Kasun,
දහම් පාසල් ගුරුවරු උගන්වන්නෙ විඳ පසක් කරලා දන්න දේ නොවෙයිනෙ. පොතේ තියන දේ. ඔබත් තව බොහෝ අයත් ඒවා දන්නවා ඇති. ඒ දැනුමෙන් ප්‍රයෝජන ගන්න ඔබත් දන්නෙ නෑනෙ.
අපිත් බුදුසිරිත කියල දෙනවා.
නෙලුම් මල් උඩ වැඩීම ඇත්තද බොරුද කියා අපි ඔවුන්ගෙන් අහන්නෙ නෑ.. අපිටත් ඒවා ප්‍රශ්න නොවෙයි. සිදුහත් කුමරු නෙලුම් මල් මත වැඩියත් නැතත් ඒ ජීවිතය අපට අති විශේෂයි. සිදුහත් කුමරු බුදු වෙලා ලෝකයට ඉදිරිපත් කළ දේ අපේ ජීවිතවලට අතිශයින්ම ප්‍රයෝජනයි. ඒ සියල්ලම දරුවන්ට දෙන්න අපි කැප වෙනවා. සේකර කියන විදියට
"ඈත නිල්වන් අහස විනිවිද ඒ යෝද බුදුබඳ" අපි දකින්නෙ ධර්මය තුළින්. දරුවො ධර්මය දක්කොත් ඔවුන්ටත් බුදුන් වහන්සේ පෙනේවි. ඔවුන් නිවැරදිව සතර පෙර නිමිති දකින දාට ඔවුන්ට සුදු ඇත්පැටියා හෝ නෙලුම් මල් හත ගැටළුවක් වෙන්නෙ නෑ. ඔවුන් ඒ මට්ටම ඉක්මවා බොහෝ දුර ගිහින් ඉඳීවි. කසුන් තවමත් කතා කරන්නෙ නෙලුම් මල් හත සහ ජාතක කතා ගැනයි. ඔබේ දෙමාපියෝ, ගුරුවරු බුදුන් වහන්සේ ගැන, ධර්මය ගැන කියා දීල නෑ. ඒ හිස් තැන ඔබේ පැය විසිහතර පුරාම ඔබට ප්‍රශ්න ඇති කරද්දි ඔබ අන් අයගේ ජීවිතවල නෙලුම් මල් හත සහ ජාතක කතා ගැන කරදර වෙනවා. ඔබ බුදු දහම දකින්නෙ ඔබ ඔබ ගැනම කරදර වෙන දාටයි. මම දරුවන්ට බුදු දහම කියා දෙන්නෙ දුක් කරදර විඳින වෙලාවට මානසික වේදනා නොවිඳ එතෙර වෙන ඔරුවක් විදියටයි. ඔවුන්ට කායික වේදනාවට උපේක්ෂාව කියා දෙන්නෙ ඔවුන්ගෙ ජීවිතවල කායික වේදනා පැමිණිවිටයි. පොතේ සටහන් දීලා නොවෙයි.
අපි ඔවුන්ට බුදු සිරිත, ජාතක කතා වගේම අණු, පරමාණු ගැනත් ආලෝකය විදුලිය ගැනත් ඇමීබා ඩයිනොසෝර්ලා ගැනත්, පටිච්ච සමුප්පාදය ගැනත් කියා දෙනවා. ඒ වගේ බොහෝ දේ ඔවුන් පාසලෙත් ඉන් පිටතත් ඉගෙන ගන්නවා. පාසලේ උගන්වන කිසිම විෂයක කරුනු ඇත්තද බොරුද කියා කියන්න දරුවන්ට තවම බෑ. සමහර කරුණු වැඩිහිටියන් පවා හරිහැටි දන්නෙ නෑ.
ඇත්තද බොරුද කියන ප්‍රශ්න ඔවුන් විසඳා ගනීවි. අපිට නොතේරෙන දේවල් ගැන හිතලා තේරෙන දේ ප්‍රතික්ෂේප කරන මැටි ජීවිත වෙන්න අපි ඔවුන් හුරු කළ යුතු නෑ.
ඇඳුමෙන් පැළඳුමෙන් බාහිර දේවල් වලින් අන් අය උත්තේජනය කරන්න ඔවුන් තුළ මතුවෙන උවමනාව පෝෂණය කරන්න අවස්ථා දෙන්නෙ නෑ. බාහිර කොතරම් සැරසුවත් අපට තියෙන ඇත්ත වත්කම අපේ කුසලතා, චරිතය සහ පෞරුෂය විතරයි... කියා ඔවුන්ට කියා දෙනවා. ඒ විච්චූරණ අවශ්‍ය වෙන්නෙ බොල් ජීවිත වලට බව අපි ඔවුන්ට සමාජය තුළින්ම පෙන්වා දෙනවා. කිං තේ ජටාහි දුම්මේධ...
