20150120

මෛත්‍රී සහ මහින්ද අනුව වෙනස් වෙන අපේ විඥාණය...


බුදු දහමට අනුව විඥාණයෙ අවස්ථා දෙකක් තියනවා.

බොහෝ දෙනෙක් කතා කරන්නෙ
ස්පර්ශ අවස්ථාවෙ ඇති වෙන
පළමු විඥාණය ගැනයි.
පංචස්කන්ධයෙ එන
සංස්කාර වලින් ඇති වෙන
දෙවන විඥාණය වෙනස්.
1, 
ස්පර්ශ අවස්ථාවෙදි ඉන්ද්‍රිය වල පවතින විඥාණය
2,
සංස්කාර වලින් පහළ වෙන විඥාණය
කියන්නෙ දෙකක්.

ඉන්ද්‍රිය වල පවතින විඥාණය සරලයි..
අපක්ෂපාතීයි.


ඉන්ද්‍රිය වල පවතින විඥාණය ස්වාභාවික දෙයක්..

දෑස නිරෝගී දෙන්නෙක්
එකම දෙයක් දකින කොට
ඇසේ පවතින චක්ඛු විඥාණය
ලබා දෙන තොරතුරු වෙනසක් නෑ.

රවුම්, රළු, රතුපාට දෙයක්...
ආදී වශයෙන්...
චක්ඛු විඥාණයෙන් දෙන තොරතුරු
අපේ මනසට, වචන වලට,
ක්‍රියාවට ඍජුව බලපාන්නෙ නැහැ.
කැමරාවකින් ඡායාරූපයක් ගත්තා වගෙයි.
කැමරාව ඒ ගැන හිතන්නෙ නැහැ.
කැමරාවට හැඟීම් පහළ වෙන්නෙ නැහැ.

ඒත්
මේ රවුම්, රළු, රතුපාට දේ
සකස්වෙලා තියන රවුම් බව,
රළු බව, රතුපාට බව
ස්පර්ශ වීම නිසා
අපට පහළ වෙන වේදනා හඳුනා ගනිද්දී
අපිට ඒ ගුණ නිසා ඇතිවෙන වේදනාවට
අපි ප්‍රිය කරනවා.
නැත්නම් අප්‍රිය කරනවා.
නැත්නම් නොසලකා හරිනවා.

සරලව කිව්වොත්
රාග, ද්වේශ හෝ මෝහ ඇතිවෙනවා.

ඒ රාග ද්වේශ හා මෝහ විසින්
මුලින් කිවූ දෙදෙනා හෝ
එවැනි සිය ගණනක් මිනිසුන් තුළ ඇති වෙන
විඥාණය එකිනෙකට වෙනස්.
රාග ද්වේශ හා මෝහ  සංස්කාර වලින් පහළ වෙන විඥාණය 
සංකීර්ණයි.. පක්ෂපාතීයි.
එකිනෙකාට ආවේණිකයි..
එක් එක් මොහොතට ආවේණිකයි.

1,
රවුම් වුණත් එකයි, හතරැස් වුණත් එකයි.
2,
ෂා රවුම් නම් නියමයි..
3,
රවුම් වුණාට වරදක් නෑ.
4,
මට රවුම් නම් පේන්න බෑ.
5,
රවුම් නම් පට්ට.
6,
රවුම් නම් කුජීතයි..
7,
..............
මේ ආදී වශයෙන්
අනන්ත ආකාරවලට
ඔවුන්ගෙ විඥාණය සකස් වෙනවා.
ඊළඟ වතාවෙ
ඔහු රවුම් දෙයක් දකින කොට
චක්ඛු විඥාණයට
මේ සකස්වුණ විඥාණයත් බලපානවා.

දකින කොටම හිත පිනා යන්නෙ..
නැත්නම් තුඃ කියල කෙළ ගහන්නෙ,
මේ විඥාණය නිසා..

ක්ෂණිකව කැමති වෙද්දි හෝ
ක්ෂණිකව අකමැති වෙද්දි
හැඟීම් පහළ වෙනවා...
සිතුවිලි, බලාපොරොත්තු ඇතිවෙනවා.
ඒ අනුව වචන කතා කරනවා.
ක්‍රියා කරනවා.

චක්ඛු විඥාණය තොරතුරු අරන්
වේදනා මාර්ගයෙන් අපට ලබා දෙනවා.
සුඛ වේදනා, දුක්ඛ වේදනා සහ
අදුක්ඛමාසුඛ වේදනා අනුව...
ඒ වේදනාවල ප්‍රිය අප්‍රිය බව අනුව
අපි ඒ වේදනාවල ප්‍රිය අප්‍රිය බව මත පදනම්ව
අපිට ආවේණික ආකාරයට
විඥාණය සකස් කරගන්නවා.

එවිට අප සතුව තියෙන්නෙ
චක්ඛු විඥාණයෙන් ලැබුණ
පිරිසිදු වාර්තාවට අනුව
අපට සාපේක්ෂව, අපට අනන්‍යව...
අපි හදාගත්ත සීමා බන්ධන සහිත..
පාක්ෂික, වාර්තාව වන
අපේම විඥාණයයි.

