20161003

බුදු දහම ඉගෙනීම දවල් සිහින දැකීමක්.


පොත පතෙන් හෝ කාගේ හෝ දේශනයකින්
බුදු දහම ඉගෙනීම
දවල් සිහින දැකීමක්.

ඒ කියන දේත්
ඔබ අහන දේත් ඔබ සිතන දේත්
වචන පමණයි.
විඳින්න පුලුවන් දෙයක් ඒ වචන තුළ නෑ.

ඔබත් ඔහුත් සිහිනලොවක වැජඹෙනවා.
වේදනා පච්චයා තණ්හා කියන්නෙ අත්දැකීමක්.
මනසින් ඒ වචන විග්‍රහ කරන්නාට
වේදනාවෙන් තණ්හාව ඇති වෙනවා කියන්නෙ
සිහිනයක් පමණයි.

වේදනා පච්චයා තණ්හා
ඔබ ඒ වචන අසන
ඒ මොහොතෙ
පාදයෙ වේදනාවක් ඇති වෙනවා.
එයින් මිදෙන්න ඇති තණ්හාවෙන්
ඔබ ඉරියව්ව වෙනස් කරනවා.
මේ වේදනාව ඔබ දකින්නෙ නෑ.
මේ තණ්හාව ඔබ දකින්නෙ නෑ.
ඔබ වචන පෙළ දන්නවා. විඳ පසක් කරන්නෙ නෑ.

දැන් ඔබ මේ වචන කියවන මේ මොහොතෙ
පාදයෙ වේදනාවක් ඇති වෙනවා.
එයින් මිදෙන්න ඇති තණ්හාවෙන්
ඔබ ඉරියව්ව වෙනස් කරනවා.
මේ වේදනාව ඔබ දකින්නෙ නෑ.
මේ තණ්හාව ඔබ දකින්නෙ නෑ.
ඔබ වචන පෙළ දන්නවා.
විඳ පසක් කරන්නෙ නෑ.

ඔබ ජීවත් වෙන්නෙ සිහිනයක් තුළයි.
කය දුක් විඳිනවා.
ඒ දුක දැඩි වෙලා ඔබ අවදි වෙනතුරු
ඔබ සිහින දකිනවා.

සිහින තුළ ඕන දෙයක් වෙන්න පුලුවන්.
විකල්ප අසීමිතයි. අප්‍රමාණයි.

ඕනම කෙනෙකුට
මගේ දේශනා අසා රහත් වෙන්න පුලුවන්
කියා යම් දේශකයෙක් කියනකොට
ඔහු කියන දේ විශ්වාස කරන්න පුලුවන්
තර්කානුකූල පසුබිමක්
ඔබේ මානසික මට්ටම තුළ ඇති කරන්න
ඒ දේශකයා සමත් වුණොත්
ඔහු මවා දෙන ඕනම සිහිනයක්
ඔබ මිළට ගන්නවා.
ඔබ නොකඩවා ඔහුට සවන් දෙනවා.
ඔබ ඔහුගෙ කැරට් අලය පස්සෙ යනවා.
ඔහු ඔබට දෙන කොන්දේසි ඔබ පිළිගන්නවා.
ඒ කොන්දේසි තුළ
විඳ පසක් කළ හැකි දෙයක් තියනවා නම්
මෝහයට පත්වීමෙන් දැනෙන
මෝහණීය බව පමණයි.

ගීතයක්, නාට්‍යයක්, පොතක් රස විඳින්නාටත්
ඒ මෝහණීය සුවය තියනවා.

නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා.

ඔබ ගරු කරන දේශකයාගෙ හැකියාව
ඔබට වඩා වැඩියි කියා තර්ක කර පෙන්නුවාට පස්සෙ
ඔහු හරි කියා කියා ඔබ තුළ ඔබම ඇති කරගත්
ඔහුගෙ තර්ක ඔබ පිළිගැනීම මත ඇතිවුණ
ඔබේම අභූත විශ්වාසය බිඳගෙන
ඔබට වැරදුණා කියා පිළිගන්න ඔබ කැමති නෑ.

ඔහුට වැරදුණා කියා හිතුවොත්
ඔබටත් වරදිනවා.
ඒ හීනමානය ඔබට දරන්න බෑ.

ඔබත් ඔහුත් දෙදෙනාම වැරදි වුණත්
ඔබ ඔහු විශ්වාස කරනවා.

