20170616

Killfie - දුම්රිය පාරේ සෙල්ෆි මරුවා හඳුනාගන්න.

ලංකාවේ දුම්රිය මාර්ග වල 2017 දී
සෙල්ෆි මරුවාට බිලි වූ සංඛ්‍යාව 24ක්.

සෙල්ෆි ඡායාරූප ගැනීම,
ඒ ඡායාරූප සමාජ ජාලවලට ඉක්මණින් මුදා හරිමින්
Like අස්වනු වලින් අටුකොටු පුරවා ගැනීම
අද ඉතා ජනප්‍රිය විනෝදාංශයක්.

ලෝකය පුරා වේගයෙන් පැතිරෙන
සෙල්ෆි වසංගතය අප අතරත් පැතිරෙමින් පවතිනවා.
සෙල්ෆි ගන්නට අනතුරුදායක තැන් වලට ගිය
ජීවිත විශාල සංඛ්‍යාවක් නැතිවෙලා.
තවත් නැති වෙමින් පවතිනවා..
සෙල්ෆි නිසා සිදුවෙන මරණ අතරෙන්
දුම්රිය පාරේ සෙල්ෆි ගැනීමට යද්දි මියගිය අයත්
වෙනත් ආකාරයේ ඡායාරූප ගැනීමට ගොස් මිය ගිය අයත්
වසරකට සිය ගණන්වලින් සටහන් වෙනවා.
එක වසරක එසේ වාර්තා වූ මරණ 127කින්
76ක්ම ඉන්දීය ජාතිකයන්.
ලංකාවත්
ඒ කැයිස්තුවට ඇතුල් වෙන්නෙ
සුදුසුකම් ලබමින් ඉන්නවා.
කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී
සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය
එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු
දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වූ අතර
වයස 14ක් වූ බාල සොයුරාගේ හිස
හමු වී තිබුණේ ගම්පහ දුම්රිය පොළෙන්.
"චූටි පුතා ෆෝන් එකේ පින්තූර බල බලා රේල් පාර මැද හිටියේ.
අපි දැනගෙන හිටියේ නෑ එතන මාරක ක‍පොල්ලක් කියලා.
චූටි  පුතා දුම්රිය එනවා දැකලා
එහා පැත්තට පැනල
ආයෙත් මේ පැත්තට පැන්නා.
ලොකු පුතා මල්ලි රේල් පාර මැද ඉන්නවා දැකලා
එයාව බේරා ගන්න රේල් පාර මැදට පනිනවාත් එක්කම
පුතාල දෙන්නාම කෝච්චියට හැප්පුනා.
දෙන්නම කෝච්චියට යටවුණා.
චූටි පුතාගේ ඔළුවවත් තිබුණේ නෑ.
ලොකු පුතාගේ කකුල් දෙක
රේල් පාර පැත්තට වැටිලා තිබුණේ.
ඔළුව තිබුණේ මහපාර පැත්තට.
එයාගේ නළ‍ලේ තුවාල තිබුණා.
එයාගේ කකුලක් කැඩිලා තිබුණා.
එයාට සිහිය තිබුණේ නෑ.
එයාගේ ඇඟ අල්ලලා බලද්දී රස්නය තිබුණා.
අපි කිව්වා ඉස්පිරිතාලෙට ගෙනියමු කියලා.
මිනිස්සු වටවෙලා ‍පොටෝ ගනිමින් හිටියත්
එයාව රෝහලට ගෙනියන්න උනන්දුවක් දැක්වූවේ නෑ.
අපිට අපේ දරුවෝ දෙන්නා නැතිවුණා."

 කහව දුම්රිය ස්ථානය ආසන්නයේදීත් යුවලක්
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස්
සැමියා සහ බිරිඳ දුම්රියේ ගැටී තරුණයා මිය ගියා.

