20140518

විමසා බලන්නට නොහැකිව ආගම් ප්‍රතික්ෂේප කරන අය



කිසිම ආගමක
එළිපත්තටවත් පා නොතැබූ කෙනෙකු
ආගම් සියල්ල හෙළා දකින්නේ
විනයට හික්මීමට සංයමයට
ඔහු තුළ ඇති අකමැත්ත නිසා යයි
මම හැම විටම සිතමි..

කිසිවෙක්
යම් මගක් හෙළා දකින්නේ නම්
ඔහු ඒ මගෙහි කිසියම් දුරක්
ගමන් කළ අයෙක් විය යුතුය.
ඒ මග හෙළා දකින්නට
ඔහුට පැහැදිලි හේතු තිබිය යුතුය..
කිසිවෙක් පය පැකිළී වැටීම
ඔහුට හේතුවක් නොවිය යුතුය.
ඒ හේතු එම මගෙහි
ඔහු දන්නා අඩුපාඩු විය යුතුය.

කිසිවෙක් පය පැකිළී වැටීම
මගෙහි අඩුපාඩුවක් නම්
එය පෙන්වා දීමට
ඔහුට හැකි විය යුතුයි.

සත් හැවිරිදි සාමණේරයන් වහන්සේ නමක්
දැකීමෙන් පැහැදුණු චණ්ඩාශෝක රජු
ධර්මාශෝක බවට පත්වීම
බුදු දහම හෙළා දකින අයට නොපෙනෙයි.

ඔවුන් දකින්නේ
ඔවුන්ගේ උවමනාව ඉටු කරගන්නට
අවශ්‍ය සාධක පමණි.
ඔවුන් දැන දැනම, හිතා මතාම
ආගම බැහැර කරන අයයි.

විමසා බලන්නට නොහැකියාව නිසා
ආගම බැහැර කරන අසරණ පිරිසක්ද වෙති.
ඔවුන්ගේ කාලය පැමිණ නැත.
කුඩා දරුවන්
යමක් තෝරා ගන්නේ හෝ බැහැර කරන්නේ
විමසා බලා නොවේ.

විමසා බැලූවත්
කුඩා දරුවන්ට පෙනෙන පරාසය
ඉතා පටුය.

කියතක් මිටියක් නියනක්
හරිහැටි යොදාගන්නට නොදැන
තුවාල කරගන්නා අය දකින කුඩා දරුවන්ද
වඩු කර්මාන්තයත් ලී බඩුත්
බැහැර කිරීම අරුමයක් නොවේ.

අන් ආගම් කෙසේ වුවද
බුදු දහම විමසා බැලිය හැකිය.
ආනාපාන සති වඩන විට සිදු වන දේ
බුදුන් වහන්සේ පවසා ඇත..
විනාඩි කිහිපයක් ආනාපාන සතිය වැඩීමෙන්
එහි සත්‍යතාවය විමසා බැලිය හැකිය.

සාමාන්‍ය කෙනෙකුට
වෙනත් අරමුණකට සිත නොදුවා
තත්පර හයකට වඩා
හුස්ම පිළිබඳ අවධානයෙන්
සිටිය නොහැක..

ආගම් හෙළා දකින හා
ආගම් ප්‍රතික්ෂේප කරන අයට
එම තත්පර හයවත්
සිහියෙන් සිටිය හැකියයි
මම නොසිතමි.

කුමන ආකාරයෙන් හෝ
කුමන හෝ ආගමක් අදහන කෙනෙකුට
පිළිපදින්නට උත්සාහ දරන කෙනෙකුට
ආගමක් නැති කෙනෙකුට වඩා
මම ගරු කරමි.

ඔහු මිනිස් සමූහයක හැසිරෙන්නට
අවශ්‍ය විනය ඇති කෙනෙකි.
ඔහු පය පැකිළී ගොස්
අපරාධකාරයෙකු වන්නට ඉඩ ඇත.
එහෙත් එම අපරාධය නොකර සිටින්නට
කිසියම් හෝ උත්සාහයක් දරන්නට
ඔහු උත්සාහ ගෙන තිබිය හැක.
නැත්නම්
ඔහු වරදක් කළ බව
ඔහුගෙ මත් බව මැකුණු විට හෝ
ඔහු පිළිගනු ඇත.

ආගමක් නැති කෙනෙකු තුළ
මෙම ප්‍රවණතා දෙකම
තිබිය හැකි යයි මම නොසිතමි..
තිබෙනවා නම්
දැන ගන්නටද කැමැත්තෙමි

8 comments:

  1. ආගම් අද බලය තියන ආයතන බවට පත්වෙලා. ඒ සිවිල් බලයෙන් මත්වෙලා පූජකයෝ ඒ නිසා අපුලක් මිනිසුන් අතර ඇතිවෙලා තියනවා කියා නොසිතේද

    ReplyDelete
    Replies
    1. මම පූජකයන් සලකන්නෙ නැහැ..
      අපිට පුලුවනි
      ඍජුවම ශාස්තෘවරුන් සමග
      දහම සමග
      කටයුතු කරන්න..
      බඳුනෙ කඩතොළු නිසා
      අමෘතය ඉවත හෙලිය යුතුද?

