20160214

ආගමක් නැතුව ජීවත් වෙන්න බැරිද?



ආගමක් නැත්නම් ඔහු අපරාධකාරයෙක්,
සුරා සොඬෙක්, සල්ලාලයෙක් වගේ දුශ්චරිතයක් වෙලා
පොදු සමාජයට බරක් වෙනවා,
එහෙම නැත්නම් නරුම ජීවිතයක් ගත කරමින්
සමාජයෙන් කොන් වෙලා තනිව ජීවත් වෙනවා.

අපරාධ සිදු නොවෙන
මිහිපිට පාරාදීසයක් ලෙස හැඳින්වෙන
නිරාගමික ස්වීඩනයේ
ජනගහනයෙන් බාගයක්ම තනිව ජීවත් වෙනවා

මානසික ප්‍රශ්නවලින් මිදීමට
විශාද නාශක පරිභෝජනයට ඇබ්බැහිවීම අතින්
ඉහළම සංඛ්‍යාව සිටින්නේ
ත්නිරාගමික ස්කැන්ඩිනේවියානු රටවල් වලයි.

ස්වීඩනයේ එක් පුද්ගලයෙකු මියගිය බව
ලෝකයට හෙළිවූයේ වසර දෙකකට පසුවයි.
ඔහු මියෙනතුරුම ජීවත්වන්නට ඇත්තේත්
මියගිය කෙනෙකු විදියටයි..

මිනිසාට ආගමක් නොමැතිව ජීවත්විය නොහැකි බවට
අද අපට ඇති හොඳම උදාහරණය
ආගම් ප්‍රතික්ෂේප කළ නිරාගමිකයන් විසින්ම
 ආගමිකයන් හාස්‍යයට ලක් කරන මුවාවෙන් පවත්වාගෙන යන
අගක් මුලක් මැදක් නැති පැස්ටෆාරියානු ලබ්ධියයි.

ආගම් ප්‍රතික්ෂේප කරන
නිරාගමිකයන් බොහෝ දෙනෙක්
සැප සම්පත් සහිත ජීවිත ගත කරන අතර
පතපොතේ දැනුම මත සමාජ පිළිගැනීමක් ඇති
සියල්ල තර්කයෙන් විසඳන්නට වෑයම් කරන
බුද්ධිමතුන් ලෙස සම්මත පිරිසත්
නිරාගමික වී සැනසීම සොයනවා.

මොන සැප සම්පත් තිබුණත්
ආගම් ප්‍රතික්ෂේප කරන බවට වහසි බස් දෙඩුවත්
අවසානයේ ඔවුන්ද තමන්ගේම පල්ලියක්
ස්ථාපිත කරගන්නට අවසර පතනවා.

මිනිසාට ආගමක් නැතුව බැහැ.

ආහාරපාන, ඉඳුම් හිටුම්, නිවහනක් ආදී
සියලු දෙයින්ම අංග සම්පූර්ණ කෙනෙකුටවත්
ආගමක් නැතුව වෙසෙන්නට නොහැකි වන්නේ
මිනිසා ස්වභාවයෙන්ම සමාජීය සත්වයෙක් නිසයි..

ස්වාභාවික අවශ්‍යතාවයෙන්ම
ඔහු අනිත් මිනිසුන් සමග කල්ලි ගැසිය යුතුයි.

 

හඳුනන මිනිසුන් සමග එකට ගැවසෙනවාට වඩා
නාඳුනන මිනිසුන් සමග අඳුනන අය මෙන් පෑහෙන්නට
මමත්වයෙන් මේරූ මිනිසා වැඩි කැමැත්තක් දක්වනවා..

දන්නා හඳුනන අය අතර ප්‍රචලිත අනන්‍යතාවය
ඔහුගේ නිදහස් හැසිරීමට ප්‍රශ්නයක් වෙනවා.
ඔහුග් කියන වචන, කරන දේවල්
අවට සිටින අය විනිෂ්චය කරනවා.
හඳුනන අය එක්වූ විට මත්පැනට යොමු වෙන්නෙත්
මේ විනිශ්චයෙන් මිදෙන්නයි.
එකට මත්වූ පිරිසකට එකිනෙකා මනින්න සිහියක් නෑ.

ආරූඪ නම් වලින් චරිතය ආවරණය කරගත් පුද්ගලයන්
සමාජ ජාල වල  බේබද්දන්, මැරයන් මෙන් හැසිරෙන්නෙ
ඔවුන්ගේ අනන්‍යතාවය ඔවුන්ට බරක් නිසයි.

නාඳුනන මිනිසුන් සමග අඳුනනවා වගේ පෑහෙන්න නම්
ඒ මිනිසුන් සියලු දෙනා සමාන පොදු දේක
යෙදෙන එකම චර්යා ඇති පිරිසක් වීම අවශ්‍යයි.
කිසියම් පොදු සාධකයකින් පෑහීම අවශ්‍යයි.

