20160512

මගේ බිරිඳ......සහ මම


අනුරාධපුරයේ වෙසෙන කාලයේදී
මට පැය කිහිපයකට හමුවූ ෆේස්බුක් මිතුරෙකු වන දිනූෂ
අද මගේ විවාහය ගැන මගෙන් විමසුවා.

 Dinusha Deshapriya Samaratunga [[[ බුදුන්ගේ දේශනාවෙ කියනවනේ මිනිහෙක් පරිහාණියට පත් විය යුතු කාරණා වල එකක් ලෙස , සිය වයසට වඩා ගොඩාක් තරැණ බිරිඳක් බැඳීම ගැන.
එතකොට ඒ බුදුන් කී කාරණාව ඉක්මවා ගිහින් අතුල පරිහාණයට පත් වුනේ නැත්තෙ ඇයි? කියන්න මේ සමාජයට ඒක අවශ්‍යයි.]]]

 ================================================= 

පාසල් වියේ සිටම
මම නොයෙක් වයස්වල අයට
කලින් කලට පෙම් බැඳ තියනවා.
මට වඩා වයස අවුරුදු 7කින් වැඩි කෙනෙක්,
මට වඩා අවුරුදු 22ක් බාල කෙනෙක්
ඔවුන් අතර සිටියා.

අපි දෙන්නාගේ තරම් හෝ
මේ ආකාරයේ බැඳීමක්
මින් පෙර මගේ ජීවිතයේ තිබුණේ නෑ.
මන්දිරයක සියලු දොර කවුළු
විවර කළ ආකාරයේ මිත්‍රත්වයක්
මා මින් පෙර අත්දැක
නෑ..

සබඳතාවයකින් තොරව
අන්‍යෝන්‍ය ගෞරවය පදනම්ව පැවති
අපේ මිත්‍රත්වයට බාධකයක් නොවූ
වසර 29ක් වන අපේ වයස් පරතරය
අපි දෙන්නට ප්‍රශ්නයක් වුණේ නෑ.
( අදටත් නෑ කියන්න කියලා බිරිඳ කියනවා :)

චාලි චැප්ලින්ගෙ සිව්වන සහ අවසාන බිරිඳ සහ
ඔහු අතර පරතරය වසර 36ක්.
ඔවුන් වසර 34ක යුග දිවියක් ගත කළා.
දරුවන් අටදෙනෙක් ලැබුවා.

අපේ වයස් පරතරය නිසා
ගැටළු ඇතිවෙන්න ඉඩ තියන අවස්ථා
අපි උවමනාවෙන් මග හරිනවා.
ඒ කැපකිරීම් හිතට බරක් වුණත්
අපි දෙදෙනා වෙනුවෙන් කරනවා.

පසුගිය කාලෙ මම ලබාගත්
බොහෝ දේවල් වල පදනම ඇයයි.
අපි සසර බොහෝ ජීවිතවල එකට ගමන් කරලා ඇති.

අපි පැය විසි හතරම වගේ
එකටම ගත කරන දෙන්නෙක්.
අපි වසර එකොළහක් වෙන විවාහ ජීවිතේ
වෙනත් අය එක්ක
අනියම් සම්බන්ධ කම් පවත්වලා නෑ.

මම මිතුරියන් ඇසුරු කරන්නෙ නෑ.
ඇය මිතුරන් ඇසුරු කරන්නේ නෑ.
අපි වැඩිය ඇසුරු කරන්න කැමති
පවුල් වශයෙන් ඉතාම සීමිතවයි.
අපි යන හැම තැනම වගේ යන්නෙ එකට..
අපි එකිනෙකා කරන දේවල්
අපි දෙන්නම දන්නවා.

අපිට පුද්ගලිකත්වයක් කියා දෙයක් නෑ.
අපි දෙන්නාම විවෘත වීමට බැඳී සිටිනවා.

