20150328

අව්ව, වැස්ස සහ දුකෙන් මිදෙන මග


 
එකමත් එක රටක මිනිසුන්
අව්වෙන් සහ වැස්සෙන් පීඩා වින්දා.
මේ දුකෙන් මිනිස්සු මුදවා ගන්නට සිතූ මිනිසෙක්
අව්වෙන් සහ වැස්සෙන් මිදීමට ක්‍රමයක්
සොයන්නට පටන් ගත්තා.

අව්ව ඇතිවිට සහ වැස්ස වහින විට
ගමන් බිමන් නොයන මෙන්ද,
සෙවණක් සොයාගෙන සමාහිත සිතින් ඉන්නා මෙන්ද,
එකල සිටි නුවණැත්තෝ ඔහුට ඉගැන්නුවා.
ඔහු ඒ උපදෙස් මනාව ක්‍රියාත්මක කළ නමුදු
ප්‍රතිඵල වලින් තෘප්තිමත් වුණේ නෑ.

ඔහු අව්වෙන් වැස්සෙන් පීඩා විඳින
බොහෝ වේලාවල් වලදී
ඔහු අසල සෙවණක් තිබුණේ නෑ
තවත් අවස්ථාවල
සෙවණ සොයා ගන්නා ව්ට
ඔහු ඕනෑවටත් වඩා දුක් විඳලා තිබුණා.

ඔහු සෙවණට වී දුක් නොවිඳ සිටින විට
මේ සෙවණ තැන තැන රැගෙන යා හැකි නම්
ගැටළුව විසඳෙන බව ඔහු දැන ගත්තා.

මේ අරමුණ පෙරදැරි කරගෙන
දුක් විඳින අවස්ථාවේදීම
මොහොතෙන් මොහොතටම
තමාට තමා සෙවණක් වී
දුකෙන් මිදෙන ක්‍රමය
ඔහු සොයා ගත්තා.

ඉන් පෙර ඔහු දන්නා අතීතය තුළ
කිසිවෙක් ඒ ක්‍රමය දැන සිටියේ නැහැ.

ඔහු දුක දැක්කා.
දුකට හේතුව හොයා ගත්තා.
දුකෙන් මිදෙන මග සොයා ගත්තා.
දුකෙන් මිදුණා.

ඉන් පසු මිනිසා කෙරෙහි කරුණාවෙන්
ගම් දනව් සැරි සරමින්
අව්ව ගැනත් වැස්ස ගැනත්
දුක ගැනත් දුකට හේතුවත්
දුකෙන් මිදෙන හැටිත් කියා දුන්නා.

පළමුව අව්වත් වැස්සත් ඇතිවිට
ගමන් බිමන් නොගොස් ආරක්ෂා වෙන්නට
අවශ්‍ය ශීලය, සංවරය ඔහු කියා දුන්නා.

දෙවනුව
අව්ව සහ වැස්ස ඇතිවිට
ගමන් බිමන් නවතා සෙවණක් සොයාගෙන
සෙවණට වී සමාහිත සිතින් විසීම
අනුමත කළා.

තෙවනුව,
අව්වත් වැස්සත් ඇතිවිට පවා
අව්වෙන් වැස්සෙන් පීඩා නොවිඳ
කරන කටයුතු කරන්නට
තමාගේ සෙවණ තමාම සලසාගෙන
අව්වෙන් වැස්සෙන් පීඩා නොවිඳ වෙසෙන ආකාරය
නොයෙක් ආකාරවලින් කියා දුන්නා.

ඔහු සැක කළ අය ඔහු ප්‍රතික්ෂේප කළා.
ඔහුගෙන් සෙවණ ලබා ගන්නා මාර්ගය වෙනුවට
ඔහුගෙන් සෙවණක් සෙවූ අයත් ඔහු ප්‍රතික්ෂේප කළා.
ඔහු කාටවත් සෙවණ දුන්නේ නැහැ.

"මම මාර්ගය කියන්නම්.
එහි ගමන් කොට සේවන සොයාගන්න.
තමා තමාටම පහණක් වෙන්න.
තමා හැර අන් සරණක් නොපතන්න."
කියා ප්‍රකාශ කළ ඔහු
තමා විසින් තමාටම සෙවණ ලබා ගන්නා ධර්මය
වසර හතලිස්පහක් පුරා
දිවා රෑ නොබලා කියා දුන්නා.

ඔහු ගැන ශ්‍රද්ධාවක් ඇතිවූ අය
ඔහුගෙන් ඉගෙන ගත්තා.
ඒ මාර්ගය නිවැරදිව ඉගෙන ගත් ප්‍රඥාවන්තයන්
ඔහු මෙන්ම ක්‍රියා කොට
දුක් විඳින වෙලාවටම
දුකෙන් මිදෙන ක්‍රමය ඉගෙන ගෙන
ඒ මොහොතේ පටන්ම,
මොහොතෙන් මොහොතට දුකෙන් මිදුණා.

ඔවුන් තවත් බොහෝ අයගේ හිත සුව පිණිස
චාරිකාවෙහි යෙදුණා.
සෙවණ පිළිබඳව දේශනා කළ සත්පුරුෂයන් නිසා
සෙවණ සොයන්නට පෙළඹුණ ප්‍රඥාවන්ත මිනිසුන්
සෙවණ සදාගෙන දුකෙන් මිදී
අන් අයටත් මග පෙන්නුවා.

සෙවණ නැති වෙලාවට විඳින දුක ගැනත්
සෙවණ ලැබෙන මාර්ගයත්
ජංගම සෙවනෙන් ලැබෙන ප්‍රයෝජනත් පිළිබඳ
දැනුම ලෙස ලබාගත් පිරිස
ඒ දැනුම තවත් අයට බෙදා දුන්නා.

එහෙත්
සෙවණ සදාගන්නා ආකාරය නොදන්නා අය
දැනුමෙහි අගය කියමින් දැනුම ප්‍රචාරය කළා.

දැනුම ආකර්ශණීය වූ නිසා...
දැනුම දෙන පුද්ගලයා ආකර්ශණීය වූ නිසා..
දැනුම උතුම්යැයි බුහුමන් ලද නිසා
දුකෙන් මිදෙන ක්‍රමය නොමැතිව දැනුම ලබාගන්නා අය
ඉන් ප්‍රයෝජන ගන්නට නොදත් බැවින්
රස නොදන්නා හැන්දක් මෙන්
රස නොදන්නා රස බෙදුවා.

නොදන්නා බව වසාගන්නට
දහම විකෘති කරන අය වටාත්
අනුගාමිකයන් රොක් වුණා.

අව්වෙන් වැස්සෙන් මිදෙන්නට මාර්ගය
දේශනා කරන අය මෙන්ම දේශනා අසන අයත්
දුක් විඳින අවස්ථාවේදී
සෙවණ නොසෙවූ නිසා
අන් අය මෙන්ම වැස්සෙන් අව්වෙන් පීඩා වින්දා.

සෙවණ සහ සෙවණෙහි ප්‍රයෝජනය පිළිගත් නමුත්
ඒ තොරතුරු දැන ගැනීමෙන් සහ
ඒ දැනුමට වන්දනා කිරීමෙන්
දුකෙන් නොමිදෙන බව තේරුම් ගත් නුවණැත්තන්
අව්වත් වැස්සත් ඇති විටම දුකෙන් මිදෙන ක්‍රමය දන්නා
සැබෑ පරිපූර්ණ ගුරුවරයෙක් හමු වෙනතුරුම
සෙවණ සොයා ගියා.

තමන්ට දුකෙන් මිදෙන්නට නොහැකි වුණත්
සෙවණ පිළිබඳව දේශනා කළ සත්පුරුෂයන්,
සෙවණ ලැබෙන තුරුම
සෙවණ සොයන්නට පෙළඹුණ
ප්‍රායෝගිකව සිතන ප්‍රඥාවන්ත මිනිසුන්ට
සෙවණ සදාගැනීමට දායකකාරකාදීන් වුණා.

