20170625

සයිටම් විරෝධයේ නියමු, ජවිපෙ නායක අනුර කුමාරට සම්මානයක්.


සයිටම් විරෝධයේ නියමු
ජවිපෙ නායක අනුර කුමාරට
අත් හිටවන ලද සම්මානයක්.

ප්‍රිය අනුර සහෝදරය,
ඔබ වරදක් කළෙහිය.
බරපතළ වරදක් කළෙහිය.
නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු තරම්
බරපතල වරදක් කළෙහිය.

ඔබ පෞද්ගලික අධ්‍යාපනයට ඉඳුරාම විරුද්ධ
දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කරන
රටේ හතර වෙනි බලවේගයේ පක්ෂ නායකයාය.

මේ මොහොතේද ඔබ
දරුවාට පෞද්ගලික අධ්‍යාපනය දීමේ අයිතිය
රටේ එක් නිශ්චිත ජන කොටසකට අහිමි කිරීම සඳහා
ඔබ පසුපස එන දරුවන්ගේ මළමිණී මතින් වුව ගමන් කරන්නට
දාමරික ත්‍රස්තවාදයේ මගට බැස සිටින්නෙකි.
ඒ ගමනට ඔවුන් පොළඹවන්නෙකි.

ජුනි 21 වෙනිදා ඔබේ දරුවන්
ඔබේ ප්‍රතිපත්තිය දිනවන්නට
ඔබ ඇතුළු සගයන්ගේ මෙහෙයුමෙන්
රටේ ජනතාව වූ අපේ පරිශ්‍රයකට
සියගණනක් පැමිණ බලෙන් ඇතුළු වී
මිලියන් ගණන් ලෙස තක්සේරු කෙරුණු අලාභ හානි කළහ.
එහි ප්‍රතිඵලයක් ලෙස තුවාල කරගත්
දරු දැරියන්ද වෙති.

පරිශ්‍රයේ ආරක්ෂාවට
අවශ්‍ය පියවර ගන්නට නියෝග ලබා
අලාභ හානි කළවුන් පරිශ්‍රයෙන් පිට කළ
නීත්‍යානුකූල රාජ්‍ය වෘත්තිකයන්ට එරෙහිව
නීති විරෝධී දාමරික ත්‍රස්තවාදීන් වෙනුවෙන්,
ජනතා මුදලින් ඉගෙන ගෙන, ජනතාවගෙන් පඩි ලබන
ඔබේ පාර්ශවයේ ගුණමකු වෘත්තිකයන් පිරිසක්
තම දුප්පත් දෙමාපියන් වැනිවූ අසරණයන්ට
නොයෙක් දුක් වේදනා පමුණුවමින් සිටිති.

මේ සියල්ලම සිදුවන්නේ ඔබේ ප්‍රතිපත්තිය වූ
නිදහ්ස අධ්‍යාපනය අහිමි දරුවන්ට
"පෞද්ගලික අධ්‍යාපනය අහෝසි කිරීම" වෙනුවෙනි.

තවම පටන්ගත්තා පමණය.
ඔබත් ඔබේ සටන් සගයා වන වෛද්‍ය පාදෙණියත්
රටට පැහැදිලිව ඉඟි කරන ආකාරයට
මේ සටන තවත් 88-89 අවිචාර සමයක්
බිහිකරන්නට අවකාශ ඇත.

ශීලාචාර සමාජයකට සුදුසු නැති තරම්
ද්වේශ සහගත සිත් ඇතිව වෙසෙන
තවෙකෙකුගේ දියුණුව දකින්නට බැරි පිරිසකට
වේලාසනින්ම අපෙන් සමුගෙන වෙන්ව යන්නට
දෙවරක්ම ඉඩ හසර සලසා දුන්නේ ජවිපෙය.
ඒ සමාජ සේවය තුන්වෙනි වරටත් කරන්නට
වෛද්‍ය පාදෙණියගේ නියෝජනයද සහිතව
තමන් භුක්ති විඳින සමාජ තත්වය
තවෙකෙකු  හා බෙදාගන්න බැරි ධනපති පිරිසක්
ඉහළ ධනපති පන්තියෙන්ද එක් කරගන්නට
ඔබ සමත් වී ඇති බව නොරහසකි.

ඔබ මේ සියල්ල කරන්නේ එකම අරමුණකිනි.