ගීතයක් පොතක් රස විඳින රසිකයෙකුට
දිගටම පොත කියවන්න නම්
නිර්මාණකරුවා විශ්වාස කළ යුතුයි.

ඇලඩින්ගෙ පුදුම පහන
ඇත්තක් කියා පිළිනොගන්න අයට
ඒ කතාව දිගට අහන්න බැහැ.
"මම රහත්" කියා කෙනෙක් කිව්වාම
ඔහු විශ්වාස කරන අය
ඔහු කියන හැම දේම පිළිගන්නවා.

කතාපොතක් කියවන රසිකයෙක් වගේ...
ගීතයක් රස විඳින රසිකයෙක් වගේ
ඔහු ඔබට මවා දෙන ලෝකය තුළ
ඔබ ඔහු මවා දෙන සිහින පසු පස යනවා.

ඔහු ඔබට සිහින වුකුණනවා.
ඔබ ඒ සිහින ඉහළ මිළකට ගන්නවා.
"පැවිදි වෙන්න ලක්ෂ පහක් දහයක් දෙන්න"
ඔහු කිව්වොත් ඔබ දෙනවා.

ඔබ සුනීත සෝපාක වගෙයි.
ඔබ පටාචාරා කිසා ගෝතමී වගෙයි
එක මොහොතෙන් නිවන් දකින්න පුලුවන්...
සෝවාන් වෙන්න පුලුවන් කියා
ඔහු ඔබව අන්දනවා.

තර්කානුකූලව බලද්දි
එක මොහොතෙන් නිවන් දකින්න  පුළුවන්.
තර්කයට ඔබ අහුවුණොත්
ඔබ ඒ තර්කය
ඔබට අදාළවත් විශ්වාස කරනවා.

ආනන්ද තෙරුන් වහන්සේත්
සුනීත සෝපාක වගේ
පටාචාරා කිසා ගෝතමී වගේ
එක මොහොතෙන් නිවන් දැක්කා.
හැම රහතන් වහන්සේ කෙනෙක්ම එහෙමයි.

ආනන්ද තෙරුන් වහන්සේත්
හැම රහතන් වහන්සේ කෙනෙක්ම වගේ
එක පොරව පහරෙන් ගහ බිම දමා ගත්තා.

බුදුන් වහන්සේට උපස්ථාන කරමින්
ළඟම හිටිය ආනන්ද තෙරුන් වහන්සේ
උපස්ථායක වෙද්දිම සෝවන් වෙලා හිටියා.
වසර විසි පහක් තිස්සෙ සෝවාන් වෙලා ඉඳලත්
ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේට
රහත් බවට පත්වෙන්න
බුද්ධ පරිනිර්වානයෙන් පස්සෙ
තවත් මාස තුනක් ගතවුණා.

මාස තුනක් තිස්සෙ වීරය වඩා
ආනන්ද තෙරුන් වහන්සේත්
සුනීත සෝපාක වගේ
පටාචාරා කිසා ගෝතමී වගේ
එක මොහොතෙන් නිවන් දැක්කා.

පළවෙනි ධර්ම සංගායනාව දවසෙ
උදේ පාන්දර ඉර උදා වෙද්දි
ආනන්ද තෙරුන් වහන්සේ
එක පොරව පහරෙන් ගහ බිම දමා ගත්තා.
ඔබටත් ඔබේ ගහ
එකපාරෙන් බිම දමන්න පුලුවන්ද?

ප්‍රඥාවට වඩා මෝහය සුන්දරයි. පහසුයි.
ශ්‍රද්ධාව, වීර්යය,
සතිය, සමාධිය හරහා
බුදු දහමෙන් ප්‍රඥාව ලබනවාට වඩා
තර්ක මත දේශනා ගොඩ නගන
ආකර්ශණීය දේශකයෙකුගෙ මාර්ගයෙන්
මෝහයට පත් වීම ලාභයි. පහසුයි.

''මම ඔබට ගැලවීම ලබා දෙමි'' කියා
දෙවියන් වෙනුවෙන් ඉදිරිපත් වෙන
පූජකයන් අදහන බැතිමතෙකුගෙ සහ
තමන් නිවන් දැක්කා කියමින්
''මම ඔබට ගැලවීම ලබා දෙමි'' කියා
නිවන වෙනුවෙන් ඉදිරිපත් වෙන
දේශකයෙකුගෙ බැතිමතෙකුගෙත් අතර
කිසිම වෙනසක් නෑ.

