මගේ ක්‍රමය සරලයි.
අපි පළමුවෙන් බලමු ඒ ක්‍රමය කරන්න
ඔබට ශක්තිය තියනවාද කියලා.
ඔබේ අතක්
උරහිස මට්ටමට ඔසවා ගන්න.
අත ඔසවාගෙනම ඉතුරු ටික කියවන්න.
නැත්නම් මේ කියවීමෙන් ප්‍රයෝජනයක් නෑ.
අත ඔසවාගෙනම කියවීම නිසා
මම කියන දේ ඔබට ඔබ තුළම
විඳ පසක් කරන්න ලැබෙනවා.
ඔබේ අත උරහිස මට්ටමට ඔසවා ගන්න.
ඔබට ඒ අත බරට දැනේවි.
සුලු වෙලාවක් ඇතුළත
ඒ අතේ ඔබට අප්‍රිය වේදනා ඇති වේවි.
ඒ වේදනා නිසා අත පහත දාන්නට
ඔබ තුළ තණ්හාවක් ඇති වේවි.
වේදනා පච්චයා තණ්හා.
ඊළඟට ඔබ තුළ ඇති වෙන්නෙ
තණ්හාව නිසා ඇති වෙන උපාදානය.
ඔබට අත පහත දාන්න එන
උවමනාව
නැවත නැවත අල්ලා ගන්න
ඔබ පෙළඹෙනවා.
මේ උපාදානය නිසා ඔබ දුක් විඳිනවා.
මේ අප්‍රිය වේදනාවෙන් - දුක්ඛ වේදනාවෙන්
ගැලවෙන්න විකල්ප තුනක් තියනවා.
1, අත පහත දැමීම.
2, වේදනා නාශකයක් ගැනීම.
3, වෙනත් අරමුණකට සිත යොමු කිරීම.
පළමු ක්‍රම දෙක භෞතිකයි. කායිකයි.
තුන් වැන්න මානසික ක්‍රමය.
සමථයෙදි භාවිතා වෙන්නෙ තුන්වැන්න.
විපස්සනා ක්‍රමය හතර වැන්නයි.
මම පුහුණු වෙන්නෙ ඒ ක්‍රමයයි.
මමත් කවදාක හෝ රහත් වෙන තුරුම
උපදින මතු භවයන්හිත් හමු වුණොත්
පුහුණු වෙමින් යන කෙනෙක්.
ඒ නිසා මටත් මේ විදියට
අත ඔසවා ගෙන ඉන්න හැකි වෙලාව සීමිතයි.
ඒ සීමාව සාමාන්‍ය කෙනෙකුට වඩා
බොහෝ වැඩි ඇති කියා මම හිතනවා.
සමහර විට පැය භාගයක්වත් හැකි වෙයි.
ඔබ ඉදිරිපත් වෙනවා නම් අපි සොයා බලමු.
විපස්සනා ක්‍රමය තුළදි
අප්‍රිය වේදනාවට ද්වේශ කිරීමක් හෝ
ප්‍රිය වේදනාවට ලෝභ කිරීමක් නෑ.
උපාදානයක් නෑ.
නච කිඤ්චි ලොකෙ උපාදියති.
ඒ වෙනුවට
වේදනාව ගැන
( යාව දේව ) නොකඩවා සිහියෙන් වෙසෙනවා.
( ඤාණමත්තාය ) දැනෙන ප්‍රමානයට
වේදනා ගැන සිහියෙන් වෙසෙනවා.
( පටි සතිමත්තාය ) සිහිය නැවත නැවත
පිහිටුවා ගත හැකි මාත්‍රයෙන්
වේදනා ඇති වෙන හැටි වෙනස් වෙන හැටි ගැන
අතේ අනිත්‍යය ගැන සිහියෙන් වෙසෙනවා.
මේ විදියට ඉන්න හිත පුහුණු වුනාම
වැඩි වෙලාවක් ඉන්න පුලුවන්.
මේ පුහුණුව අපි අපි ගැන
මේ මොහොතෙ කරන පරීක්ෂණයක්.
දහම තේරුම් ගන්න තියන
එකම ක්‍රමය විඳ පසක් කිරීමයි.
ජීවිතේ හැම අප්‍රිය වේදනාවකදිම
ඒ වේදනාවට මුහුණ දීලා දුක් නොවිඳ ඉන්න
මා තුළ තියෙන්නෙ ඔය ශක්තිය තමයි.
ෆේස්බුක් එකේදිත් කැලඹෙන්නෙ නැතුව ඉන්නෙ
වේදනාවලින් කම්පා නොවීමට
මේ තුලින් ඇති කරගත් ශක්තියෙන්.
ඒ ශක්තිය වැඩි කරගන්නට
හැකි හැම දෙයක්ම ඉදිරියටත් කරනවා.
කාන්දම් කැබැල්ලකට ඔසවන්න හැකි
යකඩ ඇණ ප්‍රමාණයක් තියනවා.
ඔසවන යකඩ ඇණ ප්‍රමාණය
තව තවත් වැඩි කර ගන්න නම්
කාන්දමේ තියන චුම්භක ශක්තිය
තව වැඩි කරගන්න ඕන.
විපස්සනාවලින් කරන්නෙ
මේ වගේ ඇති වෙන දුක් "නොවිඳ ඉන්න"
සිත පුහුණු කර ගනීමයි.
