දඬුවම පොතේ
වියරුවෙන් මෙන් ගණිකාවකට වැඳ වැටෙන
මිනීමරු රස්කොල්නිකොව් කියන
මේ වචන වල මෙන්ම මේ ජවනිකාව තුළත්
මොළයේ වමත් දකුණත් ඉතා හොඳින් මිශ්‍රව තියනවා.

ඩොස්ටොයෙව්ස්කි,
තාගෝර් ටොල්ස්ටෝයි වැන්නන්
අපක්ෂපාතී යහපත් දෙමාපියන් මෙන්
තමන්ගෙ හැම චරිතයකටම කරුණාව දැක්වුවා.
ඔවුන්ගෙ නිර්මාණවලින් විහිදෙන
ඒ කරුණාවෙන් හදවත් දයාවෙන් තෙත් වී
රසිකයන්ගෙ මිනිස් බව වර්ධනය වුණා.
හොඳ කලාකරුවන් වටා කල්ලි හැදුණෙ නෑ.
ඔවුන්ට ආදරය කළ පොදු ජනතාව
ඔවුන් සැලකුවේ පොදු වස්තූන් විදියටයි.
ගෞරවයට හේතු වුණේ
ඒ කලාකරුවන් විසින්
මොළයේ වම සහ දකුණ වෙන් කරන සීමාවන්
ස්වභාවයෙන්ම අතික්‍රමය කිරීම නිසයි.

අද ඉන්න නිර්මාණ කරුවන්ගෙ හිත් ඉතාම පටුයි.
ඔවුන් නිර්මාණ කරන්නෙ සීමිත පරාසයක වෙසෙන
තමන්ගෙ පක්ෂය වෙනුවෙන්.
ඒ නිසා ඔහු වටා කල්ලියක් හැදෙනවා.
" මේ අපේ මිනිහෙක්" කියන හැඟීම
ඒ රසිකයන් තුළ තියනවා.
ඒ හැඟීම කලාකරුවා බාල බවට
සහතික කරන මුද්‍රාවක්.

No comments:

Post a Comment