ඔවුන් දෙදෙනාම සිහින ලෝකයක
සිහින පසුපස යන දෙන්නෙක්.
ඒ නින්ද ගැඹුරු නෑ.

රැයේ දකින සිහින
උදේට අවදිවුණාට පසුව
ආවර්ජනා කර බලන කෙනෙකුට
ඔවුන් සිහිනය තුළ පිළිගත් අතාර්කික දේවල්
පැහැදිලිව දකින්න පුලුවන්.
නැවතත් ඇස් වසාගෙන
ඒ සිහිනය තුළ ජීවත් වීම
ඔහුට ඊට වඩා සුවයක්.

එක මොහොතක් ආනාපාන සතිය වඩනවාට වඩා
ඔබ සිහින ලොවකට රැගෙන යන
පැය දෙකක දේශනයක් ඇසීම සුවයක්.
ආනාපාන සතියෙන් සුවයක් දැනෙන්න
කාය සංඛාර සංසිඳිය යුතුයි.
කෙලෙස් වලින් කැළඹුණ හිතක්
ඒ සුවය ලබන්න කලින්
ඉවක් බවක් නැතිව දුවන හිත
නතර විය යුතුයි.

එක හුස්මක දිගවත් බලන්න තරම් නිවනක්
ඒ කැළඹුණ අවුල් සහගත හිතට නැහැ.

පැය දෙකක දේශනයක් විදියට
නිවන ගැන කියන බොරුවක් හෝ අසමින්
සිහින ලොවකට ඇතුල් වෙලා
නිවන ගැන හෝ ස්වර්ගය ගැන සිහින මැවීම
ඔහුට ඉතාම පහසුයි.

විඳින දුක එසේම පවතිද්දි
නිවන ගැන හෝ ස්වර්ගය ගැන සිහින දකිමින්
සිත මිස කය නැති බඹ ලොවක
ඔහු නිවන් දකිනවා.

බුදුන් වහන්සේ සිහින විකුණන්නෙක් නොවෙයි.

ඔබ දැන් මේ මොහොතෙ පසුවෙන සිහිනයෙනුත්
බුදුන් වහන්සේ ඔබව අවදි කරනවා.

මිනිසාගේ නිරන්තර සිහිනය කුමක්ද?

දුකෙන් මිදී සැප විඳීම නිවන කියා
හැම කෙනෙක්ම හිතනවා.

ඔහු එක මොහොතකින්
තව මොහොතකට වෙනස් වෙන්නෙ
"මේ මොහොතට වඩා ඊළඟ මොහොත සැපයි"
කියා ඔහු හිතන නිසයි.

මේ මොහොත සැපයි කියා හිතනවා නම්
ඔහු උත්සාහ කරන්නෙ මේ මොහොත තුළ නතර වෙන්නයි.

මේ ආකල්ප දෙකෙන් තොරව
තුන්වැනි "ආකල්පයක්" සත්වයාට නෑ.

ඔහු හිතන දේ හැමදාම වැරදුණත්
ඔහුගෙ විශ්වාසය වෙනස් වෙන්නෙ නෑ.
ඔහු සිහිනයෙන් මිදෙන්න නෑ.

මේ සිහිනය පුළුල්ව දකින්නා
මරණයෙන් මතු සැප සොයනවා..
ඒ සැප වෙනුවෙන් දුක් විඳිනවා.

මේ මොහොත සැප විඳින්නාත් ජීවත් වෙන්නෙ
එවැනිම තාවකාලික සිහිනයක් තුළයි.
ඒ සිහින මධු විත
නැවත නැවත මිළට ගන්න
ඔහුටත් සිදු වෙනවා.

මේ මොහොත සැපයි කියා හිතුවත්
ඊළඟ මොහොත සැපයි කියා හිතුවත්
ඒ ආකල්ප දෙකම මුළාවක්.

මේ ආකල්ප දෙකෙන් තොරව
තුන්වැනි "ආකල්පයක්" සත්වයාට නෑ.

තුන්වැන්නක් තියනවා නම්
පළමු සත්‍යය එයයි.

පළමු සත්‍යය කුමක්ද?

දුකත් සැපත් දෙකම තියෙන්නෙ
'විඳීම' තුළයි.
දුක් විඳින්නාට සැපක් තියනවා.
සැප විඳින්නාට දුකක් තියනවා.

සැප දුකට සාපේක්ෂයි.
දුක සැපට සාපේක්ෂයි.

