20150330

සුව අසපුවක මරණය



http://www.divaina.com/2015/03/29/nimna01.html



                    මරණයේ සෙවණැලි මත ජීවත් වූ රජරට වකුගඩු රෝගීන්ට ජීවන හුස්‌ම පොදක්‌ වැටුණේ මැදවච්චියේ දේශීය වකුගඩු සායනය ආරම්භ කිරීමත් සමගය. පසුගිය වසරේ ආගොස්‌තු මස 12 වැනිදා පර්යේෂණාත්මක මට්‌ටමින් ආරම්භ වූ මෙම වකුගඩු සායනයට අදට මාස හතක්‌ සම්පූර්ණ වී අවසානය. මෙම සායනයෙන් ප්‍රතිකාර ලැබූ වකුගඩු රෝගීන් විශාල පිරිසක්‌ මේ වන විටත් සුවපත් වී සිටින බව එහි ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීහු අපට පැවසූහ. එමෙන්ම නැඟිට ගැනීමටවත් වාරු නැතිව සිටි තවත් එවැනිම වකුගඩු රෝගීන් පිරිසකට කැත්ත, උදැල්ල සමග හරඹ කර ගොවිතැන් බත් කරගැනීමට හැකි තත්වයට රෝගය පාලනය වී ඇති බවත් ඔවුහු පැවසූහ.
                    පෙළ ගැසෙන කතාව අනුව සැබැවින්ම මැදවච්චි වකුගඩු සායනය විශ්මකර්ම සුව අසපුවකි. එහෙත් වකුගඩු රෝගීන් කියන ආකාරයට එහි ගෞරවය හිමි විය යුත්තේ එම සායනයේ කටයුතු කළ ප්‍රධාන වෛද්‍යවරිය වූ උත්පලා පෙරේරා මහත්මියටය. මන්ද වකුගඩු රෝගීන් සුවපත් කිරීමේ ප්‍රත්‍යක්‌ෂ ඖෂධ වට්‌ටෝරුව තිබී ඇත්තේ වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය ළඟය. එසේ නම් ඒ සුව අසපුවේ පහන දැන් නිවී ගොස්‌ය. රජරට වකුගඩු රෝගීන්ගේ මරණ ලියෑවිලි නැවතත් අලුත් වන ලකුණු පහළ වී ඇති සේය. මැදවච්චිය දේශීය වකුගඩු සායනයේ ප්‍රධාන වෛද්‍යවරිය ලෙස කටයුතු කළ උත්පලා පෙරේරා මහත්මිය දැන් නාවින්න ආයුර්වේද රෝහලට පමණක්‌ සීමා වී ඇත. මේ තත්ත්වය මත රජරට වකුගඩු රෝගීන්ට අත්ව ඇති ඉරණම ගැන අපට විස්‌තර කරන්නේ මැදවච්චිය දේශීය වකුගඩු සායන රෝගීන්ගේ සංවිධානයේ නිලධාරීන්ය. මේ ඔවුන් කියන කතාවය.
                    ''මැදවච්චිය දේශීය වකුගඩු සායනය භාරව කටයුතු කළේ දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය. එතුමිය තමයි වකුගඩු රෝගය සුව කරන ඖෂධ සොයාගෙන තිබුණේ. දේශීය වෛද්‍ය ගමගේ, සහ තවත් දේශීය වෛද්‍යවරු දෙදෙනෙක්‌ මේ වකුගඩු වෙදකමට සම්බන්ධ කරගෙන තමයි එතුමිය සායනය පවත්වාගෙන ගියේ. එතුමිය කාලයක්‌ වකුගඩු රෝගය ගැන පරීක්‍ෂණ කරලා මේ බෙහෙත් වට්‌ටෝරුව සොයාගෙන තියෙන්නෙ. මැදවච්චියේ වකුගඩු සායනය පටන් ගත්තට පස්‌සේ දවසින් දවස සායනයට එන රෝගීන් වැඩි වුණා. ඒ වගේම ප්‍රතිකාර ලබාගන්න රෝගීන් හිමීට සුව වෙන්න පටන් ගත්තා. පහුගිය කාලේ වෙනකොට වකුගඩු සායනයේ රෝගීන් දෙදහසකට වැඩියෙන් ලියාපදිංචි වෙලා තිබුණා. බ්‍රහස්‌පතින්දා, සිකුරාදා දවස්‌ දෙකේ සායනය පැවැත්වුණා. එක දවසකට රෝගීන් පන්සීයකට වැඩියි. මමත් වකුගඩු රෝගියෙක්‌...''
