20230531

බුදුන් වහන්සේ මෙලොව පහළ වූ පළමු විද්‍යාඥයායි.

 

 


බුදු දහම
ලෝකයේ පළමු විද්‍යාවයි.
බුදුන් වහන්සේ මෙලොව පහළ වූ
පළමු විද්‍යාඥයායි.

බුදු දහම අනුව ක්‍රියා කොට
මාර්ගඵල ලබපු හැම කෙනෙක්ම
විද්‍යාඥයෙක්ම තමයි.

මිනිසා විඳින දුකෙන්
මිනිසා මුදාගෙන සුවපත් කරන්නට
මාර්ගයක් තිබිය යුතුයි කියා
සිදුහත් කුමරු කළ උපකල්පනය
විද්‍යාවේ ආරම්භයයි.
උපකල්පනයෙන් දවසක් ගතවෙන්න පෙර
ඔහු කන්ථක අසු අරා පිටත් වුණේ
ඒ විද්‍යාත්මක පරීක්ෂණය සඳහායි.

වසර හයක් තිස්සේ ඔහු තනිව කළ
විද්‍යාත්මක පරීක්ෂණය දුෂ්කර ක්‍රියාවයි.
ගින්දර සොයාගෙන ශීලාචාර වී
එහි දැවෙන මිනිසාගේ ගින්දර නිවන්නට
විද්‍යාව පහළ වුණේ බුදුන් වහන්සේ නිසයි.

ලෝකයට විද්‍යාව පහළ වුණේ
දුකත්, දුකට හේතුවත්, දුක නිරෝධයත්
දුකෙන් මිදෙන මගත් යථාභූත ලෙස
තමා තුළම විඳ පසක් කරමින්
සම්මා සම්බුද්ධත්වය
මෙලොව පහළ වූ මොහොතේයි.
"විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.
පඤ්ඤා උදපාදි"

සියලු දැනුම් වල මුදුන් මල්කඩ විඳ පසක් කිරීමයි.
බාහිර දැනුම ප්‍රඥාව වෙන්නෙ විඳ පසක් කිරීමෙන්.
බුදු දහමට අනුව තමා දෙස බලන
හැම ආර්ය ශ්‍රාවකයෙක්ම විද්‍යාඥයෙක්.

මේ විද්‍යාඥයාගේ
රසායනාගාරය සිත හා කයයි.
විද්‍යාව පටිච්ච සමුප්පාදයයි.
උපකල්පනය, පරීක්ෂණය සහ
නිරීක්ෂණය සතර සතිපට්ඨානයයි.
මේ විද්‍යාවේ නිගමනය
"ආර්ය ශ්‍රාවකයාට
කායික වේදනා පමණයි.
මානසික වේදනා නෑ"

තණ්හාවයි, මානසික වේදනාව.
මානසික වේදනාවයි, තණ්හාව.

"වේදනාවෙන් තණ්හාව" ඇති වෙන අයුරුත්
තණ්හාවෙන් දුක ඇතිවෙන අයුරුත්
විඳ පසක් කරන්න කෙනෙකුට පුලුවන් වෙන්නෙ
සතර සතිපට්ඨානය වඩන වෙලාවෙදීයි.
කය කියන බීකරය තුළ ඇති වෙමින්
නැති වෙමින් යන රසායනික සංයෝග
තමන්ගේ කායික දුක ඇති කරන අයුරුත්
ඒ රසායනික වෙනස් වීම්වලින්
කම්පා නොවෙන කෙනෙකුට
මානසික වේදනා නැති බවත්
මේ විද්‍යා සිසුවාට පසක් වෙනවා.

පාසලේ පන්සලේ පල්ලියේ කෝවිලේ
ආනාපාන සති වඩන කුඩා දරුවාත්
මේ ආලෝකය, මේ විද්‍යාව සොයා
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන
ආර්ය ශ්‍රාවක අංකුරයක්.

ඔහුත් වෑයම් කරන්නෙ
උපන් අකුසල් දුරු කොට
නූපන් කුසල් ඇති කරගන්නයි.
නීවරණ දුරුකරමින්
ප්‍රඥාව පහළ කරගන්නයි.

සම්මා වායාමය කවුරු දරුවත්
ඔහු එතුළින් සතර සතිපට්ඨානයට යොමුවී
සම්මා සතිය පහළ වෙනවා.
සම්මා සතියෙන් සම්මා සමාධියත්...
ඒ තුළින් ප්‍රඥාවත් පහළ වෙනවා.

