20150220

කලාව දේශපාලනය ධර්මය -පොදු රටාවයි වැදගත් වෙන්නෙ

.Yasantha Buddhika Gamage[[[ ඔබේ අදහස් සහ ආකල්ප ලියවෙන post තුලින් ජීවිතේට වැදගත් දේවල් නිහඩව නිසලව මම ඉගෙනගත්ත. චායාරුප ,අධ්‍යාත්මික සංකල්ප, මේ වගේ දේවල් ලියවුනු ඔබේ දෑතත් මනසත් මෑතකදී සිට දේශපාලනීකරණය වෙලා... ඔබේ මනස පිලිබදව උසස් හැගීමකින් සලකාගෙන ඉන්න අපිට ඔබේ මේ පක්ෂග්‍රහී පළකිරීම් ඔස්සේ හැගෙන්නේ ඔබේ මනසත් අපේ මනසත් සම තලයක මිස වෙනසක් නොවන බවක්. වෙනසක් ඇත්තේ ඔබට හොද ලිවීමේ හැකියාවක් පවතින බව පමණක් ම මිස ඔබ පවසන දේවල් ඔබවත් පිලිපදින්නෙක් නොවන බව පසක් වීමයි.... මේ ලියන්නේ ආරෝවකින් නෙමෙයි... දුකකින්... හේතුව ගත යුතුයමක් ඇතියයි සිතු මිනිසුන් හුදෙක් මිනිසුන්ම පමණක් වීමේ වේදනාව....]]]

මමත් ඔබ වැනිම
ඔබේ තලයේම මිනිසෙක් බව වැටහීම
මට නම් ලොකු සතුටක්..
වෙනස තියෙන්නෙ මම දකින කෝණය විතරයි.
මම එක කෝණයකින් ලෝකය බලන කෙනෙක් නොවෙයි..
මම ධර්මය දකින්න උත්සාහ ගන්නෙ
බුදුන් වහන්සේගෙ කෝණයෙන්..
කලාව හා දේශපාලනයෙදිත්
ටොල්ස්ටෝයි, ලින්කන් වැනි චරිත වල කෝණ
මට උපකාරී වෙනවා.

මම ලියනදේ දකින්න..
එයින් ගන්න දෙයක් තියනවා නම් ගන්න.
නැත්නම් බැහැර කරන්න.

මම මා වටා කල්ලි හැදෙන ආකාරයට
ක්‍රියා කරන්නෙ නෑ.
ඔබ නිතරම දකින්නෙ
ජනතාව ප්‍රිය කරන රටාවක් සොයාගෙන
ඒතුළ ජීවිතය දිය කර හරින
යාන්ත්‍රික මිනිසුන්.
මම ඒ අනතුරට බඳුන් වෙන්න කැමති නෑ.

මමත් ඔබ වගේම
ජීවිතයෙන් ඉගෙන ගන්න කෙනෙක්.
අපි තව ජීවිතයකට අරන් යන්නෙ
මේ ජීවිතයෙන් ඉගෙනගත් දේ අතුරෙන්
ප්‍රඥාව බවට පත්වූ ස්වල්පය පමණයි..

කාලෙන් කාලෙට එන වැදගත් ප්‍රවණතා තුළ
මටත් ඉගෙනගතයුතු බොහෝ දේ තියනවා.
මම ලියන්නෙ ඒ ඒ කාලවලදි
පරිසරයෙ සිදු වෙමින් පවතින දේ ඇසුරෙන්
මා විසින් පසක් කරමින් සිටින දේයි..

උදාහරණයක් විදියට
කෙනෙකුගෙ බලයෙන් ප්‍රයෝජන ගන්නා අය
ඔහුට බලය නැති වුණාම ඒ දේවල් නැති නිසා
ඔහු  තනිකිරීම අළුත් දෙයක් නොවෙයි..

ප්‍රේමකීර්තිගෙ වැඩ තහනම් වුණ කාලෙදි
ඔහු ගැන නොසෙවූ නොබැලූ අය
ඔහුට රැකියාව ලැබුණ පසු ආවම
ඒ ගැන ප්‍රේමකීර්ති සතුට ප්‍රකාශ කරන කොට
ඔහුගෙ අම්මා ඒ බව මතක් කර දුන්නා.
ප්‍රේමකීර්තිගෙ මුහුණෙ තිබුණෙ
අපට සුපුරුදු අහිංසක සිනහවමයි.
ඔවුන් ආවත් නැතත්
ඔහු සතුටක් හෝ දුකක් නොවිඳින බව
ඒ අහිංසක සිනහවෙන් පෙණුනා.
නිර්මලා ඒ පාඩම ඉගෙන ගෙන තිබුණා නම්
ප්‍රේමකීර්තිත් රසිකයනුත් අතර
පරතරයක් හැදෙන්නෙ නෑ.
අර්ථ විරහිතව ඇය දැවෙන ඇගේ වෛරය නිසා
අපේ ප්‍රේමකීර්ති අපට අහිමි වෙලා.
ඒ එක පැත්තක්

අදත් මම මහින්ද වටා සිටි කලාකරුවන් ගැන
පැහැදිලි කිරීමක් කරන්නෙ
මා ඒ දකින ප්‍රවණතාවය
මුළු රටටම දැනෙන
කැපී පෙනෙන දෙයක් නිසයි.

මට මග හැරිලා තිබුණ දෙයක්
තව කෙනෙකුටත් මග හැරෙන්න පුලුවන්.
ඒ දේ දැක්කම
ඔවුන් වෙනුවෙන් මම ලියනවා.
ඒ ලියන දේ කියවලා
මට නොපෙනුන දෙයක්
තව කෙනෙක් පෙන්වාවි..
මමත් ඉගෙන ගන්නවා.

මහින්ද වටා සිටි කලාකරුවන්
මහින්ද තනි කිරීම ගැන
මට සතුටක් හෝ දුකක් නැහැ..
පවතින සත්‍යයක් තෙරෙන වෙලාවට
හැඟීමක් පහළ වෙන්නෙ නැහැ..

මහින්ද කවදාවත් පරදින්නෙ නෑ කියමින්
ඔහු වටා රොක්වී හිටිය අය
පැරදුණාම මේ වගේ නොසලකා හරීවි කියලා
ඔවුන්වත් හිතන්න නැතුව ඇති.

පොප්සිකල් එක ඉවරවුණාම
ලී පතුර වීසි කිරීම ස්වාභාවිකයි..
මේ මොහොතෙ ඔබට තියෙන්නෙත් එවැනි හැඟීමක්.
ඔබ ප්‍රිය කරන දෙයක් ලියවෙන්නෙ නැහැ..
ඔබට අප්‍රිය මාතෘකාවක්
මම රස විඳිමින් ඉන්නවා.
මා ලබන ආශ්වාදය කුමක්ද කියා
ඔබ සිතනවා.

ආස්වාද, ආදීනව, නිස්සරණ

නිස්සරණ,
එනම් යම් දෙකට යටත් නැති තැනට
සිත පත්වෙන්න නම්
ආදීනව පෙනෙන තරමට
අස්වාදයක් විඳිය යුතුයි..

ඔය අවස්ථා තුන එකෙනෙකට වෙනස්
ඒත් එකිනෙකට බැඳුණ දාමයක්..

සත්‍යය දකින්න නම්
ආහාරයක් හඳුනා ගන්න නම්
මිතුරෙක් හඳුනා ගන්න නම්
මේ අවස්ථාවන් පසු විය යුතුයි..

මට කලාවත් දේශපාලනයත් ධර්මයත්
වෙනසක් නැහැ..
ඒ හැම දේකම තියන සබඳතා
ක්‍රියා කරන පොදු රටාවයි වැදගත් වෙන්නෙ.

එක තැනක මම කියන දෙයක්
ඔබේ හිතට ගැලපුණ නිසා
පුද්ගලිකව මට බැඳෙන්න එපා.
ඒ කියන දේ විමසා නොබලා
සත්‍යයි කියල හිතන්නත් එපා.

ඔබව පහදා ගන්න හිතාගෙන හෝ
ඒ පැහැදීම රැකගන්න හිතාගෙන හෝ
මම අදහස් ප්‍රකාශ කරන්නෙ නෑ.
එහෙම වෙන්නෙ අහම්බෙන්.
මම ක්ෂණයක් පාසා වෙනස් වෙනවා.
ඔබත් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා.
අපි දෙදෙනා සමපාත වෙන අවස්ථාව
අපට ප්‍රියජනක බව ඇත්ත..
ඒත් එතන රැඳිය යුතු නැහැ..
එහෙම රැඳෙන අය වැඩෙන්නෙ නැහැ..

සමහරවිට
මගෙන් ඔබට වෙන ප්‍රබලම සේවය
එක පරාසයක ස්වර වලට හුරුවී ඉන්න ඔබට
වෙනත් ස්වර පරාසයකින් ඇමතීම විය හැකියි..
ඔබේ පරාසය වර්ධනය කරගැනීම
ඔබේ වගකීමක්..

No comments:

Post a Comment