                    මැදවච්චිය දේශීය වකුගඩු සායනට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගේ එකමුතුවෙන් 'මැදවච්චිය දේශීය වකුගඩු සායන රෝගීන්ගේ සංවිධානය' යනුවෙන් සංවිධානයක්‌ පිහිටුවාගෙන ඇත. එකී සංවිධානයේ නිලධාරීන් ඇතුළු සියලුම සමාජිකයන් ද වකුගඩු රෝගීන්ය. දැන් අප සමග කතා කරමින් සිටින්නේ ඒ සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරන ඒ. කරුණාතිලකය.
''බටහිර වෛද්‍යවරු මට කිව්වා රුධිරය කාන්දුකරණයට යන්න කියලා. මම ඒකට යන්නේ නැතුව මෙතැනට ආවා. සායනය පටන්ගත්ත දවසෙ ඉඳල මම මෙතැනින් බෙහෙත් බොනවා. මට දැන් 80% විතර සනීපයි. හොඳට වැඩපළ කරගෙන යන්න පුළුවන්. මට වගේම මෙතැනින් බෙහෙත් ගන්න හැම රෝගියෙක්‌ම සුව පැත්තට හැරිලා තියෙන්නේ. එහෙම තියෙද්දී තමයි මේ ඖෂධ වට්‌ටෝරුව හොයාගත්ත උත්පලා පෙරේරා වෛද්‍යවරිය සායනට එන්නේ නැතුව ගියේ. උත්පලා වෛද්‍යවරිය සායන පටන් ගෙන ප්‍රතිකාර කරගෙන යනකොට දවසින් දවස රෝගීන් සුව වෙන්න පටන් ගත්තා. සමහර වෛද්‍යවරුන්ට වගේම සෞඛ්‍ය පරිපාලන නිලධාරීන්ට මේක බලාගෙන ඉන්න බැරි වුණා. ඒ අය මේ සායනය පටන් ගත්ත දවසේ ඉඳලා අංචි ඇද්දා. අන්තිමේ සායනය පටන් ගෙන මාස හයක්‌ යන්න මත්තෙන් කුමන්ත්‍රණකාරයො දිනුවා. අපි ජීවිතයෙන් පරදුනා...'
                    මේ මැදවච්චිය දේශීය වකුගඩු සායන රෝගීන්ගේ සංවිධානයේ ලේකම් කියන කතාවය.
ඉංග්‍රීසි බෙහෙත් කරලා මම ඇඳට වැටුණා. අන්තිමටම තමයි මේ සායනයට ආවේ. මම දැන් සිංහල බෙහෙත් බොන්න පටන් අරන් මාස හතරක්‌ විතර වෙනවා. දැන් මට හොඳටම සනීපයි. කුඹුරු කොටන්නත් පුළුවන්. උත්පලා මැඩම් අපිට දෙන්නේ අත්දුටු බෙහෙත් වට්‌ටොරුවක්‌. බටහිර වෛද්‍යවරුන්ට කරන්න බැරි දෙයක්‌ සිංහල වෛද්‍යවරියක්‌ කරනකොට බටහිර වෛද්‍ය විද්‍යාවට ඒක මදි පුංචිකමක්‌. ඒ නිසා තමයි උත්පලා මැඩම්ගේ කකුළෙන් අදින්න පටන් ගත්තේ. කවුරු කළත් මේක ජාතික අපරාධයක්‌. මේ සායනයට බෙහෙත් ගන්න එන අය දුප්පත් අහිංසක මිනිස්‌සු. සතියේa දවස්‌ දෙකකට වරක්‌ ලේ කාන්දු කරන්න වියදම් කරන්න අපිට සල්ලි නෑ. මේ සායනයෙන් ප්‍රතිකාර ගන්න අපිට රුපියලක්‌වත් වියදම් වෙන්නේ නෑ. ඇයි අපිට මෙහෙම කරන්නේ. අපි ජීවත් වෙලා ඉන්නවට සෞඛ්‍ය නිලධාරීන් කැමති නැද්ද...