එකම ක්ෂේත්‍රයක එකම කාර්යයක යෙදෙන
නාඳුනන දෙන්නෙක් අහම්බෙන් මුණ ගැහුණාම
මොහොතෙන් දැන හැඳුනුම් කමක් හැදෙනවා.
එකම ගීතයකට, චිත්‍රපටියකට කැමති දෙන්නෙක් වුණත්
ඔවුන් අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩ නැගෙනවා.
මේ අවස්ථාව ඔවුන් දෙදෙනාටම සතුටක්.
ඔවුන්ගෙ හිත්වල පිබිදීමක් ඇති වෙනවා.

අන් සියලු ක්ෂේත්‍රයන්ටම වඩා
ආගමික ක්ෂේත්‍රය තුළ හමුවෙන
ආගමිකයන් දෙදෙනෙක් අතර
එවැනි හමුවකදි ඇති වෙන විශ්වාසය බලවත්.
ඔවුන් දෙදෙනාම ජීවිතය යහපත් අතට පත් කරගන්න
කිසියම් වෑයමක යෙදෙන දෙදෙනෙක් බවට
අන්‍යෝන්‍ය විශ්වාසයක් නිතැතින්ම ඔවුන් තුළ පවතිනවා.
මේ බැඳීම දීර්ඝකාලීනව පවත්වන්න පුලුවන් බවත්
නිතැතින්ම ඔවුන්ගේ හිත්වලට දැනෙනවා.

සමාජයේ වෙනස්කම් මනින සීමාවන් ඉක්මවන
පුළුල් පොදු සාධකයක් විදියට සැලකෙන ආගම ඇසුරෙ
තමන් පිළිගන්න ශාස්තෘවරයෙකුගෙ සංකේතයක් හෝ
ඔහු නමින් වෙසෙන ආකර්ශණීය පූජකයෙක් ඇසුරෙ
ආගමික වශයෙන් කල්ලි ගැහෙන්න
මිනිසුන් වඩාත් ප්‍රිය කරනවා.

බුද්ධගයාව, බරණැස, වතිකානුව, මක්කම කියා
එහි වෙනසක් ඇත්තෙ නෑ.
එසේ රැස්වෙන දහස්ගණනක් පිරිස ක්‍රියා කරන්නෙ
එකම රටාවක එකම ජාලයක් විදියටයි.
මේ ජාලය තුළ කල්ලි ගැසී ඔවුන් ලබන
ප්‍රබල මානසික උත්තේජනය
කලක් තිස්සේ ඔවුන්ට මානසික සවියක් වෙනවා.

මේ සුරක්ෂිත මානසිකත්වය පතා
පන්සලේදි පල්ලියෙදි කෝවිලේදි මුණ ගැහෙන
එකම ආගමක බැතිමතුන්
සිය දහස් ගණනක් රැස්ව සිටියත්
දන්නා හඳුනන පිරිසක් මැද මෙන්
නිදහසේ සැරි සරන්න පුලුවන් විශ්වාසයක් සහිත
සුවදායී ආගමික පරිසරයක් එතන හැදෙනවා.

ඔවුන්ගේ සිතුම් පැතුම්, චර්යා ධර්ම අතර තියන
ආගමික සම්මුතිය නිසා ඔවුන් අතර පවතින සම්බන්ධය
එක වර්ගයක වනසතුන් රංචුවක වගෙයි.
සාමාන්‍ය සමාජයේ හැඉරෙන විට
ඔවුන් පැළඳගෙන ඉන්න ආරක්ෂක සන්නාහයන්
මේ පරිසරය තුළ දියවී
සුරක්ෂිත හැඟීමක් ඇති වෙනවා.
ඔවුන්ට ඒ සවිය ලොකු මානසික නිදහසක්.

සිය දහස්ගනක් අතර ඇතිවෙන මේ බැඳීම
තාවකාලිකව පවත්වන්න පුලුවන් බවත්
පැවැත්ම දිගුකාලීන බවත් ඔවුන් දන්නවා.
ඔවුන් එකිනෙකාගෙන් වෙන්ව ගියත්
ජීවිතේටම නැවත මුණ නොගැසුණත්
ඔවුනොවුන් අතර ඇති පොදු බැඳීම
හැමදාම පවතින බව ඔවුන් දන්නවා.

සමූහයක් මෙන් රැස්වූ විට
මේ බැඳීම සජීවීව පවත්වා ගන්න
විවිධ ආගම් වල නිදහසට කරුණු විදියට
වත් පිළිවෙත්. යාග හෝම, ස්තෝත්‍ර,
භජන්, තෙල් මල් පහන් පුද පූජා, දේශන, සාකච්ඡා ආදී
අනේක විධ උපක්‍රම භාවිතා කරමින්
ඔවුන්ගේ එක් රැස් වීම අරුත්බර කරගන්නවා..

