20170802

රහත් වුණත්, භික්ෂුවක් නම් විනය රැකිය යුතුයි.


බුදුන් වහන්සේට අනුව,
නිවන් දකින්නට කටයුතු කරන
උපසම්පදා භික්ෂුවකට
අද ඉපදුන ළදැරියකවත්
ඇඟිලි තුඩින් හෝ ස්පර්ශ කිරීම ඇවැතක්.

උපසම්පදා භික්ෂුවක්
ස්ත්‍රීන් දෙස හැරී බැලීමත් ඇවැතක්...

අවශ්‍යතාවයකින් තොරව
ගහක අත්තක් කැඩුවත් ඇවැතක්.

විනය රකින්න බැරි නම්
සිවුරෙ ඉන්න බල කිරීමක් නෑ.
එක වාක්‍යයක් කියලා
සිවුර ගහක අත්තක එල්ලලා
ගිහියෙක් වෙන්න පුලුවන්.

දුස්සීල භික්ෂුවක් විදියට
අග්නි ජාලාවක් වැළඳගන්නවාට වඩ
ගිහියෙක් වීම නිසා නිවන ළං වෙන්න පුලුවන්.

රහත් වුණ කෙනෙකුගෙ
සිත සියයට සියයක් පිරිසිදුයි.
රාග බෑ, ද්වේශ නෑ, මෝහ නෑ.
පාපයක් කොහොමවත් වෙන්නෙ නෑ.
ඒත් භික්ෂුවක් නිසා විනය රැකිය යුතුයි.

රහත් වෙලා හිටියත් විනය රැකිය යුතුයි.

"මම රහත් වුණ කෙනෙක්.
මගේ හිත පිරිසිදුයි
චේතනාවයි කර්මය" කියල
විනය කඩපු රහත් කෙනෙකුට
ඉන් මිදෙන්න අවශ්‍ය විනය කර්ම
සාමාන්‍ය භික්ෂුවක් මෙන් නොකර
ඒ ඇවැතෙන් මිදෙන්න බෑ.

විනයෙදි ක්‍රියාවයි වැරදි..

කර්මයෙදි චේතනාව බැලුවට
විනයෙදි ක්‍රියාවයි බලන්නෙ.

හිත පිරිසිදුයි කියල
ඕන කෙනෙකුට තමන් රවටා ගන්න පුලුවන්.
තමන් රහත් කියල රැවටිලා ඉන්න භික්ෂූන්
අදත් ලංකාවෙ තැන තැන ඉන්නවා.
ඔවුන් විනය ගැන තැකීමක් නැත්නම්
ඔවුන් රහත් නැති බවට ප්‍රධාන සලකුණක් ඒ.

රහත් වුණ කෙනෙකුට විනය රැකීම පහසුයි.
ඔහුට සම්පජානෝ සතිය උපරිමයි.

තමන් තුළ ඇති වෙන සියලු වෙදනා
ඇතිවෙන හැටි, පවතින හැටි, නැතිවෙන හැටි
පැය විසිහතරම දකින්න ඔහුට පුලුවන්.
ඒ ආකාරයටම සංඥා සහ විතර්කත්
ඇතිවෙන හැටි, පවතින හැටි, නැතිවෙන හැටි
පැය විසිහතරම දකින්න ඔහුට පුලුවන්.
ඔහුට විනය රැකීම සාමාන්‍ය දෙයක්

කෙනෙක් රහත් වෙලා නැත්නම්
සාමාන්‍ය සිල්වතෙකුට වුණත්
ඔහු රහත් නෑ කියා දැන ගන්න පුලුවන්.

රහත් වුණ කෙනෙක්
රහත් වෙලාද කියා බලන්න නම්
බුදුන් වහන්සේම ඉන්න ඕන.
වෙන කිසිවෙකුට කියන්න බෑ.

බොරු රහතන් වහන්සේලා
තැන තැන හතු පිපෙන්නෙ මේ නිසයි.

"මම රහත් වුණ කෙනෙක්.
මගේ හිත පිරිසිදුයි" කිව්වාම
තව කෙනෙක් ඒ හිත බලන්නෙ කොහොමද?

"හිත පිරිසිදු නිසා විනය රකින්න ඕන නෑ"
කියල බුදුන් වහන්සේ කිව්වා නම්
හිත අපිරිසිදු අයත් "මම රහත්" කියල
විනය බිඳින්න පටන් ගන්නවා.
එහෙම වුණා නම් සසුන මෙතෙක් කල්වත්
පවතින්නෙ නෑ.

ඒ නිසා විනය රැකීම
රහත් වුණත් අවශ්‍යයි.

විනය නීතිය වගෙයි.
පුද්ගල්යාට වඩා සමාජයට අදාළයි.

පිළිවෙත පුද්ගලිකයි.
.
කෙනෙක් පිළිවෙත රැකීම හෝ බිඳීම
ඔහුගේ පුද්ගලික වැඩක්.
විදසුන් රකින කෙනෙකුගෙ විදසුන බිඳුණාට
ඔහු බුදුන් වහන්සේටවත් වගකිව යුතු නෑ.

විනය සමාජයිකයි.
ඉතාම කුඩා විනයට පවා
භික්ෂුව වග කිව යුතුයි.

ශීලයක් බිඳුණොත්
තනිවම සමාදන් වෙන්න පුලුවන්.

විනය බිඳීමක් නිසා ඇති වෙන
ඇවැතකින් මිදෙන්න තනිවම බැහැ.
ඇවැතකින් මිදෙන්න තව භික්ෂුවක් අවශ්‍යයි.

රහත් වෙලා හිටියත් විනය රැකිය යුතුයි.

මගේ "හිත පිරිසිදුයි" කියලා
විනය බිඳීමකින් මිදෙන්න
රහත් වුණ කෙනෙකුටවත් බෑ.

විනය කියන්නෙ
භික්ෂුවට අදාළ දෙයක් නොවෙයි.
භික්ෂු සමාජයටම අදාළ දෙයක්.

1 comment:

  1. ඉතා හොඳ අදහසක්, අද කාලයේ කථිකාවතක් බවට පත් විය යුතු මාතෘකාවක්.

    සිවුර දරාගෙන විනය නොතකා කටයුතු කරන භික්ෂු වේශධාරීන්ගේ හැසිරීම නිසා භික්ෂූන් යනු විනයක් නැති විනය නොතකන පිසක් ලෙස සමාජ හැඳින්වීමක් පවා ඇති වී තිබෙනවා.

    රහතෙකු ගෙන් විනය බිඳීමක් හෝ බිඳුනු විනය නොතකා හැරීමක් වැනි වූ පෘතග්ජන හැසීරීමක් බලාපොරොත්තු වෙන්න බැහැ.
    විනය යනු හික්මීම. ලෝභ ද්වේශ මූහ හල පුද්ගලයෙකුගේ හික්මීම ගැන විමසන්නේ මොකටද.

    ReplyDelete