මේ සාපේක්ෂක දහම් ඉවත් කිරීම
නොවිඳීම කියා පිළිගන්නා අය
මෝහයට පත් වෙලා, නිර්වින්දනය වෙලා
දුක සැප දෙකෙන්ම මිදී ඉන්න හිතනවා.
සියල්ල හොඳින් සිදු වෙද්දි
ඔවුන් ඒ සුවය විඳිනවා.
දැඩි හෝ පොඩි කායික දුකක් ආවම
ඔහුගෙ සුව සිහිනය බිඳෙනවා.

දුක හෝ සැප 'නොවිඳීම' තුළත්
''සැබෑ නොවිඳීම'' නැහැ.
දුකට හෝ සැපට නිර්වින්දනය වී
සැප කියන මුළාව තුළ ජීවත් වෙන කෙනෙක්
ඔහුගෙ කයට වේදනාවලට නිර්වින්දනය වෙනවා.
ලෝකය ඔහු ශල්‍යකර්ම වලට බඳුන් කරද්දි
ඔහු නිර්වින්දනය තුළ සුවයෙන් වෙසෙනවා.

ඔහුට තියන පහසුකම් ඔබටත් තියනවා නම්
ඔබටත් ඒ නිර්වින්දනය තුළ සැප විඳින්න පුලුවන්.
හිසේ කැක්කුමකට, දත කැක්කුමකට
ඒ වින්දනය ඔබෙන් පැහැරගන්න
ඔබේ කයට හ වේදනාවලට පුලුවන්.

නිර්වින්දනය තාවකාලිකයි.

දුකත් සැපත් දෙකම පිළිබඳව සිහියෙන්
දුක දුකක් ලෙසත්, සැප සැපත් ලෙස නොවිඳ ඉන්න
සියලු සත්වයන් අතර මිනිසාට පමණක් පුළුවන්.

ඔහු නිර්වින්දනය වූ කෙනෙක් නොවෙයි.
ඔහුගෙ වින්දනය උපරිමයි.
සැප තුළ අතරමං වෙන තැනැත්තාත්
දුක තුළ අතරමං වෙන තැනැත්තාත්
දුක සැප විඳිමින් සැලෙමින් ගමන් කරනවා.
දුකට නිර්වින්දනය වූ තැනැත්තා
තාවකාලික මායාවක තනිවෙලා වෙසේනවා.

දුක සැප විඳින අයට
සතුරන් සහ මිතුරන් ඉන්නවා.
ඔහු මිතුරාට තමා ළඟට එන්නට
ඔහු විසින් දෙන අවසරය සහිත
හැඳුනුම්පතක් නිකුත් කරනවා.

ඔහු නිකුත් කළ හැඳුනුම්පතක් නැති කෙනෙක්
ඔහු අසලට ආවොත්
ඔහු කරන හතුරු කමක් නිසා
ඔහුගෙ සැප හමාර වෙන්න පුලුවන්.
ඔහු වටා සකස් කළ පවුරකින්
සැප කියන මායාව ඔහු රැක ගත යුතුයි.

ඒ ආරක්ෂිත පියවර තුළ
ඔහු ඈත් කර තියන දුකක් සහ
ඒ ආරක්ෂාව තුළ ඔහු විඳින සැපක් තියනවා.
සැප පුළුල් කරගෙන දුක ඈත් කළ පමණින්
ඔහු "නොවිඳින" කෙනෙක් වෙන්නෙ නෑ.
ඔහුත් අනිත් පුහුදුන් අය වගේම
''තෝරාගෙන විඳින කෙනෙක්''.

කිසියම් මිහිරි අත්දැකීමකට පත්වෙලා
කය සුඛ වේදනා වලින් රසවත් වෙද්දි
හිත රාගයෙන්, කාමච්ඡන්දයෙන් සැලෙද්දි
ඒ මොහොත තුළ එයින් සිහි විකල් නොවී..
එ සුව වේදනාවලට නොඇලී
රාගයෙන් හෝ කාමච්ඡන්දයෙන් මුළා නොවී
ඒ සමස්ත අත්දැකීම සිතින් සහ කයෙන් විඳිමින්
ඒ තුළ අකම්පිතව ක්ෂේමව නොබියව
නොසැලී වෙසෙන්නට හැකි තැනැත්තා තුළ
උතුම් වූ "නොවිඳීම" තියනවා.

