20160403

කෝපය තියෙද්දි සැනසිල්ලෙ ඉන්න පුලුවන්..





Sampath Janaka හරි මම දැන් ගොඩක් තරහ යන කෙනෙක් කියල හිතමුකෝ ,මට ඒ තරහ සම්පුර්න නැති කරන විදිය තේරන සිංහලයෙන් කියන්න, උපුටා ගැනීම් පිලි නොගනී
=============================

ඉතාම හොඳ මාතෘකාවක්..
අපි කතා කරමු..

මේ ක්‍රමය මම සොයා ගත් ක්‍රමයක් නොවෙයි..
මම අනුගමනය කරන ක්‍රමයයි..
මගේ පැහැදිලි කිරීම කරන්නෙ බුදුන් වහන්සේට අනුවයි..
පළමුවෙන්ම කිව යුත්තෙ
අපට තරහ එන එක වළක්වන්න බෑ.
තිරිසන් සතෙකුට වුණත් තරහ එනවා.
කෝපය කියන්නෙ
ප්‍රශ්න වලට මුහුණ දෙන
ස්වාභාවික මෙවලමක්.

විරුද්ධ බලවේග වලට මුහුණ දීමට
හැම සතෙකුටම නිරන්තරයෙන් සිදුවෙනවා.
විරුද්ධ බලවේගය දුර්වල නම් සත්වයාට තරහ එනවා.
තමන් දුර්වල නම්
ඒ ආවේගයම භය විදියට මතු වෙනවා.
තරහ ආවොත් සත්වයා සමග ගැටෙනවා.
භයවෙන සත්වයා පැනලා යනවා.

බුදු දහම විසින්
තරහ භය දෙකම හඳුන්වන්නෙ
ද්වේශය විදියටයි.
පිළිකුළ, අවඥාව, අප්‍රසාදය,
දුක, කනස්සල්ල ආදී
අපිට අප්‍රිය සියලු හැඟීම් ද්වේශයයි.

මේ ස්වාභාවික අවශ්‍යතා
නැති කළ නොහැකි නිසා
බුදු දහමට අනුව ආවේග මතුවීම
දුර්වලකමක් හෝ රෝගයක් ලෙස හෙළා දකින්නෙ නෑ.
එයින් ඔහු රකින්න හදන්නෙත් නෑ.
මතුවුණ ද්වේශයෙන් හානිකර ලෙස ප්‍රතික්‍රියා කිරීම
තමා විසින්ම පාලනය කරන්න මග පෙන්වීම
බුදු දහමේ හරයයි

ක්‍රෝධය කියන්නෙ තරහෙ උපරිම අවස්ථාවයි.
''ක්‍රෝධය ආවත් කමක් නෑ, ආත්ම දමනය තියනවා නම්''
කියා බුදුන් වහන්සේ කියනවා.
මිනිසාගේ සීමාවන් ගැන
උන්වහන්සේට තිබුණ නිවැරදි අවබෝධය නිසා
වසර 2500ක් ඉක්මවමින් බුදු සසුන පවතිනවා..

කෝපය වරදක්, මදිකමක්, රෝගයක් ලෙස සලකා
ලෝපය නැති කරන්න කියා උන්වහන්සෙ අපට කියන්නෙ නෑ.
තරහ එන කෙනෙකුට
හිත දමනය කරගන්න ක්‍රමයයි
උන්වහන්සේ දේශනා කරන්නෙ.
මිනිස් සිතේ ඇතිවෙන සියලුම ප්‍රශ්නවලට
ඒ ක්‍රමය තුළ නිශ්චිත විසඳුම තියනවා.

ක්‍රෝධයෙන් පසුවෙන කෙනෙක් ගැන
බුදුන් වහන්සේ කියන්නෙ
'' සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.

සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.''

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.
ක්‍රෝධය කෙමෙන් කෙමෙන් නැතිවෙන්නට
ඒ පදනම උපකාරීවෙනවා.

මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.

අත්තානං දමයන්ති පණ්ඩිතා.
බුදු දහමෙ මූලිකම පදනම පිරිසිදු බව නොවෙයි..
අපිරිසිදු තැනැත්තාගේ ආත්ම දමනයයි..