ඔබේ ක්‍රියාවෙන් පෙනෙන ඒකායන අරමුණ නම්
රජයෙන් දෙන සීමිත අවස්ථා මග හැරෙන
ඉමහත් කුසලතා ඇති දරුවෙකුටවත්
කොතෙක් මුදල් ඇති පියෙකුට වුවත්
පෞද්ගලික වියදමකින් හෝ ඉගැන්විය නොහැකි
අඳුරු වාතාවරණයක් රටෙහි ඇති කරන්නටය.

හාල් ගෝනියක් ගන්නට මුදල් ඇතත්
සතියට දෙදිනක් බත් කෑම තහනම් කළ
මුග්ධ ප්‍රතිපත්ති ඇති පරපුරකට නෑකම් කියන
ඔවුන් අතර බලවත්ම සාමාජිකයා වන ඔබ
ඒ කැප කිරීමෙන් මග හැරුණු කෑම වේල් හැර
රටට ඉන් ලද සෙතක් නැති බව දන්නෙහිය.

තමන්ගේ හිතලු, මායා සිහින වෙනුවෙන්
රටේ ජනතාවගේ අධ්‍යාපන නිදහසට
දැඩි අධිෂ්ඨානයෙන් අකුල් හෙලන ඔබ
පුද්ගලික ජීවිතයේ අනුගමනය කරන
පුද්ගලික ප්‍රතිපත්තියට අනුව නම්
අපට පුද්ගලික අධ්‍යාපනය අවශ්‍යය.

ඔබ සහ ඔබේ එකම පුතණුවන්
පුද්ගලික අධ්‍යාපනයෙන් ඵල ප්‍රයෝජන ලබන අතර.
ඔබ ලබන ප්‍රයෝජන අපට අහිමි කරන්නට
ඔබ අද සටන් වදින්නෙහිය.

කිසිදාක විය නොහැකි වුවත්
ඔබේ පාක්ෂිකයන් සිතන අයුරින්
ඔබට 2020 බලය ලැබුණොත්
ඔබ සහ ඔබේ සගයන් දිවි ගෙවන ආකාරය ගැන
පොඩි දරුවෙකුටත් වැටහෙන ප්‍රබල ඉඟියක්
ඔබේ ජීවිතයෙන්ම ඔබ සපයා තිබේ.

ජවිපෙ පාක්ෂිකයන් කුමක් කීවත්
දුරේක්ෂ දැක්මක් ඇති අතළොස්සක් වූ ජනතාව
ඔබේ කුහක පිළිවෙතින් කම්පනය වී ඇත.
ඒ දැක්ම නැතත් ඇස් ඇත්තාවූ අන් අය අතරද
ඒ කම්පනය එක් මොහොතකින් පැතිර ගියේය.
නින්නාදය මගින් සියල්ලන්ටම පසක් වූයේ
ඔබේ දේශපාලනයෙහි නිර්ලජ්ජිත නිරුවතයි..

පෞද්ගලික අධ්‍යාපනය ලක් බිමෙන් තුරන් කරන්නට
තවත් බලවේග රැස් කරගෙන ක්‍රියා කරන ඔබ
ඔබේ එකම පුතණුවන් මේ සියලු සටන් වලින් මුදවා
වෙනම පරිශ්‍රයක කුමාර ලීලාවෙන් ඇති දැඩි කොට
ඔබ විරුද්ධවන පෞද්ගලික අධ්‍යාපනයම ලබා දී
හොඳ රැකියාවක්ද ඔහුට ලබා දුන්නෙහිය.
ඔබද අප මෙන්ම දරුවන් ගැන සිතන
තවත් එක් පියෙකු ලෙස එහි කිසිදු වරදක් නැත.

වරද ඇත්තේ පක්ෂ නායකයෙකු ලෙස
ඔබ අපට සහ අපේ දරුවන්ගේ අනාගතයට
වින කටින්නට කැප වී ක්‍රියා කිරීමෙහිය.

රජයෙන් ලැබෙන අධ්‍යාපනික අවස්ථා සීමිතය.
සියල්ලන්ටම නිදහසේ අධ්‍යාපනය දෙන්නට
හැකියාව ඇති රජයක් පහළ වන තුරු
පුද්ගලික අධ්‍යාපනය පැවතිය යුතුය.
රටම සම්මාදම් වේ රට පුරා තනා ගත්
අධ්‍යාපනික දන්සැලවල සම්පත් සීමිතය.
දන්සැලේ කෑම නැතත් ශක්තිය පෙන්විය යුතුය.
අමතර ශක්තිය පතා ආපනශාලා වලින්
තමන්ගේ එදිනෙදා වියදම් කැප කොට
ඔබ මෙන්ම
දරුවන්ට අමතර ආහාර ලබා නොදෙන
දෙමව්පියන් ලංකාවේ නැත.