කිසියම් අමිහිරි අත්දැකීමකට පත්වෙලා
කය දුක්ඛ වේදනා වලින් දැවෙමින්
හිත ද්වේශයෙන් ව්‍යාපාදයෙන් සැලෙද්දි
ඒ මොහොත තුළ එයින් සිහි විකල් නොවී..
ඒ දුක් වේදනාවලට නොඇලී
ද්වේශයෙන් හෝ ව්‍යාපාදයෙන් මුළා නොවී
ඒ සමස්ත අත්දැකීම සිතින් සහ කයෙන් විඳිමින්
ඒ තුළ අකම්පිතව ක්ෂේමව නොබියව
නොසැලී වෙසෙන්නට හැකි තැනැත්තා තුළ
උතුම් වූ "නොවිඳීම" තියනවා.

අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තාත්
ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාත් යනු දෙදෙනෙකි.
මේ දෙදෙනාගේ වෙනස කුමක්ද?

අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
කායික මානසික වේදනා වලින් සැලෙනවා.
හඬනවා.. වැළපෙනවා...
ඔහුගෙ සිත කිළිටි වෙනවා.

ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා
කායික මානසික වේදනා වලින්
සැලෙන්නෙ නෑ. කම්පා වෙන්නෙ නෑ.
හඬන්නෙ නෑ.. වැළපෙන්නෙ නෑ...
ඔහු කායික මානසික වේදනා ගැන
සිහියෙන් සහ උපේක්ෂාවෙන් පසුවෙන නිසා
ඔහුගෙ සිහිය අකම්පිතයි. ප්‍රභාස්වරයි.

"මේ සිත ප්‍රභාස්වර ය.
ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වූයේ ය.
ශ්‍රැතරහිත පෘතග්ජන තෙමේ
එය තත් වූ පරිද්දෙන් නො දනී.
මේ සිත ප්‍රභාස්වර ය....
ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදෙන්නේය..
එය ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී."

ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා
ප්‍රභාස්වර සිත කෙලෙසුන්ගෙන් මුදා ගන්නේ කෙසේද?

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.

මානසික දුකක් ඇති කරන අරමුණකදිත්
ඔහු ඒ දුක විඳින්නෙ කායිකවයි.
මානසික වේදනාවට සමගාමීව
කයෙහි ඇතිවෙන වේදනා ගැන
සිහියෙන් සහ උපේක්ෂාවෙන් පසුවෙන නිසා
ඔහුගෙ සිහිය අකම්පිතයි. ප්‍රභාස්වරයි.

සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.
සිතෙහි ඇතිවෙන සියලු දේ සමගම
සමව සරණ වේදනාවක්  කයෙහිත්  පවතිනවා.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
දුකට පත් වුණ සිතට සමගාමීව
කයෙහි පව්තින වේදනාව සිහියෙන් දකිමින්
ඒ වේදනාවට උපේක්ෂාවෙන් විසීම නිසා
කායික හා මානසික දුක් වේදනා තිබියදීත්
සිහියෙන් සහ උපේක්ෂාවෙන් වෙසෙන ඔහුගෙ සිත
ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදුණු නිසා
ප්‍රභාස්වරයි.

කායික දුක් මානසික දුක් දෙකේදිම
චෙතසිකව වේදනා නොවිඳින නිසා
'' ඒ මොහොතෙහිදී ''
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගෙ සිත ප්‍රභාස්වරයි.

''මේ සිත ප්‍රභාස්වර ය....
ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදෙන්නේය..''
කියන සිතෙහි සත්‍ය ස්වභාවය
ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී.

සැබෑ නොවිඳීම තියෙන්නෙ
කායික දුක් මානසික දුක් දෙකේදිම
චෙතසිකව වේදනා නොවිඳින
ආර්ය ශ්‍රාවකයා තුළයි.

බුදුන් වහන්සේගෙ දහම පිළිපදින කෙනෙක්
කායික දුක් මානසික දුක්වලට නිර්වින්දිතයෙක් නොවෙයි.

කායික දුක් මානසික දුක් දෙකේදිම
චෙතසිකව වේදනා නොවිඳින
ආර්ය ශ්‍රාවකයෙක්.

කායික දුක් මානසික දුක් දෙකේදිම
චෙතසිකව වේදනා නොවිඳින  ක්ෂණය තුළ
නිවන පවතිනවා.

බුදු දහම සඳහන් පොත්පත් තුළ නිවන නෑ.

