20170726

දළදා මැදුරේ ඇට කැබැල්ල, ප්‍රේමචන්ද්‍ර සහ ඉලංචේලියන්


කන්න නැතුව ලමයි බඩගින්නේ ඉද්දි දතකට හාල් කිලෝ 32 ක් එලවලු 32 ක් දෙන හරි අපුරු රටක් බං මෙක
- Indika Rathnayake -


ඔබේ දත
මට ඇට කෑල්ලක් විතරයි..Indika,
බුදුන් වහන්සේගේ දළදාව වෙනම කරුණක්.

සරත් ප්‍රේමචන්ද්‍ර ඔබට පොලිස් කාරයෙක්.
ඉලංචේලියන්ට සරත් ප්‍රේමචන්ද්‍ර කියන්නෙ
"කඳුළත් විශ්වාසයත් ඉතිරිකර ගිය
ඤාතියෙක්."
ඔබ නොදකින වටිනා දෙයක්
ඉලංචේලියන් සරත් තුළ දැක්කා.
ඉලංචේලියන්  විඳ පසක් කළා.

හැඟීම් වලට සංවේදී නැති
මිනිස් කමට සංවේදී නැති
බොහෝ දෙනෙකුට ඔවුන් දෙදෙනාම
පණ ඇති මිනිස් කඳන් දෙකක් විතරයි.

මිනිස්සු වටිනා කම් මනින්නේ
කෙනෙක් හෝ දෙයක වටිනා කම
තමන්ට අදාළ වෙන ප්‍රමාණයටයි.

ඔබේ දත මට ඇට කෑල්ලක් විතරයි..
හිස් බස් දොඩවන පුහුදුන් නිරාගමිකයෙකු
ආහාර සපා කන්නට භාවිතා කරන
නිකන්ම නිකං ඇට කෑල්ලක් විතරයි.
මට ආහාර ගන්නවත්
ඔබේ දතෙන් ප්‍රයෝජනයක් නෑ.

තවත් කෙනෙකුගේ දෙයක්
ඔහුට අහිමි කරන්නට
ඔබ දොඩවන වදන් වලින්
කුමක් හෝ වෙනසක් වෙනවා නම්
ඔහු තුළ ද්වේශය ඉපදීම හෝ
ඔහුත් ඔබ වැනි නරුමයෙක් වීම පමණයි.
ඔහුට නැති වෙන දේට
ඔබෙන් ලැබෙන දෙයක් නෑ.

බුදුන් වහන්සේගේ දළදාව කියන්නේ
දෙදහස් හයසිය වසරක් තිස්සේ
කෝටි ගාණක් ජනතා දුක නිවූ
මහා පුරුෂයෙකුගේ ජීවිතය
80 වසරක් තිස්සේ රැක ගන්නට
උපකාරී වූ ඇට කැබැල්ලක්.

දළදා මැදුරෙහි
දළදා වහන්සේ ඇතත් නැතත්
මිනිසුන් ලක්ෂ ගණනාවක් ඒ විශ්වාසයෙන්
දළදා වහන්සේ වන්දනාමාන කරාවි.
මාත් ඔවුන්ට එක් වෙනවා.

මේ ජීවිතයේ මා විඳි මානසික වේදනාවන්
කායික වේදනා ලෙස දකින්න මම ඉගෙන ගත්තෙ
බුදුන් වහන්සේ දේශනා කළ බුදු දහමෙන්.

මා අවට සිටින සියල්ලෝම
කායික වේදනා, මානසික වේදනා
දෙකකින් දුක් විඳින අතරෙ
මම කායික වේදනා විතරක් විඳිනවා.
මට මානසික වේදනාවත් කායිකව දකින්න
බුදුන් වහන්සේ මග පෙන්නුවා.

ඒ වේදනාවලට සිහියෙන්
ලෝභ ද්වේශ දෙකෙන් තොරව විසීම නිසා
කායික වේදනාත් මට දුකක් නොවෙයි.

මගේ දුක නිවූ බුදුන් වහන්සේගෙන්
ඉතිරිවී ඇති ජීවමාන දෙයක්
දළදා මැදුර තුළ ඇත්නම්
මා දන්නා සියලුම පණ ඇති මිනිසුන්ට වඩා
මට ඒ ජීවමාන ඇට කැබැල්ල වටිනවා.