දන් සැලෙන් මෙන්ම අමතර ආපන ශාලාවලින්
සවි ශක්තිය ලබාගෙන පරීක්ෂණයට ගොස්
ඉහළම ශක්තිමත් බව පෙන්වන සියයට ගණනක්
ඉහළ පෙළේ ආහාර ලබා ගන්නට සුදුස්සෝ වෙත්.
සවි ශක්තිය ඉහළින්ම ඇති දරුවෝ පිරිසක්
දිස්ත්‍රික් කෝටා ක්‍රමයට ඉහළ වට්ටෝරුවට
නුසුදුස්සන් වී නිරාහාරව පසුවෙන අයට එක්ව
ඔවුන්ට සුදුසු තලයට වඩා පහල තලයකට
පෙර කරුමයට වැටෙති.

මේ පිරිස අතරෙහි සිටි ඔබේ පුත් කසුන්ට
පෞද්ගලික ආපනශාලාවකින් සිත්සේ ආහාර ගන්නට
ඔබ ක්‍රියා කළේ රටේ අන් දරුවන්ට
ඒ අයිතිය සපුරාම නැති කරන්නට සටන් කරමිනි.

ඔබ හෝ ඔබේ දරුවා කරන්නට නොසිතන
මහා කැපවීමක් ඔබ අපෙන් බලාපොරොත්තුවෙයි.
අපේ දරුවන් නිරාහාර කරන පිළිවෙතකට
ජීවිතය කැප කරන පක්ෂයක් මෙහෙයවන ඔබ
ඔබේ දරුවාට සිත්සේ ආහාර ලබා දීම
ඔබ අපට කළ සමාවක් දිය නොහැකි වරදයි.
ඔබ තුළද ඇත්තේ අපේම හැඟීම් වුවද
ඔබට අපේ දරුවන් හෝ අපේ හැඟීම් ගැන
හැඟීමක් හෝ ගෞරවයක් නැති බව
දැන් අපට සක්සුදක් සේ පැහැදිලිය.

මගේ කුඩා දරුවන්ට ඔබේ පිළිවෙත
ඔවුන් දන්නා උදාහරණ පෙන්වා
සරලව පැහැදිළි කර දුන්නෙමි.
ඔවුහු ඔබ ප්‍රතික්ෂේප කරන්නෝය.
ඔබ අසාධාරණ බව වටහා ගන්නට
අධි ප්‍රඥාවක් අවශ්‍ය නැත.

ඔබත් පක්ෂයත් මේ වරදෙන් නිදොස් කරන්නට
ඔබේ සගයන් සහ කෙටි දුර දකින ජවිපෙ පාක්ෂිකයන්
කවර ආකාරයේ අභූත අද්භූත කතන්දර කීවද
ඔබ වරදක් කළ බව ඔබ දන්නා බවත්
ඔබ ඒ වරද නිහඬව පිළිගන්නා බවත්
අපි අද දනිමු.

ඒ පිළිබඳව ගරු කරමු.
ඒ වරද පිළිගැනීමෙන් ඔබ හැදෙන බවක් නම්
අපට තවමත් දකින්නට නැත වුවද
කළ වරද පිළිගැනීම ගැන
තුන් වේලක් කන්නට හැකි පවුල් වල දෙවේලක් කමින්
දෙවේල කන්නට හැකි පවුල්වල එක් වේලක් කමින්
තමන්ගේ නිරාහාරව සයින් පෙළෙන දරුවන්ට
පුද්ගලික අධ්‍යාපන ශක්තිය ලබා දෙන
රටේ සියලුම දෙමාපියන් වෙනුවෙන්
අපි ඔබට අත්හිටවූ සම්මානයක් පුද කරමු.

ඔබ කවදාක හෝ ඔබ භාවිතා කළ අයිතිය
ඔබ මෙන්ම සිතන පෙරුම් පුරන අපටත් ලබා දෙන්නට
ඔබේ පිළිවෙත වෙනස් කළ දාක පැමිණ
මේ සම්මානය ලබා ගන්න.

එතෙක් ඔබ
දරුවන්ට පුද්ගලික අධ්‍යාපනය දිය හැකි
ඔබ වැනි පියවරුන් සියල්ලන්ටම එකසේ ද්‍රෝහි වී
අපට නොදෙන අයිතියක් තනිව භුක්ති විඳි
තවත් එක් ආත්මාර්ථකාමී දේශපාලනඝ්නයෙකු ලෙස
අදත් හෙටත් මතුත් සලකමු.




No comments:

Post a Comment