20150704

දරුවන්ට තමනුත්, මුලු ලොවමත් ගැටලුවක්.


.
කුඩා දරුවන්ට
ලිංගිකත්වය ගැටළුවක් නොවෙයි..
ලිංගික කුතුහලය දරුවාට ඇති කරන්නේ
ඔවුන්ට නිතර ඇස ගැටෙන
කාමුක වැඩිහිටි හැසිරීම් සහ,
කාමුක රූපවාහිනියයි.

බහුතරයක් වැඩිහිටියන්ගේ
මුලත් අගත් ඇති ගැටලුව
පසිඳුරන් සනසමින්
කම්සුව විඳීම විය හැකියි.

දරුවන්ට තමනුත්, මුලු ලොවමත් ගැටලුවක්.

 පාසලේ උගන්වන්නේත්
පොතපත ඇසුරෙන් ගුරුවරුන් දුටු
තර්කානුකූල සිහිනයන් විනා
ඔවුන් දුටු හෝ දරුවන් දකින
සැබෑ ලෝකය නම් නොවෙයි.

කයින් වැඩුණත් සිතින් නොමේරූ ගුරුවරයා
ගහකොළ ගැන දරුවන්ට කියන විට
ජනේලයෙන් පෙනෙන ගහකොළවත්
පෙන්වන්නේ නැත.

කිසියම් ප්‍රතිභා පූර්ණ දරුවෙක්
ගහකොළ දෙස බලාගෙන
පාඩමට අනුව සිතුවත්
රටහුණු කෑල්ලෙන් හිසට පහරදී
යළි පොත තුළට දරුවා ඇද දැමීම
ගුරුවරයාට අනුව ඔහු කරන සේවයයි.
දරුවා රජකරන්නට
සිහින මවන දෙමාපියන්ටත්
ඒ ගුරුවරයා දෙවියෙකි.

නිසි මග නොපෙන්වීමෙන්
ඉඳුරන් පහම එක් එක් පමණට
මිනිසා නොමග යවන නමුත්
ඒ නොමග යෑම නොදන්නා නිසා
ඔවුන්ගේ අත්දැකීම් අනුව
දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත් ඇති
විශාලම ප්‍රශ්නය ලිංගිකත්වය
විය හැකියි.

ලිංගික ප්‍රශ්න කතා කිරීම
එකම විසඳුම හෝ හොඳම විසඳුම නොවේ.
රාගය සහ කාමච්ඡන්දය යනු
සුළු සංවේදනා ටිකක් රස විඳින්නට කරන
මහා සංග්‍රාමයක් බව පෙන්වා දීම ප්‍රමාණවත්.
වෙහෙස මහන්සිවී මුදල් උපයාගෙන,
තෝරා බේරා රැගෙන විත්,
දන්නා සියලු ශිල්ප දක්වමින් පිස,
මේසයට වාඩිවී ආහාර බුදිමින්,
අප දිනපතා තුන් වේලක් සොයන්නෙ
අපේ දිවෙහි උපදින
ප්‍රියජනක සංවේදනා බව
කුඩාම දරුවෙකුටත් ග්‍රහණය කළ හැකියි.

කාමච්ඡන්දයෙන් වියරු වැටුණ කුෂාන්
කොටකෙතන මව මැරූ ඝාතකයා
පළමුව ක්‍රියාකළේ ආවේග ශීලීවයි.
ඔහු මළකඳ සඟවන්නට සහ
මිනීමැරුම සඟවන්නට ක්‍රියාකළ
තර්කානුකූල මානසිකත්වයෙන්
මිනීමැරුමට පෙර ක්‍රියා කළා නම්
මව අහු අතින් මිය නොයන්නට ඉඩ තිබුණා.

කුෂාන් වියරුවැටුණේ
පෙම්වතිය කෙරෙහි වූ කාමච්ඡන්දය නිසයි.
ඔහු ඔහුගේ හිත දුටුවා නම්
ඔහු ඊට වහල් වන්නේ නැහැ.


හිත දකින්නේ නැති කෙනෙක්
හිත දමනය කරගන්නේ කෙසේද?

ආහාරයක් දුටු විට කැළඹෙන තමන්ගේ හිත දකිමින්
ආහාරය පාලනයෙන් යුතුව රස විඳින
වැඩිහිටියන් සහ ළමුන්
කාමයට මුහුණ දී නොකිළිටිව ඉන්නට සමත් වෙති.

ඉඳ හිට යමක් අහම්බෙන් සිදුවුවද
පාඩමක් මිස හානියක් නොවනු ඇත.

දරුවාට දෙන ලිංගික අධ්‍යාපනයෙහි
සරලම සහ මූලිකම පාඩම
වැඩිහිටියන් පසිඳුරන්ගේ වහලුන් බව
තමන්ම දැනගැනීමයි.

ඔබ කාමුක නම්
දරුවා නව යොවුන් වියට එන්නටත් පෙරාතුව
කාමුක වීම අරුමයක් නොවෙයි.

ඔබේ කාමය නොලද පෝෂණයක්
ඔබේ විසිත්ත කාමරයේදීම දරුවාට ලබා දෙන්නට
අද ජනමාධ්‍ය සැදී පැහැදී සිටිනවා.

දරුවා  වටා කැරකෙන කාම පිපාසිත ලෝකයෙන්
දරුවා රැකගැනීමට ඇති හොඳම මග
ඔබේ ලිංගික දැනුම
අමු අමුවේම දරුවා ට සම්ප්‍රේෂණය කිරීම නොවේ.

ඔබ කාමයට මුහුණ දී,
කාමයට වහල් නොවී දෙපයින් හිටගෙන
ඔබ අනුකරණය කරන්නට දරුවාට ඉඩ දීම
ඔබේ වගකීමයි.

වැඩිහිටියන්ගේ අන් හැම චර්යාවක් මෙන්ම
පසිඳුරන් දමනයෙන් යුතුව වැඩිහිටියන් කරන දේත්
නිරායාසයෙන්ම
දරුවාට සම්ප්‍රේෂණය වෙයි.

2 comments:

  1. මමත් එකඟයි ඉන්තේරුවෙන්ම...
    විශේෂයෙන්ම මේ කොටසට..
    "නිසි මග නොපෙන්වීමෙන් ඉඳුරන් පහම එක් එක් පමණට මිනිසා නොමග යවන නමුත් ඒ නොමග යෑම නොදන්නා නිසා..."
    මේ දේ සෑම ගුරුවරයෙක්ම දන්නවානම් කොපමණ හොඳද...?
    බොහොම වටින ලිපියක් අතුල මහත්තයා... හැකිනම් පුවත්පතකට යවන්න මේක...

    ReplyDelete