බුදු දහම තුළ, පොත්පත් තුළ  තියෙන්නෙ
නිවන් මග පමණයි.

නිවන සොයාගන්න නම්
සෙවිය යුතු තැන් වෙන වෙනම
අදාළ තැන්වලම දකින්න කියා
බුදුන් වහන්සේ උපදෙස් දී තියනවා.

1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

කවර වූ සතරෙක්ද?

___මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්,
සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව
වේදනා වල වේදනා අනුව
සිතෙහි සිත අනුව
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි.

ඊනියා බුද්ධිමතුන්
පොතපත කියවමින්, දේශනා අසමින්
කාය වේදනා චිත්ත ධම්ම සියල්ලම
සිත තුළ මවන චිත්ත රූපවල දකිමින්
කාය වේදනා චිත්ත ධම්ම පිළිබඳව
මෝහයෙන් වසනවා.

එළියෙ ඇත්තටම වහිනවා.
වැස්ස සිතින් විග්‍රහ කරමින් ජීවත් වෙනවා.
මොහොතින් මොහොහොත විඳින වේදනා වලට
සාමාන්‍ය මිනිස්සු විදියටම
රාග ද්වේශ මෝහ රැස් කරමින්
සසර දික් කරගන්නවා.

දැකිය යුතු දේ වන
කාය වේදනා චිත්ත ධම්ම
අදාළ තැන්වලම දකින්න...
විපස්සනා වඩන්න..

3 comments:

  1. //////එළියෙ ඇත්තටම වහිනවා.
    වැස්ස සිතින් විග්‍රහ කරමින් ජීවත් වෙනවා.
    මොහොතින් මොහොහොත විඳින වේදනා වලට
    සාමාන්‍ය මිනිස්සු විදියටම
    රාග ද්වේශ මෝහ රැස් කරමින්
    සසර දික් කරගන්නවා.//////////////

    අනේ මන්දා සසර දිග්කර ගැනීම පිලිබඳවනම්. හැබැයි සත පහක් නොවටිනා කසල නම් මැරෙනකම් ගොඩ ගහ ගන්නවා. මම හිතන්නේ මේ සියල්ලක් වටහාගන්න ඉස්සෙල්ලා තමන් තම තමන් හඳුනාගත යුතුයි කියලා. ඒක ජීවිත අත්දැකීම් හරහා වෙන හඳුනාගැනීමක්ම තමයි වෙන්නේ. මගේ දෙමවිපියන් බෞද්ධයින්. මම තාම ජීවිතය හොයනවා. වටහාගන්න උත්සාහ කරනවා. බුදුන් නම්වූ ඒ දාර්ශණිකයා තමන් තමන් වටහා ගැනීම තුලින් ලොවට ඉතිරිකර තැබූ දේ ගැන මා තුල ඇතිවන්නේ මහා ගෞරවයක්. මම බුදුන් හඳුනාගන්නේ ලෝකය සහ ජීවිතය අතිසියුම් අන්වීක්ෂයකින් නිරීක්ශනය කෙරූ මනුස්ස පුත්‍රයෙක් ලෙසින්.

    ReplyDelete
  2. අටවා ඇති උගුලකින් බේරගන්න කරන සත්ක්‍රියාව උතුම්. වලේ වැටෙන අය වැටෙන්නේ ඔවුන්ගෙ කර්ම ශක්ති අනුව නේද? මෙවන් දේවල් සමාජයේ අන් තැන් වලත් දකිනවා. ඒවා වටහා දෙන්න යාමේදී ද්වේශයක් එනවා නේද? එවිට එය වලකාගෙන වටහා දීම කල හැකි විදිහක් තිබෙනවාද?

    ReplyDelete
  3. ඉයන්
    විඳ පසක් කිරීමෙන් දහම අවබෝධ වෙන අය
    තමන්ට අවබෝධ වෙන දේ අනෙක් අයට කීම
    බුදුන් වහන්සේ අගය කරනවා.
    අනෙක් කෙනාගෙ යහපත ගැන හිතද්දි
    ද්වේශයක් නොවෙයි...
    කරුණාවක් පහළ වෙනවා.
    ද්වේශයක් ආවොත් හිතන්න තියෙන්නෙ
    නිවන් මගට නියත පරායණ වූවන් සමග
    සසඳා බලද්දි
    ඔවුන් මෙන්ම තමනුත් අතරමග ඉන්න බව.

    ReplyDelete