20121122

සැනසිල්ල සහ අසහනය



සත්තුවත්තෙහි වෙසෙන සතුන්
සත්තුවත්තෙහි සිරවී සිටීම
අනුමත කරනු ඇතැයි
අපට සිතිය නොහැක.

ඔවුන් මෙන්ම
සත්තුවත්තට විරුද්ධ මිනිසුන්ද සිටිති.
ආකල්පමය වශයෙන් පමණක්
මමද ඔවුන් හා එකඟ වෙමි.

එහෙත් ප්‍රායෝගිකව
සත්තුවත්තට මා විරුද්ධ නැත.

කැලයෙහි වෙසෙන සතුන් තුළ දැකිය නොහැකි
එහි සිටින සතුන්ගේ අපූර්ව හැඟීම්, සහ චර්යාවන්
රූ ගත කිරීමටද ඉමහත් කැමැත්තක් දක්වමි.

මා ඡායාරූපයක් ගන්නේ
මට විශේෂයක් පෙනෙන යමක් රූගත කොට
අන් අය හා බෙදා ගැනීමේ අරමුණේනි.
මා රූගත කරන දෙය පිළිබඳව
මා දක්වන ආකල්පය
මට එය රූගත කිරීමට
කිසිදු බාධාවක් නොවේ.

සත්තු වත්ත පවත්වාගෙන යන්නේ
මා නොවන හෙයින්ද
මට එය වසාදැමිය නොහැකි බැවින්ද
මම ඊට විරුද්ධ නොවන්නෙමි.
හැකි හැමවිටම එහි යමි.
එහි සිරවූ සතුන්ද
උන් බලා සතුටුවන්නට එන
වරප්‍රසාද ලත්
අස්වාභාවික සතුන්ද නරඹමි.

කැමරාවේ විදුලිකෝෂයෙහි
විදුලි බලය ඇති තාක් කල්
ඔවුන්ගේ අපූර්ව හැඟීම් සහ චර්යාවන් රූගත කරමි.

නිදහසේ වටිනාකම නොදන්නා කාලයේ
ඇතිකරන්නට ගිරා පැටවෙකු ගන්නට පහළවූ
දැඩි උවමනාව පාලනය කරගත නොහැකිව
එළවළු කපන ප්‍රමාණයේ පිහියකින්
ගිරා කූඩුවක් සහිත
මැරුණු පොල්ගසක් බිම හෙළුවෙමි.
එහි උන් පිහාටුවත් නිදුණු
ලේකැටි පැටවුන්ගෙ අහිංසක ජීවිත
අනතුරේ හෙළීම ගැන
අදත් එය සිහිකොට කම්පා වෙමි.
ඊට වඩා වයසින් වැඩුණත්
ඊට වඩා අවසිහියෙන් හා
යොවුන් මදයෙන් මත්ව සිටි
පූර්ව ගැටවර වියේදී
සියතින්ම පරෙවියෙකු මරා
පුලුස්සා කෑවෙමි.

ඒ එදාය.
අද මම කිසිම සතෙකු
හෝ මිනිසෙකු
කිසිම හේතුවක් මත
මරනවාට විරුද්ධ වෙමි.

එමෙන්ම අද කුරුල්ලන් ඇති කරන්නට
එදා මෙන්ම රිසි වුවත්
මාළුවෙකුවත් ඇතිකරන්නට නොරිසියෙමි.
එසේ වුවද
සකල ලෝක සත්වයාම
මා තේරුම් ගන්නා සත්‍යයන්ට අනුව
මගේ පටු ආකල්පයන්ට අනුව
හැසිරිය යුතුයැයි සිතන්නට තරම්
අන්ධයෙකුද නොවෙමි.

අපට ඕනෑම දෙයකට
විරුද්ධ විය හැකිය.
එහෙත් මේ විශ්වයේ කිසිවක්
හේතු රහිතව සිදු නොවේ.
කුමක් සිදුවුවත්
සැනසිල්ලෙන් වෙසෙන අය සහ
අසහනයෙන් පසුවන අයද ඇත.

මා දකින ආකාරයට
මම ඔවුන් වර්ගකරමි.

1, හේතු නොසොයා
ලැබෙන දෙයක් බාරගෙන
වෙන දෙයක් බලාගෙන සිටින්නා
ඇස් ඇතත් අන්ධයෙකි.

2, හේතු දන්නේහි නම්
ඔහු ප්‍රඥාවන්තයෙකි.

3, හේතු ඇතිබව නොදන්නා නමුත්
හේතු සොයන්න විද්‍යාඥයෙකි.

4, හේතු නොදන්නා නමුත්,
හේතු ඇතිබව දන්නා නිසා
හේතු සොයන්න ගවේශකයෙකි.

5, මතුපිටින් පෙනෙන දේට අනුව කම්පාවෙමින්
තමාට අදාළවම සිතමින්
එකඟවිය නොහැකි සියල්ලටම
අත්තනෝමතිකව විරුද්ධවුවත්
කිසිවක් කරගත් නොහැකි තැනැත්තා
පීඩිතයෙකි..

6, මතුපිටින් පෙනෙන දේට අනුව කම්පාවෙමින්
තමාට අදාළවම සිතමින්
එකඟවිය නොහැකි සියල්ලටම
අත්තනෝමතිකව විරුද්ධවන්නා
විප්ලවවාදියෙකි.
ඔහු එසේ සිතන්නටද හේතු ඇත.
ඔහු එසේ සිතන්නට පොදු හේතු මෙන්ම
පුද්ගලික හේතුද ඇත.

සතුන් මෙහි හිරවන්නටද
එවැනිම වූ හේතු ඇත.
එහි සැනසිල්ලේ වෙසෙන සතුන්
අයිති වන්නේ පළවෙනි ගණයටය.
එහි සැනසිල්ලේ නොවෙසෙන සතුන්
අයිති වන්නේ හෝ පස්වෙනි හෝ
හයවෙනි ගණයටය.

මා අයිති වන්නේ හතරවෙනි ගණයටය.

මා එකඟ වෙන හෝ විරුද්ධවෙන සියල්ලටම,
විශ්වයේ සිදුවන සියල්ලටම
හේතු ඇතිබව පිළිගනිමි.

මා එකඟ වෙන හෝ විරුද්ධවෙන
සියල්ලටම හේතු සොයන
අත්‍යන්ත ගවේෂකයෙකු පමණෙක්මි.

No comments:

Post a Comment