දුකක් ඇති වුනාම රාගයෙන් ද්වේශයෙන්
අවුල් නොවී කම්පා නොවී ඉන්නට
සිත පුහුණු කර ගැනීමයි.
ඒ සඳහා පැමිණෙන හැම දුකක්ම
භාවිතා කරන්න පුලුවන්.
වේදනා පච්චයා පඤ්ඤා.
කායික වේදනා වලදි ඇති වෙන
මානසික වේදනාවයි දුකට හේතු වෙන්නෙ.
අත ඔසවාගෙන ඉන්න නිසා ඇති වෙන
අප්‍රිය වේදනාවට මානසිකව ඇති වෙන
ද්වේශය තමයි කාටත් තියන දුක.
ඒ දුක කායිකව වින්දොත් මානසිකව දුකක් නෑ.
එක උලයි.. උල් දෙකක් ඇනෙන්නෙ නෑ.
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .
අපි උදේ ඉඳලා රෑ වෙන තුරුම
තණ්හාව ඇති කරගන්නෙ වේදනා නිසා.
වේදනා වලට රාග ද්වේශ ඇති වෙන නිසා.
වේදනා වලට රාගයෙන් හෝ ද්වේශයෙන්
ප්‍රතිචාර දැක්විය යුතු නෑ.
ඔබ තවම අත ඔසවාගෙනද ඉන්නෙ?
අත පහත දාලා නම්
නැවතත් ටික වෙලාවකට ඔසවා ගන්න.
තව වැදගත් කරුණු
කිහිපයක් කියන්න තියනවා.
අතේ දුක්ඛ වේදනාව නිසා ඔබ තුළ
මේ වෙලාවෙ උපදින්නෙ ද්වේශයක්.
අත පහළ දාන්නට රාගයකුත් තියනවා.
මෝහය තියෙන්නෙ කුමක් ගැනද?
මෝහය තියෙන්නෙ කයේ අනික් ප්‍රදේශ ගැනයි.
මේ ද්වේශය සහ රාගය නිසා
ඔබට කයේ අනික් ප්‍රදේශ දැනෙන්නෙ නෑ..
ඔබ කය පිලිබඳව සිටියෙ මෝහයෙන්.
මේ ඔසවාගෙන ඉන්න අත ගැන සිහියෙන්
ඒ අත සමග ඔබේ නිදහස් අත
සංසන්දනය කරල බලන්න.
නිදහස් අත ගැන ඔබට මෙතෙක් තිබුණෙ මෝහය.
නිදහස් අතේ තියෙන්නෙ අදුක්ඛමාසුඛ වේදනා.
මේ අප්‍රිය වේදනාවට සාපේක්ෂව
ඒ අදුක්ඛමාසුඛ වේදනාවත්
ඔබට සුඛ වේදනාවක්.
අත් දෙකම එකට දකින්න පුලුවනි නම්
ඔබේ අප්‍රිය වේදනාවට තියන
ද්වේශය දැනට වඩා ටිකක් අඩුයි.
සබ්බ කාය පටි සංවේදී...
ඔසවාගෙන ඉන්න අතේ අප්‍රිය වේදනා සමග
ඔබට මුලු කයමත් සිහියෙන් දකින්න හැකි නම්
ඔසවා ගත් අත ගැන ද්වේශය තවත් අඩු වෙයි.
ඔසවාගෙන ඉන්න අතත්, මුළු කයත් සමග
ඔබේ ආශ්වාසය ආශ්වාසය විදියටත්
ප්‍රශ්වාසය ප්‍රශ්වාසය විදියටත්
වෙන වෙනම දකින්න ඔබට පුලුවනි නම්
ඔසවාගත් අතේ අප්‍රිය වේදනාවට
ඔබ තුල පහල වෙන ද්වේශය ඉතා අවමයි.
මේ ක්‍රමය මම මේ කිව්වෙ ඉතාම සරලව.
මෙතන තර්ක මොකුත් නෑ.
කැමති කෙනෙකුට අත උරහිස මට්ටමට
ඔසවාගෙන ඉන්න ගමන් කියෙව්වොත්
එවෙලෙම විඳ පසක් කරන්න පුලුවන්.
මේ අත්දැකීමට ඒ විදියට මුහුණ දෙන්න
මගේ කුඩා දරුවන්ට පවා පුලුවන්.
වැඩිහිටියන්ට ටිකක් අපහසු වෙයි.
=============================================
අත ඔසවාගෙන ඉන්න වෙලාවට
ඔබට තියෙන්නෙ
කායික වේදනාව පමණ නම්
මානසික වේදනා නැත්නම්
සල්ල සූත්‍රයට අනුව
ඔබ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක්.
වේදනා පච්චයා තණ්හා.
තණ්හා පච්චයා උපාදාන.
මේ රටාවෙන් මිදෙන්න තියන
ආසන්නම පහසුම විසඳුම
සතර සතිපට්ඨානයයි...
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට
කායික වේදනා නිසා
මානසික වේදනා ඇති වෙන්නෙ නෑ...
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .
සල්ල සූත්‍රය
මහණෙනි,
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?
මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .
20201224
විපස්සනා හැඳින්වීමක් -සරල අත්දැකීමක් ඇසුරෙන්.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment