20150211

උගත්කම හා බුද්ධිමත්කම කාඩ්බෝඩ් කිරුළකි.

අපට වරදක් සිදුවෙන විට
ඒ වරදින් අප පෙළන ලදුවත්
ඒ වරදට සම්බන්ධ සියල්ලන්ගේම
සැබෑ ස්වභාවය හඳුනාගන්නට ලැබීම
ඒ වරද නිසා විඳින දුක
සමනය වන්නට ප්‍රධාන හේතුවකි.

වරදෙහි සැබෑ ස්වභාවයද අප හඳුනා ගතහොත්
අපට අප සිටින තැනින් බොහෝ ඉදිරියට යා හැකි වෙයි.

වරද කරනු ලබන්නා
සමාජ සම්මතයෙන් ගරු බුහුමනට පාත්‍ර වූ
උගතෙක්, බුද්ධිමතෙක් නම්
අපට එම ක්ෂේත්‍රයම පිළිබඳව
පුළුල් අවබෝධයක් ලැබිය හැක.

තමන්ගෙන් බෙහෙත් ගන්නට එන රෝගී තරුණිය
දූෂණය කොට හයවෙනි මහළින් පහළට දමන
ස්ත්‍රී දූෂක, මිනීමරු වෛද්‍යවරයා විසින්
අපට කියාදෙන පාඩම
මෝඩයන් විසින් දුටු තැන අත් නොහරින සර්පයාට පවා
සියතින් බෙහෙත්කොට සුවපත් කළ
බුද්ධදාස නම් වූ රාජකීය වෛද්‍යවරයා විසින්
අපට කියා දුන් පාඩමෙහි
ඉතිරි කොටසයි.

වෛද්‍ය වෘත්තියට මිනිසෙකු පුහුණු කරද්දී
රෝග සුවකිරීමට ඔහුට කියා දෙන නමුත්
කරුණාව ලබා නොදෙන බව
ස්ත්‍රී දූෂක, මිනීමරු වෛද්‍යවරයා
අපට පසක් කරදෙයි.

ඒ අතරම
වෛද්‍ය වෘත්තියට කරුණාව එක්වූ විට
ඔහු අන් සතුන් සර්පයන් ඉක්මවා ගොස්
සැබෑ මිනිසෙක් වන බව
බුද්ධදාස නම් වූ රාජකීය වෛද්‍යවරයා පසක් කරදෙයි.

බුදුන් වහන්සේගේ දහම පිළිගෙන
නිවන් දකින්නට කටයුතු කරන්නෙමැයි
දිවි හිමියෙන් සැරසෙන භික්ෂුවකට වුවද
ගිහියන්ට නියම කල පන්සිල්වත් රැකගෙන
 මූලිකම සුදුසුකම් හෝ සපුරන්නට
නොහැකි වීමෙන් පෙනී යන්නේ
කියද්දී කෙසේ කීවත්
බුදු දහම පිළිපැදීම
ඉතාම අසීරු භාරදූර කාර්යයක් බවයි.

බොදුනු ගිහියන් සහ පුහුදුන් භික්ෂූන්  නිසා
බුදු දහම පිළිපැදීම ගැන
අප ලබන ඒ අවබෝධයත් සමග
එවන් අසීරු කාර්යයක යෙදී
කිසිවකුගේ ඉගැන්වීමක් නැතිව තනිවම
ඒ මග සොයා ගත් බුදුන් වහන්සේත් ගැන
සීරුවෙන් ඒ මග ගමන් කොට
මගඵල ලබා සසර ජයගත් සඟරුවන ගැනත්
නිසි ගෞරවයක් සිතක ඇති වෙයි..

උගත් කම හා බුද්ධිමත්කම
කිසි සේත්ම ප්‍රඥාව නොවන බව
අපට වැටහෙයි.

උගතුන් බුද්ධිමතුන් ලෙස
සමාජ සම්මතයෙන් ගරු බුහුමනට පාත්‍ර වූ අය
හොර මැර මිනීමරු අපරාධකරුවන් වෙද්දී
සත් හැවිරිදි කුඩා දරුවන්ටත් නිවන් දකින්නට
ප්‍රඥා මග හෙළි කරදෙන
ප්‍රඥාවට ඒකායන මාර්ගය වූ බුදු දහම ගැන
සැබෑ ගෞරවයක් ඇති වෙයි.

සමාජ සම්මතයෙන්
ගරු බුහුමනට පාත්‍ර වූ උගතුන් සහ බුද්ධිමතුන්
හොරෙක් මැරයෙක් මිනීමරුවෙකු වෙනුවෙන් නැගී සිට
හිරිකිතයකින් හෝ විළිලැජ්ජාවකින් තොරව
ප්‍රසිද්ධියේ ක්‍රියා කරද්දී
අපට එම ක්ෂේත්‍රයේම සිටින
උගතුන් සහ බුද්ධිමතුන් පිළිබඳව
පුළුල් අවබෝධයක් ලැබිය හැක.