හොරකමෙන් බොරුවෙන් ජීවත් වෙන මේ සමාජය තුළ අපි ඔවුන්ට හොරකම බොරුව වගේ දේවල් ඉගෙන ගන්න ඉඩ තියන්නෙ නෑ. ඔවුන් ඉන්න තැනක ආච්චිලා සීයලා, නෑදෑයො, ගුරුවරු කියන කරන හොර බොරු පවා නිග්‍රහශීලීව ඔවුන්ට පෙන්වනවා. දරුවන් කරන හොර බොරු වලදී එහි වරද හොඳටම තේරෙන විදියට ඉතා තදින් බලපෑම් කරනවා. දරුවෙකුගෙ උගුරෙ හිර වුණ මාලු කටුවක් වගේ ඔවුන්ට තුවාල වුණත් හොරකම බොරුව ඔවුන්ගේ ජීවිත තුළින් ඉවත් කරන්න උත්සාහ කරනවා. ....-බුදුන් වහන්සේගෙ උපමාවක් ඒ. :)
දරුවන්ට කොතරම් රස වුණත්, ප්‍රිය වුණත් අහිතකර දේ ජීවිතේට හානිකර දේ පෙන්වා දෙනවා. උදාහරණයක් විදියට මත්පැන් අයහපත් කියා විඳ පසක් නොකර අපි කියන දෙයින්, පෙනෙන දෙයින් ඔව්වුන් විශ්වාස කරනවා. පරීක්ෂාවක් විදියටවත් මත්පැන් තොලගාන්න ඔවුන් තාමත් කැමති නෑ. මම ඒකට ඔවුන්ට බලපෑම් කරන්නෙ නෑ. දරුවෝ ප්‍රඥාවන්තව හැදුණොත් අන් බොහෝ දේ සමග විඳ පසක් කිරීමෙන්ම මත්පැනුත් ප්‍රතික්ෂේප කරාවි. ප්‍රිය අප්‍රිය දේ වගේම ඒ දේවල්වල හොඳ නරක දෙකත් ප්‍රඥාවන්තයාට පෙනෙනවා. ඒ සඳහා බුදු දහම ඔහුට සහාය වෙනවා.
බුදු දහම අනුව මම දන්න ඇත්ත, ඔවුන්ට ඇත්තටම ජීවිතේ විඳින්න ලැබෙන ඇත්ත දේවල් කියල දෙනවා. ඒ දේවල් ඇත්තද බොරුද කියා විමසා බලන්න ඔවුන්ට කියනවා. ඒත් ඒ දේවල් කටපාඩම් කරන්න බල කරන්නෙ නෑ. තේරෙන දේ රැඳේවි. නොතේරෙන දේ නැවත හමුවුණාම තේරේවි. ඇත්ත නැවත නැවත කියා දෙනවා.
රාග, ද්වේශ, මෝහ, වේදනා වර්ග..නීවරණ, සිහිය, උපේක්ෂාව, ප්‍රඥාව වගේ අපේ ජීවිත තුළ අත් දකින දේ වයස 4 විතර ඉඳලා කියා දෙනවා. ඔවුන් මෝහය සහ උපේක්ෂාව අතර වෙනස දන්නවා. ආනාපාන සතිය දන්නවා. විපස්සනාත් සරලව දන්නවා.
වේදනාවෙන් තණ්හාව ඇතිවෙන හැටි දන්නවා.
තුවාලයක් වුණාම, අසනීපයක් වුණාම වගේ ඔවුන්ගේ ජීවිත තුළ පැමිණෙන කායික වේදනා වලට උපේක්ෂාවෙන් ඉන්න ඔවුන් දන්නවා. ඒ පුහුණුව නිසා කායික වේදනාවලට උපේක්ෂාව දන්න ඕනම කෙනෙක් වගේ ජීවිතේ ප්‍රශ්නවලදි මගේ දරුවො දුක් විඳින ප්‍රමාණය අඩුයි.
ඔවුන් කරන සමහර දේවල්වලට අපි ආදායම් ලබා දෙනවා. ඔවුන්ට ලැබෙන මුදල් ඔවුන්ටම දෙනවා. ඔවුන්ට බැංකු ගිණුම් පවා තියනවා. සල්ලි වටින බව දැනෙනවා. ඒත් ඔවුන් සල්ලිවලට කෑදර නෑ. බුදු දහමට අනුව ප්‍රඥාවන්තව හැදුණොත් සල්ලි කියන්නෙ පහසුවක් විතරක් බව ඔවුන් විඳ පසක් කරාවි.
දරුවො කැමති ආහාර සීමාවන් තුළ හදල දෙනවා. ඔවුන් රයිස් කොත්තු ගේන්න කියා අපට බල කරන්නෙ නෑ. මොන දෙයක් හරි බල කරල ඉල්ලුවොත් ලැබෙන්නෙත් නෑ. ගමනක් බිමනක් ගිහින් සුදුසු ආහාරයක් නැතුව අපහසුවට පත්වුණ වෙලාවට බිස්කට් දෙක තුනකින් වේල පිරි මහගන්නත් ඔවුන්ට පුලුවන්. මානසික වේදනා නැතුව කායික වේදනා උපේක්ෂාවෙන් විඳගෙන වේලක් කුස ගින්නෙ ඉන්නත් පුලුවන්. මේ වගේ දේවල් බුදු දහමෙ තිබුණට දහම් පාසල්වල උගන්වන්නෙ නෑ.
ඉතින් දහම් පාසල අපේ දරුවන්ට අවශ්‍ය නෑ. අපේ දරුවන්ගේ දහම් පාසල ජීවිතයම තමයි. බුදු දහමට අනුව ජීවිතය ගත කිරීම තුළින් බුදු දහම ඉගෙන ගන්න නිසා අපේ දරුවන්ගෙ දහම් පාසල ජීවිතයම තමයි.
.
#athulasiriwardhane
.
No comments:
Post a Comment