20170326

දුම් බීම මත්පැන් බීම පහසුවෙන් නතර කරන්න පුලුවන්.

https://www.facebook.com/athula.siriwardhane
අන්තර්ජාලයෙන් හඳුනාගත්
මා මෙතෙක් නොදුටු මිතුරෙක්
මසකට පමණ පෙර
දුරකථනයෙන් කතා කළා.

ඔහු කතා කළේ බලවත් සිත් වේදනාවකින්.
ඔහු පසුවුණේ විශාදයෙන්.

ඔහුගෙ සිගරට් බීම, මත්පැන් බීම, හදිසි කෝපය,
ආර්ථික ගැටළු, පවුලේ ඇතිවෙන ගැටළු ගැන
සැකෙවින් මට පැවසුවා.

ඔහු දිනකට සිගරට් 30ක් හතලිහක් අතර
දුම් පානය කළ කෙනෙක්.
මත්පැන් පානය කළ කෙනෙක්.

සිගරට් නැති වුණාම
ලේ එනතුරු දිව විකාගන්නා බව
ඔහු එදා මට පැවසුවා.

ඔහු විෂාදයෙන් මිදෙන්නට
සිගරට් සහ මත්පැන් භාවිතා කළා.
සිය දිවි නසාගත හැකි තරම්
බලවත් විෂාදයෙන් පෙළෙන්නෙක්
දිවි රැකගන්නා ආරක්ෂක කපාටය
සිගරට්-මත්පැන් ආදියයි.

මෙවැනි පිරිස් එකට එක්වෙන්නටත්
මත්පැන් භාවිතා කරනවා.

කිසි කෙනෙක් ජන්මයෙන්
දුම්බීම මත්පැන් බීම අරන් එන්නෙ නෑ.
මගේ මිතුරාත් ඒ වගෙයි.

සංවේදී කුඩා දරුවෙකුට
මත්පැන් පොවන්න බැහැ..
ඔහුට දුම්පානය කරන්න බැහැ.

දුම් බීම සහ මත්පැන් පානයට අදාළව
කුඩා දරුවා නිතැතින්ම වාරිත්‍ර ශීලය රකින්නෙක්.

ඔහු දුම්බීමෙන් මත්පැනින් වැළකී සිටීම
ඔහු ඔහුගේ කයට සංවේදී වෙනතුරු
පමණයි.

දුම්බීමට මත්පැනට ඇබ්බැහි වෙන
හැම කෙනෙක්ම
කුඩා කල ඒ වාරිත්‍ර ශීලය රැකි අයයි.

පසු කාලීනව මානසික ප්‍රශ්න සහ
පාප මිත්‍ර සේවනය නිසා
කෙනෙක් දුරාචාරයට යොමු වෙනවා.

ඇබ්බැහිකමෙන් මිදෙන්න අවශ්‍ය වුණත්
තමන්ගෙ කය ගැන සිහිය නැති කෙනෙකුට
වේදනා ගැන සිහිය නැති කෙනෙකුට
දුම්බීමෙන් මත්පැනින් වළකින්න බැහැ.

වාරිත්‍රයක් විදියට දුම්බීමෙන් මත්පැනින්
නිශ්චිතව වැලකෙන ක්‍රමය
තමන්ගෙ කය ගැන වේදනා ගැන
සිහිය දියුණු කිරීම පමණයි.

තමන්ගේ කය ගැන
හොඳින්ම සිහිය තියන කුඩා දරුවෙකුට
මත්පැන් පොවන්න බැහැ..
දුම්පානය කරන්න බැහැ.

ඒ දෙකට පුරුදු වෙන්න
ඔහු පිළිබඳ ඔහුගේ සිහිය
යම් මට්ටමකට දුර්වල විය යුතුයි.
කාය වේදනා දෙක ගැන සිහිය
ඒ මට්ටමට දියුණු කරගන්න
යම් කෙනෙක් ක්‍රියා කළොත්
ඔහු දියුණු කළ සිහිය තියන තුරු
ඔහුට මත්පැන් බොන්න බැහැ..
ඔහුට දුම්පානය කරන්න බැහැ.