                    බටහිර වෛද්‍ය ක්‍රමයේ වකුගඩු රෝගයට ප්‍රතිකාර කරන විධි තුනක්‌ තියෙනවා. පළමුවෙන්ම පෙති දෙනවා. රෝගය මෝරපුවම රුධිර කාන්දුකරණය කරනවා. රෝගියාගේ ස්‌භාවය අනුව දින දෙකකට, තුනකට, හතරකට වරක්‌ රුධිර කාන්දුකරණය කරන්න ඕනා. ඒකත් අසාර්ථක වුණහම වගුකඩු බද්ධයට යනවා. ඒ කිසිම ප්‍රතිකාරයකට ඔරොත්තු දෙන්න නැතිව ගියහම රෝගියා මැරෙනවා. මැදවච්චිය දේශීය වකුගඩු සායනය පටන් ගෙන දැන් මාස හයයි. ඒ මාස හයට ප්‍රතිකාර ගත්ත කිසිම රෝගියෙක්‌ මිය ගියේ නෑ. ප්‍රතිකාර ගත්ත හුඟ දෙනෙක්‌ දැන් නිට්‌ටාවටම සුව වෙලා. ඒත් මේ ඇත්ත කතාව බලධාරීන් දන්නේ නෑ. වගකිවයුතු වෛද්‍යවරු රජයට අවබෝධ කරලා දෙන්නේ වකුගඩු රෝගයට තියෙන එකම ප්‍රතිකාර ක්‍රමය රුධිර කාන්දුකරණය විතරයි කියලා. ඒක අසාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌. අපි මේ කතා කරන්නේ අත්දැකීමෙන්. කොච්චර රුධිර කාන්දුකරණය කළත් රෝගියා වසර දෙක තුනක්‌ යනකොට මැරෙනවා. සිංහල වෙදකමේ එහෙම නෙමෙයි ඒකාන්තයෙන්ම රෝගියා සනීප වෙලා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. අපි කියන දේ පිළිගන්න බැරි නම් ජාතියට ආදරය කරන වෛද්‍ය ක්‍ෂේත්‍රයේ දැනුම් තේරුම් ඇති අයගෙන් මේ ගැන අහලා බලන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා...''
                    වෙඩිතිබ්බගල, පූනෑවේ ඇම්. කීර්තිරත්නගේ පවුලේ සියලුම දෙනා වකුගඩු රෝගීන්ය. සත් දෙනකුගෙන් යුත් පවුලේ මව සහ වැඩිමහල් සහෝදරයා දැනටමත් වකුගඩු මරයා ඩැහැගෙන අවසානය. ඉතිරිව සිටින අනෙකුත් සාමාජිකයන් පස්‌ දෙනාම මැදවච්චිය දේශීය වකුගඩු සායනයෙන් ප්‍රතිකාර ලැබ වැසුණු ජීවන දොරටු නැවත විවෘත කරගෙන සිටින්නාහ.
''අපෙත් මරණ වරෙන්තු ලියෑවිලයි තිබුණේ. ඒ අතරේ තමයි මේ සායනය ගැන දැන ගන්න ලැබුණේ. පස්‌සේ අපි ඉංග්‍රීසි බෙහෙත් අතහැරලා සිංහල බෙහෙත් බොන්න පටන් ගත්තා. දැන් අපිට 90% ක්‌ සුවයි. ඇදෙන් නැඟිටගන්න බැරිව හිටපු මට දැන් වැඩ කරන්නත් පුළුවන්. මේ කන්නයේ කුඹුරු අක්‌කර දෙකක්‌ වැඩ කළා. බඩ ඉරිගු හේනක්‌ හැදුවා. වෛද්‍යවරිය එන්නේ නැති නිසා දැන් අපිට ප්‍රතිකාර ගන්න විදිහක්‌ නෑ. දැන් සායනයට එන වෛද්‍යවරු හරියට වෙදකම කරන්න දන්නෙත් නෑ...''