මමත් මේ විද්‍යාවෙ සිසුවෙක්.
බුදු දහම භාවිතා කොට
විඳින දුකෙන් මිදෙන්න පුලුවන් කියා
මමත් උපකල්පනය කළා.
මට අවශ්‍ය පරීක්ෂණය ලැබුණා.
නිරීක්ෂණ අනුව නිගමනය වෙන්නෙ
"ආර්ය ශ්‍රාවකයාට කායික වේදනා පමණයි.
මානසික වේදනා නෑ".

මේ නිගමනයට එන්න නම්
ඒ පරීක්ෂණය තමන්ම කළ යුතුයි.
ඇදහීමෙන් පලක් නෑ.

මේ විද්‍යාඥයාගේ
රසායනාගාරය සිත හා කයයි.
විද්‍යාව පටිච්ච සමුප්පාදයයි.
උපකල්පනය, පරීක්ෂණය සහ
නිරීක්ෂණය සතර සතිපට්ඨානයයි.
නිගමනය
"ආර්ය ශ්‍රාවකයාට
කායික වේදනා පමණයි.
මානසික වේදනා නෑ"

තමාට තමා සරණයි.
ධර්මය දීපයක් කරගන්න.
මේ අඳුරු බිංගෙය තුළ
මගක් සොයාගෙන යන කෙනෙකුට
ඈත කෙළවරේ
කුඩා තිතක් විදියට හෝ
ආලෝකය පහළ වෙනවා.
විද්‍යාව පහළ වෙනවා.
ප්‍රඥාව පහළ වෙනවා.
.
#athulasiriwardhane

20230527

මත්පැන් මගින් ලැබෙන මානසික සුවය කුමක්ද?

 

.




"ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ කම්සුව පිළිගනී. ඒ කවර හෙයින යත්: කම්සුවය හැර දුක්වේදනාවේ දුරුකිරීමක් නො දනී."
බුදුන් වහන්සේ මේ කියන දේ තුළ
ගැබ්වෙන සත්‍යය පැහැදිළියි.
දුක් වේදනා විඳින පුද්ගලයා
ඒ මානසික බරෙන් නිදහස් වෙන්න
කාමච්ඡන්දයෙන් යම් සුවයක් සොයනවා.

කෑමෙන් බීමෙන් වගේම මත් පැනෙනුත්
ඔහු කරන්නෙ දුකෙන් පළා යාමක්.
කෙනෙක් සතුට සොයා යන්නෙ ඇයි?
සතුට අවශ්‍ය නිසාද?
දුකෙන් පළා යන්නද?

බිරිඳගේ කන්දොස්කිරියාව අහලා
අල්මාරියෙන් වීදුරුවක් දෙකක් දාගන්නෙ..
නැත්නම් හන්දියට ගිහින් රත් කරගන්නෙ
සතුට අවශ්‍ය නිසාද?
ඔහු එන්නෙ ආයුධ සන්නද්ධ වෙලා.
ඉන් පස්සෙ ඔහුට නැමිලා
කීකරුව ඉන්න බිරිඳ සූදානම්.
සමහර බිරින්දෑ වරු බීල වගේ
බීල ආපු කෙනා සමග දබර කරගන්නවා.
සමහර විට ඔවුන් ඒකටත් ඇබ්බැහි වෙලා
ඒ විදියට හෝ සම්බන්ධ වීම
රස විඳිනවා ඇති.

තව කෙනෙකුට...
කතා කරන්න නම් සෙට් වෙන්න ඕන...
බොන්න ඕන.
කියන්නෙ මොනවද බලන්නෙ නැතුව
කතා කරන්න නිදහස ඕන.

මේ වගේ නොයෙක් හේතු මත
මත්පැන් බොන පුද්ගලයන් මත් වෙනවා.
මත් වෙලා පත්වෙන මෝහය සුවයක්.

ඉංග්‍රීසි කියමනක් තියනවා...
" Ignorance is bliss " කියලා.
"නොදන්නා කම පරමානන්දයයි"
ignore කරනවා කියන්නෙ
නොසලකා හරිනවා කියන එකයි.
ඒ සුවය තමයි මත්පැනෙන් ලබා දෙන්නෙ.

