20130320

තිරිසන් අපායෙන් ගැළවුණ මගේ පුතාට



තිරිසන් අපායෙන් ගැළවුණ මගේ පුතාට..
කරුමක්කාර තාත්තගෙන් පණිවිඩයක්...
------------------------------------------------
මගේම ලෙයින් පිළිසිඳගත්
මගේම දරුවා මරන තත්වයට
මාව පත් කරන්න
මම ජීවත් වෙන සමාජය සමග..
ඒ සමාජය අපායක් කරමින් සිටින
මිනිස් වෙස් ගත් තිරිසන් පිරිස්
උඹ වගේ අසරණ අහිංසක කිරිකැටියන්
මෙළොව එළිය දකින්නටත් පෙර
මෙලොවින් තුරන් කරන්නට
නීති සම්මත කරගන්නට
කොයි තරම් කැස කෑවද?

අන්තිමේ ඔවුන් දිනුව නිසාම
උඹ පැරදුණා..

ඔවුන්ගෙ කාමුක හිත් ඉල්ලන
සුළු මොහොතක කායික තෘප්තිය උදෙසා..
බොහෝ විට මුලු කයින්මත් නොවිඳින..
කයෙහි එක් කුඩා ප්‍රදේශයක පමණක් විඳින
තවකාලික ප්‍රියජනක කැක්කුමක් උදෙසා
උඹ වැනි සුවහසක් කිරිකැටියන්ගේ
මුළු ජීවිතයම විනාශ කරන්නට තරම්
උන් ආත්මාර්ථකාමීයි.

නිදැල්ලේ ගසින් ගසට පනින ස්ත්‍රී දූෂකයින්ට
නිතියෙන් ඉණිමං බඳින
මෙවන් තිරිසනුන් අතර උපදින්නටත්
උන් අතර දිවි ගේවන්නටත් තරම්
මා තරම් නුඹ පව් නොකළ පිනෙන්දෝ
ජීවිතයෙන් වන්දි ගෙවා හෝ
නුඹ බේරී යෑම මට සැනසිල්ලක්.

ඔවුන්ගේ රැල්ලට අසුවී
මගේ මිනිස්කම
තිරිසනුන්ටත් අන්ත
කිසියම් නීච ගති ස්වභාවයකට
මා හුවමාරු කළ පව ගෙවන තුරා නොවුණත්
මේ තිරිසනුන් අතරම
හෙටත් මෙසේ දිවි ගෙවන්නට වීම
මා ලද භාග‍යයක්.

මාකළ පවට වන්දියක් ලෙස..
මාත් උපදින උපදින
ජීවිත දහස් ගණනක
මා වැනි තිරිසන් පියවරුන්ට ජාතක වී,
නුඹේ අම්මා වැනි
තිරිසන් මවුවරුන්ගේ
මාරාන්තික ගැබ් තුළ ජනිතවී
නුඹ මෙන්ම
මෙළොව එළිය නොලබා
කෲර ලෙස ඝාතනය වෙන
මෙවන් ඉරණමකටම
මාද යළි යළිදු ගොදුරු වේවායි පතමි.

එම සාධාරණ පැතුම ඉටු කරන්නට
සර්ව සාධාරණ ස්වභාව ධර්මය
කාරුණික වන බවද
මම දනිමි.

නුඹට සුබ ගමන් මගෙ පුතේ.

-----------------------------




 

ගබ්සා නීතිය පණවන්නට
වගකිවයුත්තන් සමාජය හුරු කරද්දී
කලක් තිස්සේ සිතින් විඳි දරුණු වෙදනාව
මෙසේ මෝචනය කරගන්නට අත්වැලක් වූයේ
ජනක බස්නායකගේ
පහත සඳහන් අපූරු නිර්මාණයයි.


 දිවිය ලෝකේ ගිය මගේ පුතාට.. තාත්තගෙන් පණිවිඩයක්...  

No comments:

Post a Comment