අපි වෙනම ගත කරලා තියෙන්නෙ
ඉතාම කලාතුරකිනුයි.
එක අවස්ථාවක් පුතා ලැබුණ වෙලාවෙ.
අනෙක් අවස්ථා දෙකක්
දස දින විපස්සනා පාඨමාලා දෙකක්
කරද්දි ඒ පාඨමාලාවෙ විනය නීති අනුව.
දෝණි ලැබුණේ මහමගදි
රෝහලට යමින් සිටි ත්‍රී වීලර් එක තුළම
මගේ අතටයි.
එදාම හවස
ඔවුන් ගෙදර ආවා.

මම මත්පැන් බොන්නෙ නෑ.
දුම් බොන්නෙ නෑ.
අපි හතර දෙනාම මස් මාලු කන්නෙ නෑ.
අපි ඉඳල තියෙන්නෙ කුලී ගෙවල් වලමයි.
අපිට වාහනයක් නෑ.
අපි වාහන පදවන්න දන්නෙත් නෑ.
වැඩිපුර යන්නෙ බස් රියෙන් දුම් රියෙන්.

අපි සාදයකට යන්නෙ නොගිහින්ම බැරි නම් විතරයි.
මේ අවුරුදු එකොළහටම
අපි ගිහින් තියෙන්නෙ මංගල සාද දෙකකට විතරයි.

මට ගොඩක් යාලුවො නෑ.
ඇයට
ත් ඉන්නෙ සමීප නෑදෑයන් පමණයි..
වසරකට කිහිප දෙනෙකුට වඩා
අපේ ගෙදර එන්නෙ නෑ.
අපි යන්නෙත්
සීමිත නිවෙස් කිහිපයකට පමණයි..

අපි තරම් එකටම කාලය ගත කරන දෙන්නෙක්
මම දන්න අය අතර නැහැ.

අපි අතර අඬ දබර වලදි
අපි සම්පූර්ණයෙන් විවෘතයි..
"අපෝ හිත රිදෙයි" කියා
අපි එකිනෙකා රකින්නෙ නෑ.
සැක නම් කියනවා. සීමා දානවා.

කෝපය වි
බීජයක් නොවෙයි.
පැමිණිල්ලකට විශේෂණයක් විතරයි.
ඕන තරම් කෝප වෙන්න, දොස් පවරාගන්න
අපි දෙන්නටම අවසර තියනවා.
================
සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.

සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.
“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.
ක්‍රෝධය කෙමෙන් කෙමෙන් නැතිවෙන්නට
ඒ පදනම උපකාරීවෙනවා.
අත්තානං දමයන්ති පණ්ඩිතා.
බුදු දහමෙ මූලිකම පදනම
පිරිසිදු බව නොවෙයි..
අපිරිසිදු තැනැත්තාගේ
ආත්ම දමනයයි..
පිරිසිදු වෙන්නට හැකියාව ලැබෙන්නේ
ආත්ම දමනය ඇත්තාට පමණයි.

================
ඕන තරම් කෝප වෙන්න, දොස් පවරාගන්න තිබුණ
ඒ විවෘත භාවයත් නිදහසත් නිසා
ප්‍රශ්න විසඳාගන්න අවශ්‍ය වෙන
මානසික ශක්තිය අඩුවෙනවා.
ශක්ති අවශ්‍යතාවය
ගල් කටුවෙන් කොටන සෙල් ලිපි වල ඉඳලා
ඇඟිලි තුඩෙන් කරන
මොබයිල් ෆෝන් සන්නිවේදනයට වගේ
සියුම් වෙමින් යනවා.

අපි විනෝදය පතා කරන කියන දේවල්
බොහෝ දුරට සමානයි.
ඇගේ ප්‍රධානම විනෝදාංශය
මගේ කුඩා කාලෙ විනෝදාංශයම නිසා
ඇයට ඕන තරම් පොත් ලැබෙනවා.

ඇය චිත්‍ර වලට කැමතියි..
සමහර අංශ වලින්
මට වඩා හොඳට අඳින්න පුලුවන්.

මම විපස්සනා ගැන කියන දේ
දැනුම මට්ටමෙන් අවබෝධ කරගෙන
මම කියන දේට හවුල් වෙන්න
ඇය තරම් දක්ෂ කෙනෙක්
මට මෙතෙක් හමු වෙලා නෑ.

අපේ සම්බන්ධයට හානි වෙයි කියා හිතෙන
සබඳතා අපි පවත්වන්නෙ නෑ.
අපි දෙන්නගෙ සබඳතාවයට බාධාවක් වෙනවා නම්
ඒ දේ අපි ප්‍රතික්ෂේප කරමු
කියන එකයි අපේ සම්මුතිය.

බොහෝ අවස්ථාවල
මගේ ජීවිතයට තදින් බලපාන
ඉතාම වැදගත් යෝජනා
වරින් වර ඇගෙන් ලැබී තියනවා.
ඒ යෝජනා ක්‍රියාත්මක කිරීම
මගේ තීරණයක්.

අපි අතරෙ එකඟතාවයක් නැති දේවල්
අපි යටපත් කරන්නෙ නෑ.
පැය ගණන් දින ගණන් සති ගණන්
මාස ගණන් වාද වෙලා හරි
එක තැනකට එන්න උත්සාහ කරනවා.

අපි දෙන්නම එකිනෙකාගෙ බලපෑම් ඉවසන්නෙ නෑ.
සමීපම පිරිසක් ඇති තැනක මිසක්...
අපි ප්‍රසිද්ධියෙ එකිනෙකාට දොස් පැවරීම
ඉවසන්නෙ නෑ.

පරිත්‍යාගයෙදි ප්‍රමාණාත්මකව, ගුණාත්මකව
සහ චේතනාත්මකව අපි බොහෝ දුරට සමානයි.
අපි හැම දේකදිම දෙන්නෙ න..
දුන්නාම එකට සතුටු වෙනවා.

පොත්පත්, සිනමාව, ටෙලිනාට්‍ය, ගීත, චිත්‍ර ආදියෙදි
සමානතා ගොඩක් තියනවා.
වෙනසක් තිබුණත් අපට එකට විඳින්න පුලුවන්.
අපි
වසර එකොළහ විවාහය තුළම
ගුවන්විදුලි නාලිකාවලට සවන් දීල නෑ.
අපි 2010 දෙසැම්බර් වල ඉඳලා
කිසිම රූපවාහිනී නාලිකාවක් බලන්නෙ නෑ.
අපි ලෝකෙ දැනගන්නෙ සීමිතව, අන්තර්ජාලයෙන්.

දිනූෂගෙ ප්‍රශ්නයෙ වැදගත්ම කොටස.

පරාභව සූත්‍රයෙ තියෙන්නෙ මෙහෙමයි
.‘‘අතීතයොබ්‌බනො පොසො,
ආනෙති තිම්‌බරුත්‌ථනිං;
තස්‌සා ඉස්‌සා න සුපති,
තං පරාභවතො මුඛං’’.

අතීත යොබ්බනෝ පුරිසො.
කායිකව මහළු වෙමින් සිටියත්
අපි අතර සබඳතාවයට
වැඩියෙන් බලපාන මගේ මානසික යොවුන් බව
අතීතයට ගිහින් නෑ කියා
අපි දෙන්නාම විශ්වාස කරනවා.

කායික මහළු බවත් මානසික මහලු බවත් දෙකක්.
කායික මහලු බව පේශි වලට අදාළයි.
ඒ මහළු බව බුදුන් වහන්සේටවත්
වලක්වන්න පුලුවන් වුණේ නෑ.

මානසික මහළු බව ඇති වෙන්නෙ
රාග ද්වේශ මෝහ රැස්වීම නිසා.
වෛද්‍ය විද්‍යාත්මකව නම්
නිතර ගෙනයන පණිවිඩ සහ
තණ්හාව උපාදාන වීමෙන් ඕවර්ලෝඩ් වෙන
මොළයේ සහ ස්නායු පද්ධතියේ
රසායනික සංයෝග වෙනස් වී පැවැත්ම නිසා.
මනස මහළු වෙනවා.