                    මැදවච්චිය දේශීය වකුගඩු සායනයෙන් ප්‍රතිකාර ලබාගනිමින් සිටි තවත් රෝගීන් විශාල පිරිසක්‌ අප සමග කතා කළහ. ඔවුන්ගේ ජීවිත ආඳෝනාව සටහන් කිරීමට මේ පත්ඉරුව ප්‍රමාණවත් නැති තරම්ය. ඒ තරමටම රෝගීන්ගේ කඳුළු කතා දිගය. අසා සිටීමට නොහැකි තරමට දුක්‌බරය. එහෙත් ඒ සියලු දෙනා කියන කතාවල හරය එකය. එනම් මැදවච්චිය දේශීය වකුගඩු සායනයට පැමිණි දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මියට නොඑන තැනට වැඩ සැලැස්‌වීම රෝගීන්ගේ මිනීවළ කැපීමක්‌ වැනිය. වකුගඩු රෝගීන් කියන කතාවෙන් පැහැදිළි වන්නේ මැදවච්චිය දේශීය වකුගඩු සායනයේ ප්‍රතිකාර කටයුතු කරමින් සිටි දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මියට ද ආදළ සෞඛ්‍ය අංශවලින් බරපතළ ආසාධාරණයක්‌ සිදු කර ඇති බවය. එහෙයින් අපි දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය සමග ද ආදළ ගැටලුව සම්බන්ධයෙන් කතා කළෙමු. මේ ඇය කියන කතාවය.
''වකුගඩු සායන ව්‍යාපෘතිය කඩාකප්පල් වුණේ පරිපාලන නිල ධාරීන්ගේ අත්තනෝමතික තීන්දු තීරණ නිසයි. මේක පටන් ගත්ත දවසෙ ඉඳලා මේකට අකුල් හෙළන අය හිටියා. මැරෙන්න යන මිනිසුන්ව බේරගන්න අපි කැමතියි. ඒත් අපිට මේක කරගෙන යන්න ඉඩ දෙන්නේ නෑ. මේ සම්බන්ධයෙන් ඊට වඩා යමක්‌ ප්‍රකාශ කරන්න මට බෑ...''
                    වකුගඩු රෝගීන් සහ අසාධාරණයට ලක්‌ව සිටින වෛද්‍යවරියත් චෝදනා ඉදිරිපත් කරන්නේ සෞඛ්‍ය පරිපාලන නිලධාරීන් වෙතටය. එහෙයින් මේ ගැටලුව සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය කොමසාරිස්‌වරයා දරන මතය ගැන ද දැන ගැනීම සඳහා අපි පාලිත කොහොන මහතාට කතා කළෙමු. මේ අපේ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරුය.

මැදවච්චිය දේශීය වකුගඩු සායනයේ දැනට මොකද වෙන්නේ...
                    වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරගෙන යනවා.
එහි ප්‍රතිකාර ලබන රෝගීන් කියන්නේ සායනයේ ප්‍රතිකාර කරමින් සිටි උත්පලා පෙරේරා වෛද්‍යවරිය ප්‍රතිකාර ලබාදුන්නේ පර්යේෂණ මට්‌ටමින් ඇය විසින්ම සොයාගත් බෙහෙත් වට්‌ටෝරුවකට කියලයි...?
                    එහෙම දෙයක්‌ නෑ. ඇයත් කළේ ආයුර්වේද වෙදකම.
දැන් වකුගඩු සායනට සහභාගි වෙන වෛද්‍යවරුන් වකුගඩු රෝගය සම්බන්ධයෙන් සහ ආදළ වෙදකම ගැන පළපුරුදු වෛද්‍යවරුද...?
                    ඔව්... රජයේ උපාධිධාරී දේශීය වෛද්‍යවරුන්.
වෛද්‍ය උත්පලා පෙරේරාගෙන් දැන් වැඩක්‌ ගන්නවද...?
                    ඔව්... නාවින්න දේශීය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍යවරියක්‌ ලෙස රාජකාරි කරනවා.