වසරේ ගතවූ මාස හයක කාලය තුළ පමණක්
දුම්රිය සෙල්ෆි ඡායාරූපය ගැනීමෙන් සහ
ජංගම දුරකථන පරිහරණය කරමින්
දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී
දුම්රියේ ගැටී පුද්ගලයින් 20 දෙනෙකුට වඩා
ජීවිතක්ෂයට පත්ව ඇති බව
දුම්රිය ආරක්ෂක අධිකාරිවරයා සඳහන් කළා.

දුම්රිය පාරේ සෙල්ෆි ගැනීමේදී
පහසුවෙන් අනතුරක් වීමේ හැකියාව
සෙල්ෆි කැමරාවේ කාචය නිසා වැඩි වෙනවා.

සෙල්ෆි කැමරාවෙන් ඡයාරූප ගනිද්දි
අපට පිටුපසින් ඇති දෙයක්
අපට පෙනෙන දුරට වඩා අඩු දුරකින්
කැමරාවෙන් පෙනෙනවාට වඩා
අපි ඉන්න තැනට සමීපව පැවතීම
සෙල්ෆි කැමරා කාචයෙ සාමාන්‍ය ස්වභාවයක්.
කුඩා පැතලි කමරාවකට
අනිවාර්ය වන මේ ස්වභාවය හඳුනා ගැනීම
දුම්රිය පාරේ සෙල්ෆි ගැනීමෙන් වළකින්නටත්
අන් අය වළක්වා ගන්නටත් හේතු වෙයි.

කැමරා කාච වර්ග තුනක් තියනවා.
අනෙක් කැමරා කාච වර්ග දෙකටත් සාපේක්ෂව
සෙල්ෆි කැමරා කාචය ගැන කෙටි හැඳින්වීමක් කිරීම
ඒ කාචයේ හැසිරීම අවබෝධ කරගැනීමට
වඩාත් ප්‍රයෝජනවත් වේවි.

ඡායාරූපවල ගුණාත්මක බවට
කාච වල වෙනස විවිධාකාරයෙන් බලපාන නමුත්
අපි ඒ සියල්ල මෙහි කතා කරන්නේ නැහැ.
මේ කෙටි හැඳින්වීමේදී අපේ මාතෘකාව
"කාච වෙනස් වන විට
කාච තුළින් අපි දකින  වස්තූන් අතර දුර
කාචයෙන් කාචයට වෙනස් වෙන ආකාරය"
විශේෂයෙන් සලකා බැලීමයි.

දුම්රිය මාර්ගයක
සෙල්ෆි ඡායාරූප ගන්නා කෙනෙකු
නොමග යවන්නට හැකියාවක්
සෙල්ෆි කැමරාවේ කාච වර්ගය සතුව ඇති බව
පැහැදිළි කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

සෙල්ෆි ඡායාරූප නොගන්නා කෙනෙකු වුණත්
දුම්රිය මාර්ගයක ගමන් කිරීම පවා
මාරාන්තික අවදානමක් බව
අපි විශේෂයෙන් කිව යුතු නෑ.
සෙල්ෆි කැමරාවේ කාච වර්ගය ක්‍රියා කරන විදිය නිසා
ඒ අවදානම දෙගුණ වන බව පැහැදිලි කිරීම මෙහි අරමුණයි.

ඡායාරූප ශිල්පී ක්ෂේත්‍රයේ අයට
මේ තොරතුරු අලුත් නෑ.
නුහුරු කෙනෙකුට වටහා ගැනීමෙදි
රූප සටහන් සහාය වෙයි.

කැමරාවකින් ඡායාරූප ගැනීමේදී
ප්‍රධාන වශයෙන් වර්ග තුනක කාච භාවිතා වෙනවා.
------------------------------------------------------
කැමරා කාච වෙනස් වෙන්නේ
ඒ කාච වල නාභි දුර අනුවයි.
නාභි දුර සමග කැමරාවේ සංවේදකය මතට
රූපය ලබාගන්නා කෝණය වෙනස් වෙනවා.

අපේ ඇසේ කාචය අවස්ථානුකූලව වෙනස් වෙනවා.
කැමරාවේ කාචය හෝ කාච කට්ටලය
විශේෂ කෝණ පරාසයක පවතිනවා.
අවස්ථානුකූලව ගලවා මාරු කළ යුතු වෙනවා.


සෙල්ෆි ගන්නා මොබයිල් ෆෝන් කැමරාවල
ස්ථාවර්ව සවි කළ කාච භාවිතා වෙනවා.


සාමාන්‍ය කාච - Normal Lense
ටෙලිෆොටෝ කාච - Telephoto Lense
පුළුල්කෝණික කාච - Wide Angle Lense


මේ ඡායාරූප ගැනීමෙදි
කාන්තාවත් ඡායාරූප ශිල්පියාත් අතර
දුර නොවෙනස්ව පවතිනවා.
මේ ඡායාරූප වල වෙනස්කම් වලට හේතුව
කැමරාවේ කාච මාරු කිරීමයි.
කාන්තාවත් ගොඩනැගිල්ලත් අතර දුර
නිවැරදිව සටහන් වෙන්නෙ මැද රූපයෙයි.
------------------------------------------------------

සාමාන්‍ය කාච
Normal Lense
අංශක 60ක කෝණයක් සහිත කාච.

මේ කාචයේ නාභි දුර
අපේ ඇසේ නාභි දුරට සමාන නිසා
ඡායාරූපයේ වස්තූන් අතර දුර
අපේ ඇසට පෙනෙන දුරට සමාන ආකාරයෙන්
දකින්න අපට පුලුවන්.

මේ පිළිබඳව වැඩි විස්තරයක් අවශ්‍ය නැහැ.
------------------------------------------------------
ටෙලිෆොටෝ කාච
Telephoto Lense
අංශක 60ට අඩු කෝණයක් සහිත කාච.
ඡායාරූපයේ වස්තූන් අතර දුර
අපේ ඇසට පෙනෙන දුරට වඩා බෙහෙවින්
අඩු වී පෙනෙනවා.
දුරේක්ෂයකින් දුර බැලූ කෙනෙකුට
මේ අත්දැකීම තියනවා.

අප ඉන්න තැන ඉඳලා
මීටර් දෙතුන් සියයක් ඈතින් ඉන්න කෙනෙක් වුණත්
අපට පෙනෙන්නෙ අපට මීටර් කිහිපයක තරම්
ළඟින් ඉන්නවා වගෙයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යවන්නෙකුත්
පන්දුවට පහර දෙන්නාත් අතර දුර ප්‍රමාණය
හැම කෙනෙකුටම අවබෝධයක් තියනවා.
ඒත් මේ රූපයෙන් අපට පෙනෙන්නෙ
අපි සාමාන්‍යයෙන් දන්න දුර නොවෙයි.
මෙහි පන්දු යවන්නාත් පහර දෙන්නාත් අතර
අඩි කිහිපයක පමණ පරතරයක් ඇතුවාක් මෙන්
ඔබට පෙනෙනවා.
මේ දුර අසත්‍යයක්.

 සාමාන්‍ය කාචයක සහ ටෙලිෆොටෝ කාචයක වෙනස
ඒත් අපේ මොළය තර්ක කරලා
දුර නිවැරදි කරගෙන තරඟය බල්නවා.
නරඹන්නන් අතර හෝ හතරේ සීමාව අසල
ඉතාම දිග කාච සමග කැමරා අටවාගෙන සිටින
ක්‍රීඩා ඡායාරූප ශිල්පීන් ගන්නා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඡායාරූප
ඔවුන් අසලම සිටගෙන ගත් ඡායාරූප මෙන්
අපට දිස්වන්නේ ටෙලිෆොටෝ කාචවල
මේ විශේෂත්වය නිසයි.

ටෙලිපොටෝ කාචය හරහා
පන්දුවට පහර දෙන්නාත් පන්දු එවන්නාත් අතර
අපට පෙනෙන පරතරය
සැබෑ ප්‍රමාණයට වඩා දුර අඩු වීමක්
ඉතාම පැහැදිලිව පෙන්වනවා.
දුර ඉන්න කෙනෙක් කෙනෙක්
ඒ කාචයෙන් අපිට පෙනෙන්නෙ
අපට ඉතා සමීපව ඉන්නවා වගෙයි.
ඒ වගේම ඔහු පිටුපසින් තවත් අය සිටියොත්
ඒ අයත් ඔහුට සමීප වී පෙනෙනවා.

පන්දුව රකින්නාත් පන්දු යවන්නාත් අතර
සාමාන්‍ය පරතරය අඩු වෙලා පෙනෙද්දි
ඈත කෙළවරේ හතරෙ සීමාවේ නරඹන්නාත්
සමීප වී පෙනෙනවා.
සෙල්ෆි කැමරාවේ
පුළුල්කෝණික කාචයේ භාවිතා වන්නේ
ටෙලිපොටෝ කාචයට
හැම අතින්ම විරුද්ධ පැත්තයි.
දුරේක්ෂයකින් ඇස තියන පැත්තට
විරුද්ධ පැත්තෙන් බලන කෙනෙකුට
මේ අත්දැකීම විඳින්න පුලුවන්.
------------------------------------------------------
 පුළුල්කෝණික කාච
Wide Angle Lense
අපේ මාතෘකාව වන
සෙල්ෆි ඡායාරූප ගැනීමෙදී
නාභි දුර අංශක 60ට වැඩි කෝණයක් සහිත
පුළුල්කෝණික කාච භාවිතා වෙනවා.
ඉතා සමීප දුරක සිට
විශාල ප්‍රදේශයක් සටහන් කරගන්නට
සෙල්ෆි ගැනීමේදී අවශ්‍ය වෙන නිසා
සෙල්ෆි කැමරාවල මේ කාච අඩංගු වෙනවා.
මේ කාච වල නාභි දුර ඉතා අඩුයි.


සාමාන්‍ය කාචයක සහ පුළුල් කෝණික කාචයක වෙනස
මේ කාච හරහා
ඡායාරූපයේ වස්තූන් අතර දුර
අපේ ඇසට පෙනෙන දුරට වඩා බෙහෙවින්
වැඩි වී පෙනෙනවා.
අප ඉන්න තැන ඉඳලා
අපට ඉතා ළඟින් මීටර් කිහිපයක සීමාවෙ ඉන්න කෙනෙක්
අපට පෙනෙන්නෙ අපට මීටර් දෙතුන් සියයක් ඈතින්
ඉන්නවා වගෙයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යවන්නෙකුත්
පන්දුවට පහර දෙන්නාත් අතර දුර
සැම කෙනෙකුටම අවබෝධයක් තියනවා.
විකට් කූරෙ තියන කැමරාවෙ ස්වභාවය
සෙල්ෆි කැමරාවට සමානයි.

 
සාමාන්‍ය කාචයක සහ පුළුල් කෝණික කාචයක වෙනස
මේ කාචය හරහාත් අපට පෙනෙන්නේ
පන්දුවට පහර දෙන්නාත් පන්දු එවන්නාත්
අතර පරතරය සැබෑ ප්‍රමාණයට
වඩා දුර වැඩි වීමක්
ඉතාම පැහැදිලිව පෙන්වනවා.

