20160820

සංස්කාර...විඥාණ...සංස්කාර


අපි අත්දැකීමක් විඳිනකොට
අපේ රුචි අරුචි වලට ආවේණිකව
අපි ඒ අත්දැකීමට දෙන
අර්ථ කථනය ඇත්ත නොවෙයි.
ඒ අර්ථ කථනය අපේ නිසා අපිට ඇත්ත.
ජීවත් වෙන්න ඒ අර්ථ කථන අවශ්‍යයි.

අපේ අර්ථකථනවලට
සමාන අර්ථකථන තියන අය
අපි මිතුරන් ලෙස සලකනවා.
මිනිස්සු කල්ලි ගැහෙන්නෙ
ඔවුන් තුළ රැස් කරන සංස්කාර
සමාන නිසා.

සත්වයින් පිරිසක් ඉන්න රටකට
අව්ව වැටෙද්දි
ඔවුන් එකිනෙකා තුළ සංස්කාර ඇති වෙන්නෙ
ඔවුන්ගෙ ශරීර ස්වභාවයට සහ
කායික හා මානසික පරිසරයට සාපේක්ෂවයි.

රටේ මොන පළාතකදි වුණත්
අපි අව්වෙ යනකොට ඇත්තටම විඳින්නෙ
අව්වෙ තාපය නිසා අපට දැනෙන උෂ්ණත්වයයි.

සීතල පළාතකදි දැනෙන අව්ව අපිට ප්‍රියයි.
අත්දැකීම ප්‍රිය නිසා රාග සංස්කාර ඇති වෙනවා.
උෂ්ණ පළාතකදි ඒ අව්ව අපට අප්‍රියයි.
ද්වේශ සංස්කාර ඇති වෙනවා.

සංස්කාර ඇතිවෙන්නෙ
''අව්ව'' ප්‍රිය නිසා නොවෙයි.
අව්ව හැමවිටම අපිට ප්‍රිය නෑ.

අපි අව්ව ප්‍රිය කරන්නෙ
අව්ව නිසා
ඒ ඒ අවස්ථාවල
''අපි තුළ සිදුවෙන වෙනස''
අපිට ප්‍රිය නිසයි.

උෂ්ණත්වය දැනෙන්නෙ කයට.
උෂ්ණත්වය ස්පර්ශ වෙද්දි
කයෙහි වේදනාවක් ඇති වෙනවා.
සිත ඒ උෂ්ණත්වය සීතලට සාපේක්ෂව
සුඛ වේදනාවක් විදියට විඳිනවා.

සිත සුඛ වේදනාව ප්‍රිය කරද්දි
ඒ ප්‍රිය කිරීම නිසා අපි තුළ
අනවශ්‍ය අමතර වෙනස් කමක් සිදු වෙනවා.
ඒ වෙනස රාග සංස්කාරයක් විදියට
බුදු දහමෙ හැඳින් වෙනවා.

උෂ්ණ පළාතකදි ඒ අව්ව අපට අප්‍රියයි.
බාහිර උෂ්ණත්වයට සාපේක්ෂව
අපේ කයෙහි උෂ්ණත්වය වැඩිවෙද්ඩ්දි
අව්ව ඇති කරන උෂ්ණත්වයෙන්
අපි තුළ ඇති වෙන්නෙ දුක්ඛ වේදනාවක්.
ඒ වේදනාව අපට අප්‍රිය වෙද්දි
අපි තුළ ඇතිවෙන්නෙ ද්වේශ සංස්කාර.

අපේ ප්‍රිය අප්‍රිය සීමාවට හසු නොවෙන
උෂ්ණත්වය නිසා රැස්වෙන්නෙ
මෝහ සංස්කාර.

අව්ව
සීතල පලාතටත්
උෂ්ණ පළාතටත් වෙනසක් නෑ.
උෂ්ණත්වය
සීතල පලාතටත්
උෂ්ණ පළාතටත් වෙනසක් නෑ.

 නිශ්චිත වෙලාවකදි
අව්වෙ උෂ්ණත්වය මැන්නොත්
උෂ්ණත්වමාපකයෙ දර්ශකය
මේ පළාත් දෙකේදිම එකයි.

අපේ කයෙහි මතු වෙන වේදනාත්
පළාත් දෙකේදිම එකයි.
අපි අපිට සාපේක්ෂව එක වෙලාවකදි
එකම වේදනාවකින්
ෂෝක්-පට්ට වශයෙන් ආතල් ගන්නවා.
ඒ වේදනාව නිසාම
සවුත්තුයි- කුජීතයි කියමින්
ආතල් කඩා ගන්නවා.

සංස්කාර වලින් විඥාණය හැදෙනවා.
අපි සීතල පළාතක් ගැන හිතන විටම
විඥාණයෙන් රාග සංස්කාර මතුවෙලා
කයෙහි සුඛ වේදනා මාලාවක් ඇති කරනවා.
ඒ වේදනාවෙන් තණ්හාව උපදිනවා.
සීතල පළාතට යන්න ඇතිවෙන තණ්හාව
නැවත නැවත ඇතිවෙමින් උපාදාන වෙනවා.
ටික දවසකින් අපි සීතල පළාතට යන්න
කටයුතු සකස් කරගෙන
විනෝදගමනක භවයක් සකස් කරගන්නවා.

අපි සීතල පළාත තුල ජාතිය ලබනවා.
අපි නැවත රාග සංස්කාර රැස් කරනවා.
නිවාඩු කාලය ජරාවට යනවා.
අපි දුක් වෙනවා.
වැස්ස ලෙඩක්... අපි දුක් වෙනවා.
නිවාඩු කාලය මරණයට පත් වෙනවා.
අපි දුක් වෙලා ආපහු එනවා.

ඒ රාග සංස්කාර පවත්වාගන්න
සීතල පළාත්වල ගෙවල් තුළ
ගිනි උදුන් තැනෙනවා.
උෂ්ණ පළාත්වල වායු සමීකරණ, ෆෑන්
භාවිතා කරනවා.

දවස පුරාම
ස්පර්ශයෙන් වේදනාවත් වේදනාවෙන් තණ්හාවත්
තණ්හාවෙන් උපාදානයත්, භවයෙන්
ජාති ජරා මරණත් සකස් වෙනවා.

දවස පුරාම නොකඩවා ක්‍රියාත්මක වෙන
මේ සංසිද්ධි අපි තුළ දකිනවා නම්
අපි දුක් විඳින ප්‍රමාණය අඩු වෙනවා.

No comments:

Post a Comment