සමාජ සම්මතයෙන්
ගරු බුහුමනට පාත්‍ර වූ උගතුන් සහ බුද්ධිමතුන් පවා
කිසියම් ආකාරයකින් තම වසඟයට ගත හැකි
ඒ හොරා මැරයා මිනීමරුවා
ආවේග ශීලීව හෝ හැඟීම්බරව අපරාධයෙහි යෙදුන
සාමාන්‍ය අපරාධකාරයෙක් පමණක් නොවන බවත්
උගතුන් සහ බුද්ධිමතුන් පවා
හිරිකිතයකින් හෝ විළිලැජ්ජාවකින් තොරව
ප්‍රසිද්ධියේ ක්‍රියා කරන තලයකට ගත හැකි
නොම්මර එකේ කපටියෙකු බවත් අපට වැටහෙයි.

කපටියෙකුගේ කපටිකම පසක් කරගන්නට
ඔහුට සහායට එන උගතුන් හා බුද්ධිමතුන්
නියත විවරණ සැපයීම
ඔවුන්ගේ උගත්කමට බුද්ධිමත් කමට
නින්දාවක් අපහාසයක් පමණක් නොව
කපටියාට සිදුවෙන බරපතළ හානික්ද වෙයි..
ඒ හානිය ඔහුට ලැබෙන දඬුවමෙහි කොටසකි.

සොබා දහම විසින්
කිසිවෙකුට දඬුවම් දීම අරඹන විට
සියල්ල සිදු වන්නේ
වැල්ලෙහි එරුණ අලියෙකුට මෙන්
ඔහු තව තවත් ගිලෙන්නට හේතුවෙන අයුරිනි.

බළලෙක් ගලක පැහැරීම වැනි වරදක්
වසර ගණනාවක් තිස්සේ එළිපිට කරමින් සිට
නිසි කල් පිරී පව මනා ලෙස මෝරා
සුදුසු නිසි දඬුවම් ලැබෙන විටත්
වරද පිළි නොගෙන තර්ක කරමින්,
වරදට දොස් කියන අයටත් නින්දා අපහාස කරමින්
වරද වසාගන්නට ගල පහුරුගාන බළලුන්ට
කිසිසේත් නොලැබෙන අගනා අවස්ථාවක්
නිහඬව වරද පිළිගෙන
වරදට දඬුවම් විඳින්නාට ලැබෙයි.

වරද පිළිගෙන දඬුවම් විඳින්නාට
දෙවැනි අවස්ථාවක් ලැබී ඔහු හැදුණත්
වරද වසා ගන්නට ගල පහුරුගාන බළලාට
ලැබෙන හැම අවස්ථාවක්ම
ඔහු උපයෝගී කරගන්නා ආකාරය
ඔහුගේ වරදෙහි පරාසය පුළුල් කරමින්
සමාජය ඔහුගෙන් ඈත් කරවන්නට හේතු වෙයි.

මතුපිටින් බලන විට
සරල ලෙස පෙනෙන මෙවැනි සත්‍යතාවයන්
යළි නොගිළිහෙන සේ ඉගෙන ගන්නට
සිහියත් උපේක්ෂාවත් ඇති කෙනෙකුට
ඇති හොඳම තැන සොබා දහමයි.

දෙයක් උගන්වන්නට
සොබා දහම තරම් කල් ගන්නා
තවත් ගුරුවරයෙකු නැත.

ආත්ම අර්ථය අපේක්ෂාවෙන් සොයනවා නම්
තවත් කෙනෙකුගේ සහායෙන්
සතර පදයේ ගාථාවකින් තැබිය හැකිවූ
එක් කුඩා පියවරක්
ස්වෝත්සාහයෙන් තබන්නට සිතන්නාවූ
එක සුවිශේෂී පුද්ගලයෙකුට
සියලු සත්වයා පිළිබඳ කරුණාවෙන් සොයන විට
ඒ කරුණම උගන්වන්නට සොබා දහම ගන්නා කාලය
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වුවත් විය හැක.

වසර ගණනාවක් තිස්සේ වැරදි කළ පුද්ගලයෙක්
ඒ වරදට දඬුවම් ලබා හොට බිම ඇණුන විට
ඔහුත් නැගිටුවාගෙන නැගිටින්නට හදන පිරිසෙහි සිටින
සමාජ සම්මතයෙන්  ගරු බුහුමනට පාත්‍ර වූ උගතුන් සහ බුද්ධිමතුන්
ඒ අවස්ථාවෙහි කළ යුතුවන්නේ
සිදු වූ වැරදි සාධාරණීකරණය කිරීම නොව
වැරදි තුළ වැරදි දකිමින්
ඊට හේතුවූ මානසික රෝග නිධානයන් සොයා
මුලින්ම උපුටා ඉවත් කිරීමට වෑයම් කිරීමය.

බහුතරයක් සත්වයින් සසර ගෙවද්දී
කරන වැරදි වලින් පාඩම් ඉගෙන නොගන්නවා නම්
විභාගය සමත් නොවී
නැවත එම පන්තියටම වැටෙන දුර්වලයින්ට මෙන්
තවත් කාලයක් තිස්සේ
තමන්ට හිමි සැබෑ පන්තියෙහි රැඳී
යළි යළිදු ජීවිතය ඉගෙන ගන්නට
සොබා දහම ඔවුන්ට මග විවර කරයි.

සෙක්කුව පදින තුරු ඔවුනට ගැලවීමක් නැත.

සමාජ සම්මතයෙන්  ගරු බුහුමනට පාත්‍ර වූ උගතුන් සහ බුද්ධිමතුන්
කළ වරද පිළිගෙන වරදින් ඉගෙන ගන්නට නොපෙළඹුණොත්
ඔවුන්ටද සිදු වන්නේ
නූගත්කම, මුග්ධභාවය නිසා වැරදි කරන
කපටින්, වංචනිකයන්, මැරයන්, අපරාධකරුවන් සමග
මෙතෙක් ගතකළ පැරණි පන්තියෙහිම තවත් කලක් රැඳී
යළි යළිත් උත්සාහ කරන්නටය.

සමාජ සම්මතයෙන්  ගරු බුහුමනට පාත්‍ර වූ
ඊනියා උගතුන් සහ බුද්ධිමතුන්
පැහැදිලි වරදක් වසාදමා මිනිසා මුළා කරන්නට
තම උගත්කම හා බුද්ධිමත්කම උපයෝගී කරගෙන
එම වැරදි සාධාරණීකරණය කරන විට
ප්‍රධාන වැරදි තුනක් සිදු වෙයි.
1,
ඔහුම මුළාවීම
2,
ඔහු විශ්වාස කරන ඔහුට ගරු බුහුමන් කරන අන් අය මුළා වීම
3,
ඔහු සාධාරණීකරනය කරන්නට වලිකන
විත්තිකරුවාගේ වරද තව තවත් ඉස්මතුවීම.

මෙවැනි අවස්ථාවල අප පසක් කළයුතු
ප්‍රධානම කරුණ කුමක්ද.?

නූගතුන් සහ මුග්ධයන් ඉදිරියෙහි
ගරු බුහුමනට පාත්‍ර වන උගත්කම සහ බුද්ධිමත්කම
සමාජ සම්මතයෙන්  කෙතරම් ඉහළට ඔසවා තැබුණද
උපාධි ප්‍රදානයේදී පළඳවන කාඩ්බෝඩ් කිරුළ මෙන්
තවත් එක් බොල් සංකේතයක් හිසෙහි පළඳනවා විනා
වසරගණනාවක ක්‍රියාකාරකම් විසින් වර්ධනය කළ මොළයක්
හිසට නොලැබෙන බව පසක් කරගැනීම
මෙවැනි අවස්ථාවල සිදුවිය යුතු ප්‍රධානම කරුණය.

කාඩ්බෝඩ් කිරුළ
අහසට විසි කිරීමෙන් සංකේතවත් වන්නේ
දැනුමට ලැබෙන ගෞරවය පසෙක ලා
එම දැනුම ප්‍රායෝගිකව යොදා ගන්නට
ක්‍රියා කළයුතු බව නොවේද?

නූගතුන් සහ මුග්ධයන් අභිබවා ගොස්
ඔවුන් ඉදිරියෙහි සැලකිල්ලට බඳුන්වන්නට උපයන
උගත්කම හා බුද්ධිමත්කම සඳහා
ජීවිතයෙහ් හොඳම කාලය පුරා වෙහෙසෙන අයට
සහජයෙන් ලද මොන දක්ෂකම් තිබුණත්
ඔවුන් සැබැවින්ම තවමත් වෙසෙන්නේ
නූගතුන් සහ මුග්ධයන්  අතරමය.

නූගතුන් සහ මුග්ධයන් ගේ ඔල්වරසන් මැද
හිස පළඳවන බොල් කිරුළ
උපාධි ප්‍රධානෝත්සවයෙන් පසු අහසට විසි නොකර
තවමත් පැළඳගෙන සිටින පුද්ගලයන්ට
මියෙන තුරුත් ඒ ස්වභාවයෙන්ම ගත කළ හැක.

උගත්කම නිසා ලද සහතිකය දඩමීමා කරගෙන
බුද්ධිමත් කම ගණිකා වෘත්තියෙහි යොදවන
බොළඳ පුද්ගලයන්ගේ මුළු ජීවිතයම
ඔවුන් කරන වරදට ලැබෙන
නිරන්තර දඬුවමක්.


1 comment:

  1. උගත්කම හා බුද්ධිමත්කම ගැන මනා විග්‍රහයක්

    ReplyDelete