අපට ඉතා සමීපව ඉන්න කෙනෙක් හෝ දෙයක්
ඒ කාචයෙන් අපිට පෙනෙන්නෙ
දුර ඉන්න කෙනෙක් හෝ දෙයක් වගෙයි.
වාහනයක පැති දර්පණය සකස් කර තියෙන්නෙත්
මේ ආකාරයට වැඩි ප්‍රදේශයක්
පොඩි රාමුවක සටහන් කරගන්නයි.
දර්පණයෙ උත්තල බව අනුව
අරමුණ පෙනෙන දුර වෙනස් වෙනවා.
රියදුරෙක් මේ වෙනසට කලක් තිස්සෙ
අනුගත වෙලා ඉන්න නිසා
ඔහු අතින් වැරදි වෙන්න ඉඩහසර අඩුයි.
සෙල්ෆි කැමරා කාචයෙන් ඇතිකරන
විකෘති දැක්ම නිසා
දුම්රිය මාර්ගයෙ ඉඳන් සෙල්ෆියක් ගන්න කෙනෙකුගෙ
ඇසට වැටෙන රූපය සත්‍ය රූපයක් නොවෙයි.
සාමාන්‍ය තැනකදි සෙල්ෆි ගන්න වෙලාවට
මේ විකෘති රූපය අපට ගැටළුවක් වෙන්නෙ නෑ.

ඒත්
පැයට කිලෝමීටර් හැටක හැත්තෑවක පමණ වේගයෙන්
ටොන් ගණනාවක් බර දුම්රියක් අපට සමීප වෙන
මාරාන්තික අවදානමක් පවතින මොහොතක
කැමරාවෙන් පෙනෙන විකෘති රූපය
අපට තදින් බලපානවා.

තත්පරයට මීටර් පහළොවක් පමණ වේගයෙන්
අප වෙතට එන දුම්රියක් මගහැරීම ගැන
තීරණය ගැනීම එක තත්පරයකින් හෝ ප්‍රමාදවීම
ඒ තීරණය ගන්නත් පෙරම
මරු කැඳවන්න හේතු වෙන්න පුලුවන්.

කැමරාවෙන් බලා ගන්න තීරණය
අනිවාර්යයෙන් වැරදි.
ආපහු බලන්න වෙලාවක් අපට ඇත්තෙත් නෑ.
තත්පර දෙකකදි මීටර් 30කින්
දුම්රිය අපට සමීප වෙනවා.

සෙල්ෆි ගන්න කෙනෙක්
කැමරාවෙන් පෙන්වන තමන්ගෙ සහ
අවට ඉන්න හිතවතුන්ගෙ  රූප දකිනවා විනා
පසුබිමෙහි එන දුම්රිය  දකින්නෙත් අඩුවෙන්.

මේ නොසැලකිල්ල සමග
ළඟ ළඟ එන දුම්රිය ඈතින් පෙනීමත්
දෙකම එකතු වුණාම
මරුවාගේ කාරිය පහසු වෙනවා.

සෙල්ෆි කැමරාවෙන් පෙනෙන විකෘති  රූපය නිසා
ජීවිත තුනක් අහිමිවුණ ආකාරය මෑත කාලයේ අපි ඇහුවා.
නැවත එවැන්නක් අහන්නට සිදු නොවේවා.

මරු තුරුළේ කෙළින
මේ මාරාන්තික විනෝදාංශයට සදහටම සමු දී
ජීවිතය රැකගන්න.

ඔබ දෙසට වේගයෙන් එන දුම්රියක් සමග
ඔබ පෙනී සිටින සෙල්ෆියක් ඉතිරි කරමින්
ඔබ සදහටම අපෙන් වෙන්ව ගියොත්
ඔබට ආදරේ කළ ජීවිතවල
ඔබ නැති හිස් තැන
ඔබේ ඒ සුරු විරු සෙල්ෆියෙන්
මැකෙන්නේ නෑ.

























1 comment:

  1. බොහොමත්ම ස්තූතියි අතුල..බොහොම මහන්සි වෙලා ලියපු ඉතා අගනා ලිපියක්...:)

    ReplyDelete