ඔහුගෙ තොරතුරු වලින් පසුව
මම ඔහුට කිව්වා.
" ඔය හැම ප්‍රශ්නයකම මුල තියෙන්නෙ හිතේ.
එතන වෙනස් කරගන්න තියන එකම ක්‍රමය,
විපස්සනා පමණයි"

විපස්සනා ආරම්භයේදීම
කාය වේදනා දෙක ගැන සිහිය දියුණු කරනවා.
ඔහු තුළ සිදු වෙන වෙනස්වීම් වලට
රාගයෙන් හෝ ද්වේශයෙන් ප්‍රතික්‍රියා නොකර
උපේක්ෂාවෙන් වෙසෙන්න පුහුණු කරනවා.

තම කයත් වේදනාත් ගැන
සිහිය දියුණු කළ කෙනෙකුට
ඒ දෙකේ වෙනස් වීම් වලට
උපේක්ෂාව දියුණු කළ කෙනෙකුට
දුම්බීමත් මත්පැන් බීමත් "කරන්න බෑ.."

දුම්බීමෙන් මත්පැනින් "වළකින ප්‍රශ්නය"
තව දුරටත් ඔහුට නෑ.
ඔහු ඒ දෙකෙන් වෙන හානියට සංවේදීයි.

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''


මගේ මිතුරා පසුගිය දිනවල
දස දින පාඨමාලාවකට සහභාගි වී
ආපසු පැමිණිලා.
දැන් ඔහුගෙ දුම්පානය නැවතිලා.මත්පැන් පානය නැවතිලා.

ඔහු ලද තවත් යහපත් ප්‍රතිඵල තියනවා.

කෙනෙකුට යහපත් ප්‍රතිඵල ලැබුණ නිසා
තවත් කෙනෙක් විපස්සනාවට යොමු වීම
කලාතුරකින් සිදු වෙන්නක්.

එහෙත්
වැඩිදෙනෙක් විපස්සනාවට යොමු වෙන්නෙ
තවත් කෙනෙකුට ලැබුණ යහපත් ප්‍රතිඵල  නිසායි.

ඇස් ඉදිරිපිට පෙනෙන ප්‍රායෝගික සත්‍යය
බුදු වදනටත් වඩා ප්‍රබලයි.

සිහිය දියුණු වීමයි ඵලය.
අන් සියල්ල අතුරු ඵල පමණයි.
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

පාඨමාලා තොරතුරු

දස දින නේවාසික පාඨමාලාවල උගන්වනු ලබන
මෙම භාවනා පුහුණුවට සහභාගිවන්නන්
 නියමිත විනය නීති මාලාවක් අනුගමනය කරමින්
භාවනා ක්‍රමය පිළිබඳව මූලික කරුණු හදාරමින්
එහි ඵලදායි ප්‍රතිඵල අත්දැකීමට ප්‍රමාණවත් ලෙස ප්‍රගුණ කරති.

පාඨමාලාවේදී
දැඩි උනන්දුවෙන් හා කැපවීමෙන් ක්‍රියා කිරීම අවශ්‍ය වේ.
භාවනා පුහුණුව පියවර තුනකින් සමන්විතය. පළමු පියවර වන්නේ :
පාඨමාලා කාලය තුල දී
ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම, සොරකම් කිරීමෙන් වැළකී සිටිම,
කාමයෙහි හැසිරීමෙන් වැළකී සිටිම, මුසාබස් කීමෙන් වැළකී සිටීම,
සහ මත්පැන් - මත් ද්‍රව්‍යවලින් වැළකී සිටීම.
මෙම සරල විනය නීති මාලාව
සිත සන්සුන් කිරීමට ප්‍රයෝජනවත් වන්නේ
කලබලකාරි සිතකින් ස්වයං නිරීක්ෂණය කිරීම
කළ නොහැකි නිසාය.

දෙවන පියවර වන්නේ
නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින
නාස් පුඩුවලින් ඇතුල් වන හුස්මෙහි සහ පිටවන හුස්මෙහි
ස්වාභාවික සත්‍යතාවයට අවධානය යොමු කරමින්
කිසියම් ප්‍රමාණයකට සිත පාලනය කර ගැනීමයි.

සිවු වන දිනය වන විට සිත වඩාත් සන්සුන් වේ,
වඩාත් එකාග්රතාවයෙන් යුක්ත වේ.
ශරීරය පුරාම සංවේදනාවන් නිරීක්ෂණය කරමින්,
ඒවායේ ස්වභාවය අවබෝධ කර ගනිමින්,
ඒවාට ප්‍රතික්‍රියා නොකර උපේක්ෂාව දියුණු කර ගනිමින්,
විපස්සනා භාවනාව වැඩීමට ආරම්භ කිරීමට හැකි වේ.