රළු බව හා රතු වර්ණයත්
මේ සකස්කරන විඥාණයට පාදක වෙනවා.
අපි දේවල් තෝරාගන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ
අපේ විඥාණය සකස්වෙන විදිය අනුවයි.
එක සාධකයකට අකමැති නම්
ඒ සාධකයට ඇති අකැමැත්ත නිසා
සමස්තයම ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්.

අප ගන්නා තීරණ අපට ආවේණික නිසා
සමාජය තුළ හැසිරෙද්දි ඒ අනුව
අපි දක්වන ප්‍රතිචාරත්,
අපට ලැබෙන ප්‍රතිචාරත් වෙනස් වෙනවා.

අපි අර තොරතුරු තව කෙනෙකුට දෙන විට
අපේ පුද්ගලික ආකල්පයත්
විශේෂණ මගින් එකතු වෙනවා..

1,
පට්ට රවුම් එකක් ඕයි
2,
ඒ රවුම් එක නම් කුජීතයි බං.
3,
ඒ රවුම් එක මෙලෝ රහක් නෑ.

රවුම් දේ ගැන අහන කෙනා
රවුම් දේ හිතන විදිය
කියන කෙනාට වඩා වෙනස් නම්
එතන වාදයක් පටන් ගන්නවා.
රවුම් දේ ගැන දෙන්නම එකඟ නම්
ඔවුන්ගෙ සිතුවිලි වල සමානතා අනුව
සංවාදයක් ඇති වෙනවා..
දෙන්නටම රවුම් දේ මෙලෝ රහක් නැත්නම්
මාතෘකාව වෙනස් වෙනවා.

මෛත්‍රී සහ මහින්ද ගැන
පසුගිය ජනපතිවරණ කාලෙ
නොයෙක් වාද විවාද ඇති වුණා.
තමන්ට ලැබෙන සත්‍ය අසත්‍ය තොරතුරු වලට
තමන් කැමති අකමැති වෙන ආකාරය අනුව
ඔවුන්ගෙ ස්වභාවය මනින විට
බොහෝ විට හැම දෙනාටම
වැරදුණ අවස්ථා ගණන වැඩි ඇති..

මෛත්‍රී සහ මහින්ද මොන විදිය වුණත්
අපිට අහන්න දකින්න ලැබෙන දෙයින්
අපි හදා ගන්න මෛත්‍රී සහ මහින්ද
සැබෑ මෛත්‍රීවත්, සැබෑ මහින්දවත් නොවෙයි..

අපේ හිත්වල ඔවුන් ගැන සකස්වූ විඥාණය
නිරන්තරයෙන් වෙනස් වෙනවා.
ඔවුන්ගේ විඥාණයත් නිරන්තරයෙන් වෙනස් වෙන නිසා
ඔවුන්ගෙ සැබෑ රූපත් නිරන්තරයෙන් වෙනස් වෙනවා.
ඔවුන්ගෙ සැබෑ රූපත්
අපි ඔවුන් ගැන මවන මිථ්‍යා රූපත්
නිරන්තරයෙන් වෙනස් වෙනවා.

ඉන්ද්‍රිය වල පවතින සරල විඥාණයෙන් දෙන
තොරතුරු වලින් පහළවෙන වේදනා හඳුනාගනිද්දි
අප තුළ පහලවෙන
රාග ද්වේශ මෝහ සංස්කාර වලින් සකස් වුණ
දෙවැනි විඥාණය හැම විටම අසත්‍යයි.

අත්දැකීමක් සත්‍ය ලෙස දකින්නට
පුහුදුන් පුද්ගලයෙකුට ඇති එකම මග
වර්තමාන මොහොත තුළ
තම සිත සහ කය තුළ සිදුවෙන
සියලුම වෙනස්කම් ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන්
තමන්ට දැනෙන මාත්‍රය පිළිබඳව
මොහොතින් මොහොතට සිහිය පිහිටුවා ගනිමින්
අනිශ්‍රිතව විසීමයි

ප්‍රායෝගිකව විදසුන් නොවඩන,
මනසින් බුදු දහම විමසන කෙනෙකුට වුවත්
මිථ්‍යා දෘෂ්ඨිවල නොපැටලී වසන්නට
මේ දෙක වෙන් වෙන්ව හඳුනාගැනීම ප්‍රයෝජනවත්.

නිරාගමිකයා උනන්දු වෙන්නෙත්
කතාබහ කරන්නෙත්
ස්පර්ශයෙදි ඇති වෙන
ඉන්ද්‍රිය වල පවතින සරල විඥාණය ගැනයි..

ඒ වගේම
සරලව ගත් කල
දුක ලෙස බුදුන් වහන්සේ හැඳින්වූ
පංච උපාදානයට හේතුවෙන
පංචස්කන්ධය ගැන විමසද්දි අදාළ වෙන්නෙ
සංස්කාර වලින් සකස් වුණ විඥාණය බව
සිත්හි තබාගත යුතුයි.
 =================================================
 තවත් සටහන්

බුදු දහමෙ විඥාණය මම දකින ආකාරය


අවිද්‍යා, සංඛාර හා විඤ්ඤාණ -පටිච්ච සමුප්පාදය

No comments:

Post a Comment