විපස්සනා මගින් නිවා ගන්නා ආකාරයට
මා නිවා ගත් දුක් දොම්නස් සහ සෝ තැවුල්
කායිකව දැක නිවාගන්නට මට උපකාර වන්නට
බුදුන් වහන්සේ නොසිටියා නම්
මෙලොව සිටින සියලුම පණ ඇති මිනිසුන්
එකට එක්වී ක්‍රියා කළත් පුළුවන් වෙන්නෙ නෑ.

ඔබට තේරුම් ගත නොහැකි
ඔබට මිල කළ නොහැකි
ඒ ඇට කෑල්ලට මා කියන්නේ
දළදා වහන්සේ කියායි.

දළදා වහන්සේ කියන්නේ
මගේ ජීවිතයෙ දුක නිවන්නට
සසර පුරා දුක් විඳි බුදුන් වහන්සේගේ
ජීවමාන කොටසක්.

ඉන් මට ලැබෙන දෙයක් නැතත්
බුදුන් වහන්සේගෙන් ලැබුණ දේ නිසා
දළදා වහන්සේත් මට ඤාතියෙක්.

1 comment:

  1. සරත් ප්‍රේමචන්ද්‍රගෙ මරණයෙදි
    ඔහුගෙ පුද්ගලික හැඟීම් වලට ඉඩ දීමෙන්
    අපේ රටේ ජාතීන් අතර සංහිඳියාවට
    කිසිම විශේෂ මවාපෑමක් රංගනයක් නැතුව
    මිනිස් සිත් සතන් වෙනස් කරමින් කළ සේවය
    අපේ රටේ කිසිම දේශපාලන නායකයෙකුට
    කරන්න නොහැකිවීම ඛේදවාචකයක්.

    එවැනි මිනිස්කම් යමතමින් හෝ තිබුණ
    යහපත් කම පිහිටපු දේශපාලනඥයන්
    නරුම දේශපාලනඥයන්ගේ ගමනට
    මහා නුග රුක් බෝ රුක් මෙන් කපා හෙලනු
    අපි දැක තියනවා.

    ඉලංචේලියන්ගෙ දේවත්වය දකින්න නම්
    ඔහු මිනිසෙක් වීමෙන් දෙමළ ජාතියට කළ සේවය,
    ඥාණසාර වැනි ජාතිවාදී ජාතියේ හතුරන්
    අපේ ජාතිය ම්ලේච්ඡ ජාතියක් බවට
    ලෝකයා ඉදිරියේ පත් කරන
    නින්දා සහගත තත්වයත් සමග
    සසඳා බලන්න අවශ්‍යයි.

    සැබෑ නොමිනිස් කමට ජාතියක් ජන්මයක් නෑ.
    හිට්ලර් ජර්මානුන්ට අයිති වස්තුවක් නොවෙයි.

    හිට්ලර් වර්ගවාදයේ මානසික රෝගයෙන් පෙළෙන
    සමස්ත මිනිස් වර්ගයාගේ පහත්ම ස්ථරයට අයත්
    විශ්ව සාධාරණ පුද්ගලයෙක්.

    ඉලංචේලියන් වගේ මිනිස්සු එහෙම නෑ.
    ඔහු සියලු ජාතීන්ටම අයිති නෑ.
    ඔහු ශ්‍රීලාංකිකයෙක් කියන්නවත් බෑ.
    ඔහු දමිළ අනන්‍යතාවයෙන් යුතු මිනිහෙක්.
    දමිල ජාතියට අයත්
    කලාතුරකින් හමුවෙන මිනිහෙක්.
    ඔහු අපට අයිති නෑ.

    ඔහුට නෑ කම් කියන්න තරම් මිනිස් කමක්
    සිංහල ජාතියේ අපි තුළ නෑ.

    ඔහු ළඟ තියන මිනිස් කම අපේ සිංහලයෙක් ළඟ
    අංශුමාත්‍රයක් හෝ මම දැක්කා නම්
    ඒ ප්‍රේමකීර්ති ළඟ විතරයි.

    ReplyDelete