      Delete
  2. එතෙර උනාට පස්සේ පහුර අත හැරපු අය ඔය අතර ඉන්න පුළුවන් නේද.. ඒ වගේම ආගමෙන් උගන්වන කරුණු හරිහැටි අවබෝධ කරගෙන ජිවිතය ඒ ආකාරයෙන් හැඩගසා ගෙන නැවත ආගම මත නොරැඳී ඉන්න අයත් ඉන්න පුළුවන් කියල මට හිතෙනවා. සමහරවිට එහෙම අය සියලු සංවිධානාත්මක ආගම් ප්‍රතික්ෂේප කරනවා ඇති.

    ReplyDelete
    Replies
    1. අනික් අයට පෙනෙන්න
      හොඳින් ඉන්න එක
      ශීලය පමණයි. Pathum
      සමාධිය හා
      ප්‍රඥාවත් තියෙන්න ඕන.

      එහෙම අය ඉන්නවා නම්
      ඔවුන් කාමය පසුපස යන්නෙ නැහැ.
      කෝපයට කනස්සල්ලට පත් වෙන්නෙ නැහැ.
      කාරුණිකයි.. මුදුයි. සුහදයි.
      හොර බොරු වංචා නැහැ.
      සිල් බිඳින්නෙ නැහැ.
      හිස් බස් ඵරුෂ බස්
      කේලාම් කියන්නෙ නැහැ.

      Delete
    2. ඔබ ඔය කියන මිනුම් දඬු වලින් මැන එවැනි කෙනෙක් හඳුනා ගැනීමට තැත්කිරීම කොතරම් සාර්ථකද?

      ඔවුන් ජිවත් වෙනවා අනිත් අය වගේම. සමහර විට සමාජයේ බොහෝ අයට වඩා සැප විඳිමින්.. සුවසේ ජිවත් වීම කාමය පසු පස යාම ලෙස දැකීම හරිද?

      කෝපය සහ කනස්සල්ල එන එක සම්පුර්ණයෙන් නතර නොවුනට කෝපය දිගේ හෝ කනස්සල්ල දිගේ එල්ලී නොයාම ඔවුන් තුල දැකිය හැකියි නේද?

      බිඳින්න ඔවුන් සීල් රකින්නේ නැතුව ඇති නේද? මොකද අමුතුවෙන් රකින්න සීලයක් ඔවුන්ගේ ජිවිත වල නෑ කියලයි මම හිතන්නේ..

      ඔබ පවසා ඇති අනිත් කරුණු ගැන මට ගැටලුවක් නෑ..

      Delete
    3. සිල් බිඳෙන්න සිල් ගතයුතු නැහැ.
      සමාධිය හා ප්‍රඥාවෙ අගය තේරෙන්න
      සීලය තිබිය යුතුයි..
      සීලයත් අවශ්‍ය නැහැ කියල හිතන අයට
      ආගමක් තිබුණත් නැති කෙනෙක් වගෙයි..

      සීලයක් නැති කෙනෙක් හොඳින් ඉන්නෙ
      පරිසරය හොඳ නිසයි.
      පරිසරය පිරිහුණොත්
      ඔහු සතෙක් වගේ වෙන්න පුලුවන්..

      Delete
  3. ප්‍රඥාවෙන් අවබෝධයට පත් වූ පසු සීලය ඉබේම පිහිටනවා නේද? මොකද සීලය කියල ඔබ හඳුන්වන දේ තුල මම දකින්නේ යහපත කියන එක. සැමවිටම යහපතින් ජිවත් වෙන පුද්ගලයා ට සීල් රැකිම, නොරැකීම කියල දෙකක් තියෙන්න විදියක් නෑ නේද?

    අනිත් එක ඔහු තුල ඇති ප්‍රඥාව නිසා ජිවත් වෙන පරිසරය කුමක් වුවත් යහපතෙහි හැසිරෙන්න බාධාවක් වෙන්නේ නෑ. සැබෑවටම අවබෝධයට පත් වූ පුද්ගලයා වෙසෙන පරිසරය කුමක් වුවත් යහපත හැමවිටම ඔහු කරා එනවා. එසේම කෙතරම් අයහපත් පරිසරයක වුවත් ඇති යහපත සමග වෙසිමට එවැනි පුද්ගලයින්ට හැකි බව මගේ විශ්වාසයයි..

    ReplyDelete
    Replies
    1. ධර්ම දේශනාවෙන් ලබන්නේ ප්‍රඥාව නොවෙයි.
      සුතමය ඥාණ සහ චින්තාමය ඥාණ පමණයි..
      ප්‍රඥාව පහළ වෙන්නේ
      භාවනාමය ඥාණයෙන් පසුවයි.
      ධර්ම දේශනා මගින්
      ප්‍රඥාව පහළ වෙන අය
      කලින් ජීවිත වල
      අනන්තවාරයක් විදසුන් වඩා
      කෙලෙසුන් නැසූ අයයි..

      ප්‍රඥාව නිසා ඇතිවෙන සීලය
      සමාදන් වූවක් නොවෙයි.
      ප්‍රඥාවට පෙර සම්මා සතිය මගින්
      සම්මා සමාධිය වඩා ගත යුතුයි..
      ඒ සඳහා ඒ පිළිබඳ ශ්‍රද්ධාව මත
      වීර්යයත් වැඩිය යුතුයි.

      සති සමාධි දෙකට වීර්යය අවශ්‍ය නොවන්නේ
      රහතන් වහන්සේ කෙනෙකුට පමණයි.

      Delete