ශීල සමාධි වඩන අය තුළ
මේ වෙනස් වීම් ඇතිවීම පාලනය වෙනවා.
විපස්සනා කිරීමෙන් අතීතයේ සිදු වුණ
සසරේ අප හා ගමන් කරන වෙනස් වීම් පවා
නැවත යථා තත්වයට පත් වෙනවා.
ඒ සියල්ලම සකස් වූ කෙනෙක් රහත් වෙනවා.

විපස්සනා කරන කෙනෙකුගේ
රාග ද්වේශ මෝහ ක්ෂය වෙද්දි
කය වයසට ගියත්
මානසික යොවුන් බව වැඩෙනවා.
කය වයස්ගත වෙද්දි
මනස පිරිසිදු වෙමින් ළාබාල වෙනවා.

අපි දෙන්නාගෙ සම්බන්ධයෙන්
සියයට අනූවකටත් වඩා මානසිකයි.
කුමක් හෝ ප්‍රශ්නයක් නිසා
මානසිකව ඈත් වූ වෙලාවල් වලදි
කායිකවත් විසංවේදී වෙනවා.

ආනෙති තිම්‌බරුත්‌ථනිං
මගේ බිරිඳගෙ මට පෙනෙන්නෙ
කය ඉක්මවා ගිය සුන්දරත්වයක්.
මම දන්නවා
ඇය වෙන කාටවත් මට තරම් සොඳුරු නැති බව.
මේ ගැටළුවත් අපිට නෑ.

තස්‌සා ඉස්‌සා න සුපති,
නිදි වැරීම නම් අනන්තයි.
මුලු රෑම "න සුපති" දවසුත් තියනවා.
ඒත් ඇය ගැන  ඉරිසියාවට නොවෙයි..
බොහෝ දිනවල
ෆේස්බුක් සමාජ ජාලයේ ධර්මය ටයිප් කිරීමට.

ආර්ය ශ්‍රාවකයාට
සම්පජානෝ සතියෙන් නිදි වැරීම
බුදුන් වහන්සේ අනුදැන වදාළ නිසා
නිදි වැරීමත් පිරිහීමට හේතු වෙලා නෑ.

මම නින්දට යන තුරුම
ඇයත් මා සමග ඉන්නවා.
දෙක තුන වෙන විට නින්දට පත්වුණත්
ඉන්නෙ මා අසලම තමයි.
මම පරිගණකයෙන් නික්මෙන්න
බොහෝ විට හේතු වෙන්න
ඇය නින්දට වැටීම තමයි.

ශීල සමාධි ප්‍රඥා වශයෙන්
බුදු දහමෙන් අපට ලැබෙන මග පෙන්වීම
අපේ ලෝකයට පායන සූර්යයා වැනි
ප්‍රබලම ආලෝකයයි.

අපි එකිනෙකාට ආකර්ෂණය වෙන්න
චිත්‍ර ශිල්පයට, පොත් කියවීමට, නිසඳැස් ලිවීමට
අප තුළ තිබුණ කැමැත්තත්
අපේ සම්බන්ධය ඇති වෙන්න
ඇය උසස්පෙල ව්‍යාපෘතිය වශයෙන්
විපස්සනා දසදින පාඨමාලාව තෝරා ගැනීමත් හේතුවුණා.
මගේ බිරිඳ විවාහයට පෙර
දස දින විපස්සනා පාඨමාලා දෙකකුත්
පුතා ලැබෙන්න ඉන්න වෙලාවෙ
පාඨමාලා දෙකකුත් කළා.

ඇය මා තරම් කැපවීමෙන්
විදසුන් වැඩීමෙහි නොයෙදුණත්
විපස්සනා පිළිබඳව ඇගේ ගෞරවය සහ
එහි හරය පිළිබඳව ඇති අවබෝධය
මගේ ජීවිතයට විශාල පහසුවක්.

අපි දෙදෙනාත් අන් සියල්ලන්ම වගේ
හොඳ නරක දක්ෂතා සහ දුර්වලකම් සහිත
 මිශ්‍ර චරිත දෙකක්.
ඒ හොඳ සහ දක්ෂතා අවශ්‍ය නිසා
නරක සහ දුර්වලකම් සම සිතින් පිළිගන්නවා
ඒත් අපේ විවාහය ගත වෙද්දි
නරක නිලීන වෙලා හොඳ ඉතිරි විය යුතුයි කියා
අපි දෙදෙනාම විශ්වාස කරනවා.

ඔබට ගැටළු ඇත්නම් විමසන්න.
විවේචනය කරන්න. යෝජනා කරන්න.
පහත ඇති ඔබට හිමි පෙදෙසෙහි
ඔබේ අදහස් දක්වන්න.

ඔබ වැරදි නම් අපි පිළිතුරු දිය යුතුයි.
ඔබ නිවැරදි නම් අපිත් මේ ලිපියත් සංස්කරණය විය යුතුයි.




4 comments:

  1. තනිකරම භාවනාවක් වගෙයි..

    හැබැයි මෙතැන ජීවිතය විදීමක් නැති බවක් පේනවා..
    නමුත් හැම වින්දනයක අවසානය දුක බව දන්නා දෙපලකට, ඒ විදීම රසයක් නොවන බව මට තේරෙනවා.

    ජය !

    ReplyDelete
    Replies
    1. අපි අල්පේච්ඡ විදියට ජීවිතය විඳිනවා.
      සොබා දහමට සමීපව, එකඟව
      සංයමයෙන් විඳිනවා.
      අප අතර සබඳතාවයේ දොළොස් මහේ පහන
      නොනිවා දල්වා ගන්නට අවශ්‍ය ප්‍රමාණයට
      අපි ජීවිතය විඳිනවා.

      දරුවන්ටත් ඒ සීමාවේ ඉන්න හුරු කරනවා.

      අපි දවල්ට ෆ්‍රයිඩ් රයිස් ආහාරයට ගත්තොත්
      අයිස්ක්‍රීම් ඒ වෙලටම එක් කරගන්නවා.
      රාත්‍රියට අපි ගන්නේ තැම්බුම් හොද්දක් සමග බත්.
      ඒ දෙකම ඉක්මණින් ඉවර වෙනවා.

      සමහර වේල් වලට අපි ගන්නේ
      පිපිඤ්ඤා සලාදයක් සමග බත්.
      ඉඳ හිට ලුණුයි පොලුයි බතුයි ගන්නවා.
      නැත්නම් සාමාන්‍ය විදියට ආහාර ගන්නවා.

      අනික් හැම දෙයක්මත් එහෙමයි.

      සමහර වෙලාවට
      දරුවන් ඉල්ලන වෙලාවට
      ඉල්ලන දේ අතේ තියාගෙන
      නැති බැරිකම හුරුකරන්නටම,
      නෑ බෑ කියනවා.
      නෑ බෑ කිව්වා කියා ඔවුන් තැවෙන්නේ නෑ.
      වෙනත් වෙලාවක, වෙනස් ස්වරූපයකින්
      ඒ දේ ඔවුන්ට ලැබෙන්න සලස්වනවා.

      මම අල්පේච්ඡතාවය දකින්නේ
      දහයක් අවශ්‍ය කෙනෙක්
      දොළහක් පහළොවක්, තිහක් හතලිහක්
      දෙතුන් සියයක් හෝ දාහක් අතේ තියාගෙන
      නවයකින් තෘප්තිමත් වීම විදියටයි.

      Delete
  2. එක අකුරක් නෑර කියෙව්වා...මම කවදත් අතුල අයියාගේ පෝස්ට් ආසාවෙන් කියවනවා.

    ReplyDelete