 

මෙසේ නිරතුරුවම පුද බිම් වල හමුවෙන ආගමිකයන්
විචිත්‍ර ආගමික ක්‍රියාවන්හි නිරත වුණත්
ඔවුන් අතුරෙන් බහුතරයක්ම
යහපත් මිනිසුන් බවට පරිවර්තනය වීමක් නොවෙන්නෙ
ඔවුන් කල්ලි ගැසී ලබන වින්දනයෙන් තෘප්තිමත් වී

සියුම්
ආගමික හරයන් නොසලකා හරින නිසයි.

ආගම කුමක් වුවත්
නිසි පරිදි ආගමික පැවතුම් වල යෙදෙන කෙනෙක්
දවසින් දවස මෝරනවා. යහපත් වෙනවා.
නිවෙනවා, සැනසෙනවා, ස්වාධීන වෙනවා.

එහෙත් බහුතරයක් ආගමිකයන් හැසිරෙන්නෙ
සැරසිලි බහුල මතුපිට තලයේ පමණයි.
මේ තලයේ හැසිරෙන ආගමිකයන් විවේචනය කරමින්
ආගම් ප්‍රතික්ෂේප කරන නිරාගමික පිරිසටත්
සැබෑ ආගමික හරයන් පිළිබඳ අවබෝධයක් නෑ.

ඔවුන් ආගම වශයෙන් දකින්නේ
ආගමික වශයෙන් කල්ලි ගැසෙන පුද්ගල චර්යා,
ආගමික කල්ලි වශයෙන් එක් රැස්වී කරන
සරුවපිත්තල ආලේපන පමණයි.
මතුපිට තලයෙන් එහාට
ආගමක සැබෑ හරය දකින්නට
නිරාගමිකයන්ටත් හැකියාවක් නෑ.
ඔවුනුත් හදවතින් සහ දැක්මෙන් ආගමිකයන් මෙන්ම
කල්ලි ගැසීම පතන පිරිසක්.
ඔවුන් ආගම් ප්‍රතික්ෂේප කරමින්
නිරාගමිකයන් ලෙස කල්ලි ගැසෙන්නෙත්
ඒ අවශ්‍යතාවය නිසාමයි.

ආගම් ප්‍රතික්ෂේප කරමින් නිරාගමික වෙන පිරිසත්
මානුෂික අවශ්‍යතා සහිත මිනිසුන් බැවින්
ඔවුන්ටත් ආගමක අවශ්‍යතාවය
වහාම හෝ ප්‍රමාද වී පැන නැගෙනවා.

මේ උවමනාවට වහල්වූ නිරාගමික පිරිසක්
ආගමිකයන් රැස්වෙන ආකාරයට හැසිරෙන්නට
නිරාගමික බටහිර ජාතීන් අතර නිරාගමික සංහිඳියාව සඳහා
ආගම් හාස්‍යයට ලක් කරන පැරඩියක ස්වරූපයෙන්
පැස්ටෆාරියානු දහම නමින් අළුත්ම තාලයේ දහමක්
දැන් අටවාගෙන තියනවා..

 

ශාස්තෘවරයෙක් නැති, දහමක් නැති,
ස්පැගටි රාස්සයා නමින් හැඳින්වෙන
ස්වභාවය පැහැදිලි නැති දෙවි කෙනෙක් පමණක් ඇති
කැමති කෙනෙකුට කැමති ආකාරයට අරුත් ගැන්විය හැකි
ඕපන් සෝර්ස් දහමක් වන පැස්ටෆාරියානු දහම
අද නිරාගමිකයන් අතර බහුලව පැතිරෙනවා.

ආගමිකයන් හාස්‍යයට ලක් කරන මුවාවෙන්නිරාගමිකයන් ගත කරන ආගමික චර්යා බහුල ජීවිතය
පැස්ටෆාරියානු ආගම තුළින් පිළිබිඹු වෙනවා.

ආගමිකයන්ට මෙන්ම ඔවුන්ටත්
කල්ලි ගැසී සැනසෙන්නට අවශ්‍ය නිදහසට කරුණු
ආගම් ඇසුරෙන්ම සොයාගෙන
නිරාගමිකයනුත් දැන් ආගමිකව හැසිරෙනවා.

 
මිනිහෙකුට ආගමක් නැතුව ජීවත් වෙන්න බෑ.

ස්වරූපය කුමක් වුවත් ආගමක් කියන්නෙ ආගමක්.
වෙනත් ආගමක් නැත්නම්
ආගම් වලට සිනාවෙන මුවාවෙන් හෝ
ආගමික ස්වරූපයෙන් අටවාගත් ආගමක්
මිනිසාට අවශ්‍යයි.

ආගමක් නැතිව තනිකමෙන් පෙළෙමින්
විශාදයට ගොදුරු වී
විශාද නාශක පෙති වලින්
සිරුරෙහි ලේ විෂ කරගැනීමට වඩා
කුමන ආකාරයෙන් හෝ කල්ලි ගැසී සැනසීම
සමාජයටත් නිරාගමිකයන්ටත් යහපතක්.

.

No comments:

Post a Comment