20160303

බිහිරෙක් අන්ධයෙක් හිතන්නෙ කොහොමද?




ක්‍රියාවක් සිදු වෙද්දි
අවස්ථා කිහිපයක් පසු වෙනවා.
1,
ස්පර්ශය
( මනස සහ පසිඳුරන් මත )
2,
වේදනාව
( ස්නායු වල වෙන වෙනස )
3,
හැඟීම
( වචන නෑ )
4,
සිතිවිලි
( වචන තියනවා. )
5,
ක්‍රියාව..

අපි හැඟීම විදියට විඳින්නෙත්
සිතිවිලි මගින් හිතන්නෙත්
අපේ ඉඳුරන් මත ස්පර්ශ වෙන අරමුණු වලින්
අපි ග්‍රහණය කරගන්නා තොරතුරු වලින්
අපි හදා ගන්නා සංකේත පමණයි.
අපි හිතන්නෙ වචන වලින් සහ රූප වලින්.
කියවන්න ඉගෙනගෙන නැත්නම්
බිහිරෙක් හිතන්නෙ කොහොමද.
ඔහුට වචන නැහැ.
අන්ධයෙක් හිතන්නෙ කොහොමද?
ඔහුට රූප නැහැ.

අපට නිවස කියන්නෙ සංකේත රූපයක්.
අපි වචන ඉගෙන ගනිද්දි
ඒ සංකේතය තව දුරටත්
සරල කර ගන්නවා.

කෙනෙක් ඔබේ නිවස කියා
අපි දෙන්නෙකුට කිව්වොත්
අපි දෙන්නාගේ සිත් තුළ ඇති වෙන සංකේත
එකිනෙකට බොහෝ සෙයින් වෙනස්.
සිරකරුවෙකුට නිවස කියන්නෙ
අපට වඩා වෙනස් දෙයක්.
ඔහුගෙ නිවස ව්‍යාකූල රූපයක්.
වෙනත් නුවරක නවාතැන් ගත් කෙනෙකුට
නිවෙස් දෙකක් තියනවා.
ඔහු වැඩ ඇරී යන්නෙ එක නිවසකට.
සති අන්තෙ යන්නෙ අනිත් නිවසට.

මොන විදියට නිවස කිව්වත්
අපි කවුරුත් භාවිතා කරන්නෙ අපට සාපේක්ෂ සංකේතයක්.
ඇස් පෙනෙන. කන් ඇහෙන. කියවන්න පුලුවන් අපිට
නිවස කියන්නෙ වචනයේ හැඩය සහ
ඒ ඇසුරෙන් ඇඳෙන
බිත්ති හතරක් වහලයක් සහිත සරල සංකේතයක්...

බිහිරෙක් අදහස් ප්‍රකාශ කරද්දි
වචන නැති වුණාට
ඔහුත් රූපමය සංකේත භාවිතා කරනවා.

ඔහුට නිවස කියන්නෙ ඔහු අතින් එහි හැඩය පෙන්වද්දි
ඔහුගෙ මනසෙ ඇඳෙන රූපයයි..

බොහෝ මාර්ග සංඥා අපට කතා කරන්නෙ
ගොලු භාෂාවෙන්..

 
බිහිරාට කියවන්න පුලුවනි නම්
ඔහුත් අපි වගේ අකුරු එකතුවම භාවිතා කරාවි.

අන්ධයෙක් නිවස කියන්නෙ
බ්‍රේල් ක්‍රමයට ඔහුගෙ අතට ස්පර්ශ වෙන හැඩය සහ
නිවස සැරයටියෙන් සහ අත්වලින් ස්පර්ශ කරලා
ඔහුගෙ මනස තුළ සකස් වෙන සංකේත විය හැකියි..
ඔහු මවා ගන්න නිවස අපි දකින නිවස නොවෙයි..
ඔහුගෙ නිවසට ඔහු එන පාර, ගේට්ටුව ආදී
මග සලකුණුත් ඇතුලත් ඇති.

ඒ තොරතුරු වලින් රූපයක් ඇන්දොත්
පිකාසෝගෙ
චිත්‍රයකට වඩා සංකීර්ණ රූපයක් 
අපට ලැබේවි..

මම ඔබ ගැනත්... 
ඔබ මම ගැනත් හදාගන්න ප්‍රතිරූපත්
අන්ධයෙකුගෙ රූප වගේ අසම්පූර්ණයි.

 
ෆේස්බුක් ජාලය තුළ අපි හදාගන්න රූප
සැබෑ මිනිසුන් සමග සසඳන විට
පිකාසෝගේ චිත්‍රයකට සමාන විය හැකියි.

1 comment:

  1. වැදගත් ලිපියක්.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete