20150608

දරුවාට ලිංගික අධ්‍යාපනය අවශ්‍යද.???




මිනිසාත් ඇතුළුව කිසිම සතෙකුට
ලිංගික දැනුම දෙන්න ඕන දෙයක් නොවෙයි.
දරුවාට ලබා දිය යුත්තේ කාම අධ්‍යාපනයයි.

දරුවා පුහුණු විය යුත්තේ
ඔහු ලිංගිකව පොළඹවන කාමය 
මනාව හසුරුවා ගැනීමේ ක්‍රමවේදයි.

නිසි කල පැමිණෙද්දි අවශ්‍ය දේ ඉගෙන ගන්නවා.
රස කෑමට කෑදර අය කෑම රස කරන ක්‍රම
කෑම ගන්නා ක්‍රම හදාරනවා වගේ
දරුවාට ලිංගික අධ්‍යාපනය දිය යුතුයි
කියලා කියන්නෙ
 කාමාතුර වැඩිහිටියන්.

ඔබත් ලිංගික අධ්‍යාපනය අවශ්‍යයි
කියා හිතන වැඩිහිටියෙක් නම්
ඔබ තුළ ඇති රාගය, කාමඡන්දය
සමාජයේ අනෙක් අයට වඩා වැඩියි නේද
කියා විමසා බලන්න.


ඔබ ඉඳුරන් පිණවීමට
අන් අයට වඩා කැමති ඇති..

ඉඳුරන් පිණවීමට  කැමති මනසක් ඇති අය විසින්
නිර්මාණය කරන
අධ්‍යාපන ක්‍රමයක් තුළින් බිහිවෙන්නෙ
ඔවුන් වැනිම කාමාතුර දරුවන්..

කුසගින්න ඉවසන්න, වෙලාවට කෑම කන්න,
හිතකර කෑම තෝරාගන්න උගන්වනවා වෙනුවට
ඔවුන්ට ඉගෙනගන්න ලැබෙන්නේ
රස කෑම සොයාගන්න ආකාරය,
ඒ කෑම තව තවත් රස කරගන්නා ආකාරය
ආදී කාමයෙන් සිත පිනවන ක්‍රමයි.

 ලිංගික අධ්‍යාපනය අවශ්‍යයි
කියා හිතන වැඩිහිටියන් සිහින මවන්නේ
එවැනි රස වින්දනාත්මක ක්‍රමවේද සහ
ගැබ් නොගෙන කාමයෙහි හැසිරෙන ක්‍රමවේදයන්.

ඕනෑම අධ්‍යාපන ක්‍රමයක් නිවැරදිව හදාරා
සමත්වන්නේ සුළුතරයක් බව
වැඩිහිටියන්ට අමතක වෙනවා.

කාමය ස්වභාවිකයි.
නිසි ප්‍රමාණය හානිකර නෑ.
වැඩියෙන් ගැනීම හානිකරයි.


කාමයෙන් මිදුණත්
තනි පුද්ගලයෙකුට නම්
යහපතක් විනා අයහපතක් වෙන්නෙ නෑ.
ස්වකැමැත්තෙන්, ස්වයං තීරණයෙන්
කාමයෙන් ඈත්වෙන පුද්ගලයාට
ගරුකරන සමාජයක් එදා තිබුණා.
අද බහුතරයක් කාමයෙන් ආතුර වීම නිසා
කාමයෙන් ඈත්වීම මානසික රෝගයක්
බෙලහීනතාවයක් ලෙස දකිනවා.
මානසික රෝගී තත්වය නම්
කාමාතුර වීමයි.
ප්‍රතිකාර අවශ්‍ය ඔහුටයි.


මිනිසා සමාජීය සත්වයෙක්.
ඔහු සමාජය ගැන සිහියෙන්,
තමන් ගැන සිහියෙන්
බැහැරින් සහ අභ්‍යන්තරයෙන් එන
පෙළඹීම් වලට නතු නොවී
ඒ පෙළඹවීම්වලට උපේක්ෂාවෙන්
සංයමයෙන් හැසිරිය යුතුයි.
ඔහුගේ මූලික අධ්‍යාපනය විය යුත්තේ
සමාජයත් තමාත් ආරක්ෂාවෙන විදියට
සමාජයෙහි විසීමයි.

දරුවා ලිංගිකත්වයට පොළඹවන්නේ
කාමයට ඇති කැමැත්ත නිසා
අධ්‍යාපනය දිය යුත්තේද
කාමය පිළිබඳවයි..

දරුවන්ට කාම අධ්‍යාපනය දීමේදී
පිර්මි දරුවන්ට සහ ගැහැණු දරුවන්ට දිය යුතු
අධ්‍යාපනය වෙනස් විය යුතුයි.


ගැහැණිය පොළඹවන සත්වයායි.
පිරිමියා පෙළඹෙන සත්වයායි.
සතුන් අතර මෙන් නොව
මිනිස් සමාජය තුළදී
එක ගැහැණියක විසින් පොළඹවන පිරිමියෙක්
පෙළඹවූ ගැහැණිය නැති තැන
වෙනත් ගැහැණියක් ගොදුරු කරගන්නට පුලුවන්.

ගැහැණු දරුවන් පෙළඹවීමේ ක්‍රියාවෙනුත්
පිරිමි දරුවා පෙළඹීමට ගොදුරු වීමෙනුත්
නැවත ගැහැණු දරුවා,
පෙළඹුණු පිරිමින්ගෙන් තමා රැකගැනීමටත්
වැඩිහිටියන් විසින් පුහුණු කළ යුතුයි.

සමාජයට හානියක් නොවෙන්න
ලිංගික අවශ්‍යතාවය පාලනය කරගන්න
කායිකව වැඩෙන්නට පෙර සිටම
පිරිමි දරුවන්ට කායික සංවරය
පුහුණු කළ යුතුයි

ස්ත්‍රීන්ගේ පෙළඹවීම් වලින් ගිනිකණ වැටී
ඔවුන් පසුපස උමතුවෙන් නොදුවන්නට
එවැනි අවස්ථාවන්ට පත්වෙද්දීම
පිරිමි දරුවා පුහුණු කළ යුතුයි.

ගැහැණු දරුවන්ට නම්
සමාජයෙන් තමාට හානියක් නොවෙන විදියට
මානසිකව සංවරතාවය පුහුණු කළ යුතුයි.

පිරිමින් ආකර්ෂණය කරගන්නට
ඔවුන් තුළ ඇති ස්වාභාවික අවශ්‍යතාවය
ඔවුන් තුළ ක්‍රියාත්මක වන ආකාරය
ඒ අවස්ථාවලදීම
ගැහැණු දරුවන්ට පෙන්වා දිය යුතුයි.

ඒත් සමාජයේ සිදුවන්නේ
තමන්ට හෝ දරුවාට හානියක් නොවෙන නිසා
පිරිමි දරුවන්ගේ කාමුක ගවේෂණයන්
නොදුටුවාක් සේ මුනිවත රැකීම සහ
ගැහැණු දරුවා පමණ ඉක්මවා
ආකර්ෂණීය කිරීමයි.

දරුවෙකුට කුඩා කල ගැටලුවක් නොවෙන දේ
වැඩෙන විට හානිකර විය හැකියි.
එදාට දරුවා ඇබ්බැහි වී සිටියොත්
ගැලවීම ඉතාම අපහසු වෙනවා.

ස්ත්‍රී දූෂකයෙකු අතින් හෝ සියතින්ම 
ඔහුගේ දිවි තොර විය හැකියි..

දරුවන් අනතුරට පත්වෙන ප්‍රතිශතය
රටේ ජනගහණයට සාපේක්ෂව බලා
සිත සනසා ගැනීම ඉතාම අවදානම්.

මහමග ලක්ෂ ගණනක් වාහන
ඉහළ පහළ යනවා.
හදිසි අනතුරක් වන්නේ ඉතාම කලාතුරකින්.
ඒත් හැම රියදුරෙක්ම
ඊළඟ මොහොතේ අනතුරක් විය හැකිය යන
පූර්ව සූදානමින් රිය හැසිරවිය යුතුයි.

නිතර ජනමාධ්‍ය තුළ වාර්තාවෙන
ලිංගික අපහරණ, කාම අපරාධ සහ
කාමය පාදක කරගත් පහරදීම්, ඝාතන
දරුවන්ගේ අවධානයට යොමු කළ යුතුයි.
ඒ ප්‍රවෘත්ති පිළිබඳව
වැඩිහිටියන් තුළ ඇතිවෙන බිය,
පිළිකුළ ආදී හැඟීම්
දරුවන් දැකිය යුතුයි.

ඇස කණ දිව ආදී ඉඳුරන් පවා
පිණවීමේදී පාලනයකින් යුතුව,
සංයමයකින් යුතුව කරන්නට,
දරුවා පුහුණු කළ යුතුයි.
ඔහුගේ උවමනාව දැඩි නම්
ඒ උවමනාව පාලනය කරගන්නට
පරිසරය සකස්විය යුතුයි.

පාලනයෙන් තොරව සමාජයේ හැසිරෙන්නේ
පාලනය නොකරන දරුවායි.
ඔහු නිසි ලෙස පාලනය කරගන්නට නම්
ඔබ ආත්ම දමනය හුරුවිය යුතුයි..

දරුවා අධ්‍යාපනය ලබා පුහුණුවෙනතුරු
ඔහු රැක ගැනීම ඔබේ පළමු වගකීමයි.
සමාජය කියන දේට යටත් නොවී
දරුවා රැකගන්නට ඔබට ශක්තිය අවශ්‍යයි..
සමාජය හිතන දේ නොව
දරුවා මුහුණ දෙන අවදානම සිහිපත් කරන්න.

ඉහත කී සියල්ලටම වඩා
දරුවා හොඳ නරක ඉගෙන ගන්නේ
ඔහු සමග නිතර ගැවසෙන
වැඩිහිටියන්ගෙන් බව අප සිහිකළ යුතුයි.

දරුවා වෙනස් වනවිට
ඔහු ඇසුරු කරන අය අතර
ඒ වෙනස ඇත්තේ කා තුළද සොයා
ඔහුගේ වෙනස හොඳ නම් වැඩෙන්නටත්
නරක නම් පොරවෙන් කපන තැනට නොතබා
නියපොත්තෙන්ම කඩා දමන්නටත්
අප උත්සුක විය යුතුයි.

දරුවා වෙනුවෙන් වැඩිහිටියන් නැති කරගන්න.
ඔවුන් නැතිවීම ඔබට දැනෙනවාට වඩා
දරුවා නැතිවීම ප්‍රබලව දැනේවි.

කවදාවත් කිසිවෙකුට
නිවැරදිව දිය නොහැකි
ලිංගික අධ්‍යාපනය ගැන
විසිතුරු සිහින මවමින්
දරුවා අනතුරක වැටෙන තුරු
නෙත් වසාගෙන හිඳීම අවදානම්.


1 comment:

  1. මම හිතන පතන විදිහත් එක්ක එකඟ වෙන්න හැකි කරුණු
    මා හිතන විදිහත් වෙනස් කිරීමට හේතු වෙන කරුණු
    ස්තූතියි අතුල මහත්තයට!

    ReplyDelete