සෙවණ පිළිබඳ දැනුම නිසා
දුක නැති නොවෙන බව දුටු ඔවුන්
දුකෙන් මිදෙන නිවැරදි ආකාරය
ප්‍රායෝගිකව අනුගමනය කිරීමෙන්
විඳ ප්‍රත්‍යක්ෂ කර ගත්තා.
දුක් පැමිණෙණ මොහොතක් පාසා
දුකෙන් මිදෙන ක්‍රමය භාවිතා කරමින්
පැමිණි පැමිණි දුකෙන් අත්මිදුණා.

සෙවණ නැතිව මිනිසා විඳින දුක ගැනත්
සෙවණ ලැබෙන මාර්ගයත්
සෙවනෙන් ලැබෙන ප්‍රයෝජනත්
සැදැහැවතුන් බොහෝ වූ නමුත්
ලබාගත් දැනුම ප්‍රායෝගික නොවූ නිසා
ඔවුන් අව්වට වේලුනා. වැස්සට තෙමුණා.

සමහරු ශීලය අනුගමනය කොට
අව්ව වැස්ස ඇති විට ගමන් බිමන් යෑමෙන් වැළකුණා.
තවත් පිරිසක් අව්ව වැස්ස ඇතිවිට
සෙවණක් සොයාගත හැකි සීමාවේ රැඳී
සමාහිත සිතින් ජීවත් වුණා.

සෙවණ පිළිබඳව ඇති දහම
සත්‍යදැයි ඔවුන් විමසා බැලුවේ නැහැ..
දුකෙන් මිදුණ කෙනෙක් සෙව්වේ නැහැ.
හමු වුණත් ඔහුට සවන් දුන්නේ නැහැ.

සෙවණ පිළිබඳව ශ්‍රද්ධාවෙන් සෙවණට ගරු කරමින්
සෙවණ ගැන දැනුමට වඳිමින් පුදමින්
උගන්වන ගුරුවරුන්ට පුද සත්කාර කරමින්
අව්වෙන් වැස්සෙන් පීඩා විඳිමින් ජීවත් වුණා.
.
දහම අගය කරමින්, දහමට ගරු කරමින්
අව්වත් වැස්සත් නිසා දුක්විඳිමෙන්
ඔවුන් ගෙවන අඳුරු ජීවිත දකින සමහර විද්වතුන්
ඔවුන්ගේ දැනුම සැක කළා.
ඔවුන්ගේ මේ දැනුමෙන් ඇති ඵලය කුමක්දැයි සිතුවා.
මේ මෝඩයන් මෙන් විසීම අවමානයක් ලෙස සිතුවා.

වැරදි ආකාරයට නුවණ මෙහෙයවූ
තාර්කික මනසක් ඇති පිරිස
සෙවණ ගැන කියමින් දුක් විඳින
සැදැහැවත් පිරිස දෙස බලමින්
ඔවුන් සහ ඔවුන්ගේ ශ්‍රද්ධාව හෙළා දකිමින්
සෙවණ ලබාගන්නා දහම සපුරාම ප්‍රතික්ෂේප කළා.

අව්වට වේලීමත් වැස්සට තෙමීමත්
මිනිසාට ගැලවීමක් නැති,
ස්වාභාවික ක්‍රියාවලියක් ලෙස ඇදහූ ඔවුහු
ඔවුනොවුන් අතර සංවාද කරමින්
අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින්  ජීවත්වුණා.


දහම ප්‍රතික්ෂේප කිරීම
ඔවුන් අදහන දහම බවට පත්වුණා.

2 comments:

  1. කවුරුවත් දන්න ඒ ගැන ඉන්නවද ලොවේ.....
    සැක නැහැ කවුරුවත් නැත මේ ලොවේ...

    ReplyDelete
    Replies
    1. බුදුන් සොයා ගත් මගමය මා සෙවුවේ
      දැනගත් ඇත්තො පෙර පිනටයි හමුවූවේ.

      http://vipassanapuhunuwa.blogspot.com/

      සොයනා කෙනෙකු හට මග අනිවා හමුවේ
      සෝ ළතැවුල් දුක් දොම්නස් ඉන් දුරු වේ..

      Delete