හැමකෙනෙක්ම ඉන්නෙ යම් මෝහයක.
ඒ මෝහයත් විනිවිද දුක කාන්දු වෙනකොට
ජීවිතේ රසවත් බව ටිකෙන් ටික හිඳෙනකොට
ෆැෂන් එකක් විදියට මුලදි බොන කෙනෙක්
බොන්න නැත්නම් විෂාදයට පත්වෙන තරම්
ඇබ්බැහි වෙන්න පුලුවන්.

ඇබ්බැහි වුණාට පස්සෙ සීමාව දන්නෙ නෑ.
ඒ අසීමාන්තික මෝහය.....
.
#athulasiriwardhane

20230513

"ආර්ය ශ්‍රාවකයා කවුද?"

 

 

මේ මගේ මිතුරාගෙ අදහස.

"බුද්ධාගමේ, උතුම් ශ්‍රාවකයෙකු (පාලි භාෂාවෙන් අරිය-සාවක) යනු බුද්ධත්වයේ අවස්ථා හතරෙන් එකක් ලබා ගත් පුද්ගලයෙකුට ය: ධාරාවට ඇතුළුවීම (සෝතාපන්න), වරක් ආපසු පැමිණි (සකදාගාමී), ආපසු නොඑන (අනාගාමී) සහ. රහතන් වහන්සේ (සම්පූර්ණයෙන්ම ඥානාන්විත)."



මේ මා ඔහුට දුන් පිලිතුර.
.
ඒ ඔබ බුදු දහම
දන්නා ප්‍රමාණය මත
ඔබට තියන ආකල්පයක් පමණයි.
ඔබ කියන්නෙ රතන සූත්‍රයට අනුව
ආර්ය සංඝ කියන වචනයේ
අර්ථ කථනය විනා
ආර්ය ශ්‍රාවකයා අර්ථ කථනය නොවේ.

තෙරුවන් සරණ ගිය කෙනෙක් ශ්‍රාවකයෙක්.
සීල, සමාධි, ප්‍රඥා වඩන කෙනෙක්
ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නෙ ඔහු තුළ
සම්මා වායාමය තියන නිසයි.
ආර්ය ශ්‍රාවකයා ගමන් කරන්නෙ
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ.

සම්මා වායාම කියන්නෙ
නූපන් කුසල් දියුණු කරන්න
ඇති අකුසල් ප්‍රහාණය කරන්න
ශ්‍රාවකයා දරන වෑයමයි.

සම්මා වායාමය නිසා
ඔහු ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ
යහපත් වෑයමෙහි යෙදෙන
ආර්ය ශ්‍රාවකයෙක්.

"හරියටම කියනවා නම්
අකුසල් කියන්නෙ නීවරණ
කුසල් කියන්නෙ සතර සතිපට්ඨානය"
කියා කුසලරාසි අකුසල රාසි සූත්‍රවල
බුදුන් වහන්සේ කියනවා.

"ඇසූ පිරූ තැන් ඇති
ආර්ය ශ්‍රාවකයාට
කායික වේදනා පමණයි.
මානසික වේදනා නෑ"
කියා කියන අවස්ථාවේදී
ඔහුට සතිය පිටලා තියනවා.
සතර සතිපට්ඨානය සාර්ථකයි.
කායික වේදනාවන්ට උපේක්ෂාවෙන්
මානසික වේදනා නැතුව
ඔහු වෙසෙන ඒ ක්ෂණය, ඒ මොහොත තුළ
සම්මා සතිය, සම්මා සමාධිය
ඔහුට පිහිටලා තියනවා.

සම්මා සතිය වඩන්න වෑයම් කරමින්
මොහොතෙන් මොහොතට, මොහොතෙන් මොහොතට
සතර සතිපට්ඨානය වඩන්නාගේ
ඒ යහපත් වෑයම අසාර්ථක වෙලාවටත්
ඔහු ගුණයෙන් ආර්ය ශ්‍රාවකයෙක්.

නූපන් කුසල් දියුණු කරන්න
ඇති අකුසල් ප්‍රහාණය කරන්න
ඔහු දරන වෑයම පවා
සම්මා වායාමයක් නිසා
ඔහු ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා.

බුදු දහමට අනුව
ශීල සමාධි ප්‍රඥා වඩන
කුඩා දරුවා පවා ආර්ය ශ්‍රාවකයෙක්.
ඔහු ශ්‍රවණය කරන ආර්ය මාර්ගයේ
හාවෙක් වගේ හරි, ඉබ්බෙක් වගේ හරි
ගමන් කරන ඕනෑම කෙනෙක්
ආර්ය ශ්‍රාවකයෙක්.