                    උත්පලා පෙරේරා මහත්මිය පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සේවයේ නිරතව සිටියදී, වසර තුනකට වැඩි කාලයක්‌ වකුගඩු රෝගය සම්බන්ධයෙන් කළ පර්යේෂණයක ප්‍රතිඵලයක්‌ ලෙස මෙම සිංහල බෙහෙත් වට්‌ටෝරුව සොයාගෙන ඇත. පර්යේෂණ කටයුතු කරගෙන යැමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ද ඇයට විවිධාකරයෙන් සහයෝගය ලබාදී ඇත. පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම මත මිලියන ගණනක ව්‍යාපෘතියක්‌ ලෙස වකුගඩු රෝගයෙන් පීඩා විඳින පළාත්වල වගුකඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය වකුගඩු සායන තුනක්‌ ආරම්භ කළහ. එනම් කුරුණෑගල, මැදවච්චිය සහ නාවින්න දේශීය වෛද්‍ය පර්යේෂණ ආයතනයේය. එහෙත් මේ වකුගඩු සායනයන් ආරම්භ කළ දිනයේ සිට බටහිර වෛද්‍ය හස්‌තය සහ එයින් යෑපෙන ඇතැම් සෞඛ්‍ය පරිපාලන නිලධාරීන් මේ සායනවලට අකුල් හෙලූහ. ආණ්‌ඩුව වෙනස්‌ වුවද දේශීය වකුගඩු සායන කෙරෙහි දක්‌වන කෙණහිලිකම් අබමල් රේණුවක්‌ තරම්වත් අඩු වුයේ නැත. සායනවලට සහභාගි වන වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් ටිකවත් ලබාදී නැත. එමෙන්ම සායනයට සහභාගි වන වෛද්‍යවරුන්ට විවිධ පුද්ගලයන්ගෙන් මරණ තර්ජන පවා පැමිණි අවස්‌ථා තිබිණි. මරණයට කැප වුණු මිනිසුන්ට ජීවන හුස්‌ම පොවන සිංහල බෙහෙත ජාතිය කම්බස්‌ කිරීමට බලා සිටින උන්ට වස විය. සියල්ල පෙළ ගැසුණේ සායන නතර කරන තැනටය. සායනවලට සහභාගි වූ වෛද්‍යවරු ඔවුන්ට පැමිණි ගැටලු සම්බන්ධයෙන් වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු ආදළ බලධාරීන් දැනුවත් කළ ද එයින් ද සාධාරණයක්‌ නොවූහ. අවසානයේ දේශීය වකුගඩු සායනවලට සහභාගි වෙමින් සිටි දේශීය වෛද්‍යවරු සායනවලට සහභාගි නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිතව දැනුම් දුන්හ.                     අමාත්‍යාංශ බලධාරීහු ඒ ලිපිය සතුටින් භාර ගත්හ. උත්පලා පෙරේරා දේශීය වෛද්‍යවරිය නාවින්න දේශීය වෛද්‍ය පර්යේෂණා ආයතනයට කොටු විය. මැදවච්චියේ සායනයට වෙනත් වෛද්‍යවරු කිහිප දෙනෙක්‌ පිටත් කර හැරිණි.
                    දේශීය වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් පහසුවෙන් අඩු පිරිවැයකින් වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබාදීමට හැකි බව දේශීය වෛද්‍යවරුන්ගේ මතයයි. එවැනි වෛද්‍ය ප්‍රතිකාර තිබියදී කොමිස්‌වලට තියෙන කෑදරකමට දිගට හරහට රුධිර කාන්දුකරණ යන්ත්‍ර පිටරටවලින් ආනයනය කරමින් සිටින්නේය. මේ එක යන්ත්‍රයක්‌ ලක්‍ෂ විස්‌සකට වැඩිය. මැදවච්චිය, පදවිය, අරලගන්විල, බකමූණ, කැබිතිගොල්ලෑව යන මධ්‍යස්‌ථානවලට රුධිර කාන්දුකරණ යන්ත්‍ර ලබාදෙන්න මේ වන විට සූදානම්ය. රෝගීන් කියන විදිහට මේ රුධිර කාන්දුකරණය තාවකාලික පැළස්‌තරයක්‌ පමණි. වකුගඩු මරයාට අභියෝග කිරීමට රුධිර කාන්දුකරණය සමතෙක්‌ නොවේ.
                    ලෝක සත්වයාට මරණය පොදු බව සැබෑය. එහෙත් බොහෝ මිනිසුන් දවසක්‌ හෝ වැඩියෙන් ජීවත්වීමට කැමතිය. මරණය ලියෑවුණු වකුගඩු රෝගීන් වුවද මොහොතක්‌ හෝ ජීවත්වීමට ආසය. ඔවුන් අපට මේ කියන්නේ ද නැති වී යන ජීවන හුස්‌ම පොද ලබා දෙන්න කියාය. එකී අසරණ වකුගඩු රෝගීන් ඉදිරියේ ඇතැම් සෞඛ්‍ය බලධාරීහු පැණි කන්නාහ.


එප්පාවල රත්න බී ඒකනායක
තරංග රත්නවීර

No comments:

Post a Comment