ආත්ම දමනය ඇත්තාට දහම් මග විවෘතයි.
පිරිසිදු වෙන්නට හැකියාව ලැබෙන්නේ ඔහුටයි.

කෝපවීම පිළිබඳව සැලකීමෙදි
බුදු දහමෙ මූලික විසඳුම කෝප නොවී සිටීම නොවෙයි.
කෝප වූ කෙනෙක් ඒ කෝපය මුල් කරගෙන
හානිකර ලෙස හැසිරීමෙන් වැළැක්වීමයි.
එසේ කෝපයෙන් කැළඹුණ කෙනෙකුට
බුදුන් වහන්සේ මුලින්ම කියන්නෙ
තමන්ට තමන් උපමා කරගෙන
හිංසා නොකරන්න, නොමරන්න කියායි.
කෝපය ගැන කිසිවක් කියන්නෙ නෑ.

ඔබ මුලින්ම කළ යුත්තෙ
කෝපය ක්‍රෝධයක් බවට පත්වුණත්
ඉතා වේගයෙන් දුවන රථයක්
අශ්වයාගේ රේන්ස්පටි වලින් ඇද
නිසි පරිදි හසුරුවා ගන්නක් මෙන්
සිත මනාව හසුරුවා ගැනීමයි.

මේ බුදු දහමට අනුව
ආත්ම දමනය උපදවා ගැනීමේ
පළමු පියවරයි.
අපි ඒ පියවර ශීලය කියා නම් කරමු.

ඔබේ ශීලය නිසා ඔබේ කෝපයෙන් හානි නොවී
අනෙක් පාර්ශවය නිදහස් වුවද ඔබේ දුක අවසන් නොවෙයි..
ඒ ක්‍රෝධයෙන් ඔබ තවමත් දුක් විඳිනවා. දැවෙනවා.
ඒ දුකෙන් මිදෙන්නට ඔබට දෙවන ක්‍රමය භාවිතා කළ හැක.

දෙවන ක්‍රමයේදී ඔබ
කරන්නේ
ඔබත් අරමුණත් අතර ඇති
සම්බන්ධය බිඳ සිත
ඔබ තුළ ර
වා ගැනීමයි.
ඒ සඳහා මෙතෙක් කළාක් මෙන්
අනෙකා ඉවත් කරනවා වෙනුවට
ඔබට ඒ ස්ථානයෙන් ඉවත්ව යා හැක.
කෝපයට ප්‍රති විරුද්ධ අරමුණකට
සිත යොමු කිරීම කළ හැක.
උදාහරණයක් කිව්වොත්.
ඔබට ආනාපාන සතිය වඩන්න පුලුවන්.
වෙනත් අරමුණකට යොමු වෙන්න පුලුවන්.
එවිට ඔබේ හිතේ කෝපය ඇති කළ අරමුණ
උපාදාන වීම වළකී.
සිතේ කැළඹීම නිවෙයි.
මේ විසඳුම සඳහා
ඔබට සිත සමග ක්‍රියා කිරීම ප්‍රමාණවත්ය.

මෙවන් ක්‍රම වලින් කෝපය මග හරින්නා
අරමුණ පිළිබඳව මෝහයෙන් පසුවෙයි.
කය පිළිබඳව සිහියෙන් වඩන ආනාපාන සතිය හැර
වෙනත් සමථ ක්‍රමවලදී
ඔහු කය පිළිබඳවද මෝහයෙන් වෙසෙයි.
දුකෙන් මිදෙන්නට වෑයම් කරන්නා
සමාධිය වඩා සමාධියෙන් නතර වීමට
මිනිසාට නොහැකි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ
තමා පිළිබඳව මෝහය සහ
අරමුණ පිළිබඳව මෝහය
ගැටළු ඇති කිරීමයි.
.
සමථ  ක්‍රම භාවිතා කරන්නන්
ලෞකික ධ්‍යාන ලැබූ පසු
බැහැරින් රහතුන් මෙන් පෙණුනත්
වරින් වර ඔවුන්ද නොදැනුවත්වම
කෝපයට යටත්ව හැසිරෙන්නෙ ඒ නිසයි..
සමථ අළුවලින් වසා දැමුවාට
ද්වේශ ගිනි පුපුරු තවමත් අලු යට ගිනි පුපුරු තියනවා.