අවසාන වශයෙන්,
මෙම වැඩසටහනට සහභාගී වන සියලූ දෙනාටම
අවසන් දිනයේදී මෛත්‍රී භාවනාව වැඩීමට ඉගෙන ගත හැකි වේ.
එම අවස්ථාවේ දී,
පාඨමාලා කාලය තුල දී වර්ධනය කර ගත් චිත්ත පාරිශුද්ධතාවය
සියලූ සත්ත්වයන් වෙත අනුමෝදන් කරනු ලැබේ.

මේ මුලූ අභ්‍යාසයම ඇත්තවශයෙන්ම මානසික පුහුණුවකි.
අපේ ශාරීරික නිරෝගී බව නංවාලීම සඳහා ව්‍යායාම කරන්නාක් මෙන් ,
මානසික නිරෝගී බව නංවාලීම සඳහා
විපස්සනා භාවනාව උපයෝගී කර ගත හැක.

නියම වශයෙන්ම එය ප්‍රයෝජනවත් කියා සොයාගත් නිසා
මෙම භාවනා ක්රමය සත්‍ය ස්වරූපයෙන්ම ආරක්ෂා කරගෙන යාමට
විශේෂයෙන් අවධාරණය කෙරේ.
එය උගන්වනු ලබන්නේ වාණිජ අරමුණකින් තොරව,
කිසිම අය කිරීමකින් තොරවය.
මෙය ඉගැන්වීම සඳහා සම්බන්ධව සිටින කිසිම පුද්ගලයෙක්
කිසිම ආකාරයක මූල්‍යමය හෝ ද්‍රව්‍යයමය ප්‍රතිලාභයක් නොලබයි.

පාඨමාලා සඳහා අය කිරීමක් නැත;
ආහාර සහ නවාතැන් පහසුකම් වියහියදම් සඳහාවත්
අය කිරීමක් නොකෙරේ.
විපස්සනා භාවනා පාඨමාලාවක් සම්පූර්ණ කර
විපස්සනාවෙන් ප්‍රයෝජන ලබා,
තමන්ට ලැබුණු ඵල ප්‍රයෝජන ලැබීමට
 අනික් අයටත් අවස්ථාව උදාවේවා’
යන චේතනාවෙන්
ඒ අය විසින් කරන ලද පරිත්යාගවලින්
පාඨමාලා වියහියදම් ආවරණය කෙරේ.

ඇත්තවශයෙන්ම,
ප්රගුණ කිරීම පවත්වා ගෙන යාමෙන්
අනුක්‍රමිකව මෙහි ප්රතිඵල ලැබේ.
දින දහයක් තුලදී
සියලූ ප්‍රශ්න විසඳී යනු ඇතැයි බලාපොරොත්තු වීම
යථාර්තවාදී නොවේ.

කෙසේ වුවත්
එම කාලය තුලදී
විපස්සනාවේ අත්‍යවශ්‍ය කරුණු
ඉගෙන ගත හැකි වේ.

එය දෛනික ජීවිතයේදී ප්‍රයෝජනවත් වේ.
 භාවනා ක්රමය වැඩි වැඩියෙන් වඩන්නේ නම්
එ් තරමට දුකින් මිදිමත්,
අවසානයේදී
ක්‍රමක්‍රමයෙන් පූර්ණ විමුක්තිය කරා ළඟා වීමත් සිදු වේ.
දින දහයක භාවනාවෙන් පවා ලැබෙන ප්‍රතිඵල
එදිනෙදා ජීවිතයට පැහැදිලි ලෙසම ප්‍රයෝජනවත් වේ.

මෙම භාවනා ක්‍රමයේ ක්‍රියාකාරිත්වය
තමන් විසින්ම අවබෝධ කර ගැනීමටත්
එහි ප්‍රයෝජනය ගැන තීරණය කිරීමට
අවංකව කැමති සියලූ දෙනාට
පාඨමාලාවට සම්බන්ධවීමට ආරාධනා කරමු .

මේ සඳහා ප්‍රයත්න දරණ සියලූ දෙනාට
විපස්සනා පුහුණුවෙන් නියම සතුට උදාකර ගෙන
අනික් අයත් සමඟ බෙදා ගත හැකි ක්රමයක් බව
දැන ගන්නට ලැබේවි.

වැඩි විස්තර සඳහා
විපස්සනා දසදින නේවාසික පාඨමාලාව

No comments:

Post a Comment