ඒ නිසා ඔබට හැම විටම
ඉහත ක්‍රම උපයෝගී කරගත නොහැක.
ඔබ කෝපවූ විට එම කෝපයෙන් මත්වී කරන
හානිකර ක්‍රියාවන්ගෙන් වැළකීමට හෝ
එම අරමුණෙන් සිත ඉවත් කරගෙන
සිතේ මතුවෙන සංස්කාර
සමථයකට පත් කර ගැනීමට
අවකාශ නැති අවස්ථා මතුවිය හැක.

ඉහත දැක්වෙන ක්‍රම දෙකම
බුදු සමයට පෙර සිටම පැවතුණත්..
තුන්වෙනි ක්‍රමය වන විදර්ශනාව
අප දන්නා මිනිස් ඉතිහාසය තුළ මුලින්ම සොයා ගත්තේ
ගෞතම බුදුන් වහන්සේය.

විදර්ශනාව අනුගමනය කිරීමට නම්
සිත සමග පමණක් ක්‍රියා කිරීම
ප්‍රමාණවත් නැත.
අප සිත සහ කය දෙකම සමග ක්‍රියා කළ යුතුය.


සිතත් කයත් දෙකක් වශයෙන් නම් කළද
ජීවත් වන තුරුම මේ දෙකම එකක් ලෙස
සමස්තයක් ලෙස, ඒකකයක් ලෙස ක්‍රියා කරයි.

සිතෙහි ඇති වෙන වෙනස් කම් කයටද,
කයෙහි ඇතිවෙන වෙනස් කම් සිතටද බලපායි.


සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.
සියලු චිත්ත රූපක සමග
ඊට අදාළ වේදනාවක් කයෙහි පවතියි.

සිතෙහි කෝපය දකිනවාට වඩා
කායික සංවේදනාව දැකීම පහසුය.
ඔබ කයෙහි වේදනා ගැන සිහියෙන් පසුවෙනවිට
සිතට කෝපය පවත්වාගත නොහැක.
වේදනාව එක තලයක් පමණි.

ඔබ කෝපයට පත්වන විටම
කෝපයට සමානුපාතිකව
ඔබ තුල වෙනස්කම් හතරක් සිදුවෙයි.

1, 

ඔබේ සිතේ මතුපිට තලය ව්‍යාපාද නීවරණයෙන් අඳුරු වෙයි.
2,
ඔබේ ගැඹුරු සිතෙහි ද්වේශය පහළ වෙයි.
3,
ඔබේ කයෙහි ඔබට අප්‍රිය, දුක්ඛ වේදනාවකි.
4,
කය සහ ඉරියව් දැඩි වී ඇත.

අරමුණ සමග කෝපයෙන් දැවෙමින්
සිතින් වචනයෙන් හා විටෙක කයෙන්ද
ප්‍රතික්‍රියා කරමින් සිටින ඔබට
මේ කිසිවක්ම නොපෙනෙන බව සැබෑය.
එහෙත් ඔබ කෝප ගන්නා හැමවිටම
මේ සියල්ල ඔබ තුළ සිදුවෙයි
.

ඔබ දන්නේ ඔබේ කෝපය ඇවිස්සූ අරමුණ සහ
ඒ අරමුණට කළ යුතු දේ පමණි
ඒ අරමුණ සමග කෝපයෙන් පසුවන ඔබ
ඔබ දන්නා හොඳම වචන වලින්
හා කෝපාවිෂ්ඨ ක්‍රියාවන්ගෙන්
ඔබගේ කෝපය හොඳින් පළ කරමින් සිටියි.

එම වචන හා ක්‍රියා ගොඩ නගන්නේ
ඔබේ ද්වේශ සිත වන අතර
එහි ප්‍රතිඵලය
ඔබේ සිත වැහී ඇති ව්‍යාපාද නීවරණයයි.

ඔබට සිතෙහි ව්‍යාපාද නීවරණය
දැනෙන තරමට සිහිය තිබුණොත්
සිත කෝපයෙන් පසුවන නමුත්
ඔබේ වචන හා ඉරියව්
පෙරට වඩා සන්සුන් වෙයි.

ඒ අවස්ථාවෙදි
ඔබට ඔබේ සිතේ ඇති ව්‍යාපාදයට
උපේක්ෂාවෙන් ඉන්න පුලුවන්....
ඇති වූ ව්‍යාපාදය නැති කරගැනීම
වහා කළ නොහැකි නමුත්
සිතේ ඇති ව්‍යාපාදයට උපේක්ෂාවෙන් ඉන්න
ඒ අයුරින් පුහුණු විය හැකියි.
දක්ෂ නායකයන් හොඳ ගුරුවරු ආදීන්
මේ අයුරින් ක්‍රියා කරනවා.
ඔවුන් ගන්නා දැඩි තීරණ
ද්වේශයෙන් කරන පළිගැනීම නොවෙයි.

ව්‍යාපාදයට උපේක්ෂාවෙන් ඉන්න තරම්
සිත  සන්සුන් කරගන්නා පුද්ගලයෙකුට
ඊට වඩා සියුම් වූ ද්වේශ චිත්තය දකින්න පුලුවන්.
ද්වේශ සිතිවිලි ඇති කර නොගෙන
සිහියෙන් පසු වෙන කෙනෙකුට
ඇති වූ ද්වේශය නැති කරගැනීම
වහා කළ නොහැකි නමුත්
සිතේ ඇති වන ද්වේශයට
උපේක්ෂාවෙන් වෙසෙන්න පුලුවන්.

ද්වේශ චිත්තය දකින ඔහුට
ඒ චිත්ත ධාරාවට මුල්වූ
කයෙහි වූ දුක්ඛ වේදනාව දැකිය හැක.
ව්‍යාපාදය හා ද්වේශ චිත්තය පිළිබඳව
සිහියෙන් හා උපේක්ෂාවෙන් සිටිනවාට වඩා
කයෙහි ඇති අප්‍රිය වේදනාවට
උපේක්ෂාවෙන් සිටීම වඩා පහසු වෙයි.

සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.
සියලු චිත්ත රූපක සමග
ඊට අදාළ වේදනාවක් කයෙහි පවතියි.

මේ නිසා සිත දකින්නා වේදනාත්
වේදනා දකින්නා සිතත් දකී.
මේ දෙකම දකින්නා කයද දකී.

කය සමස්තයක් ලෙස දකිනවිට,
කයෙහි දැඩි බවද ඔබට පෙනෙයි.
ව්‍යාපාදයත්, ඊට මුල්වූ ද්වේශයත්,
ද්වේශයට පාදක වූ වේදනාවත්
එකම සමස්ත අත්දැකීමකි.

මේ සමස්ත අත්දැකීම පිළිබඳව සිහියෙන් සිටින විට
වේදනා, සංඥා සහ විතර්ක  ඇතිවෙන ආකාරය
පවතින ආකාරය, සහ නැතිවෙන ආකාරය
ඔහුට දැකිය හකි නම්
ඔහු සම්පජානෝ සතියෙන් පසුවෙයි.

ඔබ තවමත් කෝපයෙන් පසුවුවද
1,
මතුපිට සිතේ ව්‍යාපාද නීවරණය
2,
ගැඹුරු සිතෙහි ද්වේශය
3,
කයෙහි අප්‍රිය, එනම් දුක්ඛ වේදනාව
4,
ඉරියව් දැඩි වූ කය යන
සතර පිළිබඳව සිහියෙන්,
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් වෙසෙන විට
සිත නිර්මලව පවතින හෙයින්
ඔබ කළයුතු දේ පිරිසිදුව සහ
සංවරව කළ හැක.

බුදු දහම ඔබ තුළම විඳ පසක් කරන්න.
මී ළඟට ඔබට කෝපයක් ඇති වූවිට
ඔබ තුළ සිදුවන වෙනස් කම් දකින්න.
කෝපය පහවූ පසු ඔබ සිටින තත්වය
කලින් සිටි තත්වය සමග සසඳන්න.

ඔබ කෝපයෙන් වියරු වැටෙන කෙනෙක් නම්
මෙම සිහිය නිසා ඔබ වෙනස්වන අයුරු
ඉතා ඉක්මනින් ඔබට පැහැදිලි වනු ඇත.

ඔබ තුළ ඇතිවන සියලුම ආවේග
මෙම දර්ශනය අනුව විමසා බලන්න.

නිදිමත, කම්මැලිකම ආදියත් අත් නොහැර විමසන්න.
අවස්ථා හතර වෙන් වෙන්ව දැකීම අවශ්‍ය නොවේ.
සමස්තයක් ලෙස දකින්න.
ක්ෂණයක් පාසා අත්දැකීම වෙනස් වෙන අයුරු දකින්න

හැකි හැම විටම සමස්තයක් ලෙස, ඒකකයක් ලෙස,
ඔබේ කය හා සිත පිළිබඳව ඔබ පිළිබඳව, සිහියෙන් සහ
ඔබට දැනෙන දේට උපේක්ෂාවෙන් ඉන්න.

හොඳ නරක වශයෙන් වර්ග නොකරන්න.
මැදහත් ගවේශකයෙකු ලෙස ඔබ දෙස බලා ඉන්න.


එසේ බලා සිටින විට
අවසන පසක් වන සත්‍යය නම්
ඔබ තුළ සිදුවන දේ ඔබ කරන දෙයක් නොවේ.
ඔබ දක්වන ප්‍රතික්‍රියාවක් පමණකි.


ඔබට කෝපය ඇතිවූ විට ඔබ කරන්නේ
බාහිර අරමුණ නිසා ඔබ තුළ මතුවෙන දේට
සිතිවිලි වලින්, වචනයෙන් හා ක්‍රියාවෙන්
ප්‍රතික්‍රියා දැක්වීමයි.

ඔබට කෝපය ඇතිවූ විට,
සුපුරුදු රටාවෙන් මිදෙන්නට හැකි නම්
ඔබ තුළ සිදුවන වෙනස්කම් සතර
එනම්
1,
මතුපිට සිතේ ව්‍යාපාද නීවරණය
2,
ගැඹුරු සිතෙහි ද්වේශය
3,
කයෙහි දුක්ඛ වේදනාව
4,
ඉරියව් දැඩි වීම යන
සතර පිළිබඳව සිහියෙන්,
උපේක්ෂාවෙන් වෙසෙන විට
සිතිවිලි වලින්, වචනයෙන් හා ක්‍රියාවෙන්
ඔබේ ආවේගය ප්‍රකාශ නොවනු ඇත.
පවතින උපේක්ෂාව නිසා
ඒ ආවේගය ඔබට දුකක්ද නොවේ

එක නිමේශයක් තුළ
සිතෙහි හා කයෙහි සිදුවන
සියලුම වෙනස් වීම් පිළිබඳව
සමස්තය පිළිබඳවම සිහියෙන්
කිසිවක් කෙරෙහි ප්‍රතික්‍රියා නොදක්වා විසීම
විදර්ශනාව යි
මේ විශේෂ, නිර්මල සිහිය
සම්පජානෝ සතිය නමි.


කෝපයට පත්ව සිටිනවිට
මෙසේ වසන කෙනෙකුගේ
ද්වේශ සහගත අනුසය කෙලෙස්
කෝපය ලෙස මතුවී නිරුද්ධවීමෙන්
සිත පිරිසිදු වෙනවා.

නිවන් දැකීමට හැකි වෙන ලෙස
කෙලෙසුන් නැසෙන්නට විදර්ශනාව
හේතු වෙනවා.
අවිද්‍යාව නැසී ප්‍රඥාව පහළ වෙන්නට
විදර්ශනාව හේතු වෙනවා.


විදර්ශනාව නම්
එක නිමේශයක් තුළ
සමස්ත සිත හා කය පිළිබඳවම සිහියෙන් යුතුව
තම සිතෙහි හා කයෙහි සිදුවන
සියලුම වෙනස් වීම් පිළිබඳව
ඒ කිසිවක් කෙරෙහි ප්‍රතික්‍රියා නොදක්වා
සම්පජානෝ සතියෙන් විසීමයි

No comments:

Post a Comment