20160312

යුධ අපරාධයක සොඳුරු ම්ලේච්ඡත්වය


දේශපාලන වාසි ලබන්නට
ත්‍රස්තවාදය යුද්ධයක් බවට පත් කර
ත්‍රස්තවාදය හපයක් බවට පත්වෙනතුරු
ඒ යුද්ධය වසර තිහක් ඇදගෙන ගිය
සාර ධර්ම පිරිහුණ නරුම ජාතියක

ජාතික
ඛේදවාචකයක අඳුරු සත්‍යය.

.රාජ්‍ය හමුදාවක විනය
මිනීමරු ත්‍රස්තවාදීන්ට සමකර බලා
හමුදාවේ යුධ අපරාධ වලට සුදු හුණුගාන
බොළඳ, නූගත් ජනතාවක් වෙසෙන රටක
ජාති භේදයෙන් තොරව සියලු ජනතාව රකින්නට
සියල්ලන්ටම අයිති රජයේ මුදලින් වැටුප් ලබන
රජයේ හමුදා සෙබලුන් අතර සිටි
මිනිස්කමට නිගා දුන් නොමිනිසුන් කිහිපදෙනෙක්
එක් ජන කොටසකට එරෙහිව යුධ අපරාධ කළ විට
ඒ නිහීන අපරාධකරුවන්ට
රණවිරුවන් යැයි කියන්නට
රටේ ජනතාව අතර වෙසෙන
එවැනිම නොමිනිසුන් පෙළඹෙද්දී
ඔවුන් අතර සිටින එක් මිනිසෙක්
ඒ අපරාධවලින් සංවේගයට පත්ව
රිදුම් දෙන හදවත කකියන හැඟුම්
සංයමයෙන් යුතුව පෙළගස්වා
ඉන් එක් ඛේදවාචකයක අඳුරු සත්‍යය

සොඳුරු ලෙස සිතුවම් කළ අයුරුයි මේ.

රත් පියුම් සමනලුන්
රතු පැහැති බත්කූරන් ඇති විලක් පසෙකින් ඇතිව
රාජ්‍ය හමුදාවක සෙබළුන් අනෙක් පසින් ඇතිව
සුදෝසුදු රෙදි කැබැල්ලකින් උඩුකය නිරුවත වසා සිටින
ඉසිප්‍රියා මුහුණ දී ඇති ඉරණම ගැන
නිර්මාණ කරුවා අපට දෙන්නේ ඉඟියක් පමණයි.
මේ සෙබලුන් ඇය රැකගන්නවාද
ඇය වනසනවාද යන්න
මුල් ඡායාරූපයේත් පැහැදිලි නෑ.



ඉසිප්‍රියා ත්‍රස්තවාදී මාධ්‍යවේදිනියකි..
අවි ආයුධ දරා සටනට නොවැදුණද
ත්‍රස්තවාදී සංවිධානයට සේවය කල ක්‍රියාකාරී ත්‍රස්තවාදී සාමාජිකාවකි.



ඉසිප්‍රියාගේ මතයට අනුව
ඇය නිවැරදි ලෙස සිතූ ක්‍රියාකාරිත්වය
රටේ නීතියට අනුව රාජද්‍රෝහී අපරාධයකි.
ඒ රාජද්‍රෝහී අපරාධයට
ලැබිය යුතු උපරිම දඬුවම් ලැබීමට
 
රටේ නීතියට අනුව ඇය සුදුසු වූවාය.

ඉසිප්‍රියා නීතිය හමුවට ඉදිරිපත් කොට
ඇයට දඬුවම් කළ හැකි අන්දමින්
ඇය ජීවග්‍රහයෙන් ගන්නට
රාජ්‍ය හමුදාව සමත් වූ බව පෙනෙයි.
ඇය හමුදා භාරයට පත්වන්නේ
සරණාගත කඳවුරක සිටියදී බවටද
විශ්වාසයක් පවතී..

මිනීමරු ත්‍රස්තවාදීන්ට එරෙහිව
රාජ්‍ය හමුදාවක් යුද වදින විට
අප ඒ මෙහෙයුම දකින්නේ
නරක මර්දනය කරන්නට හොඳ ඉදිරිපත් වන
සනාතන ගැටුමෙහි අංගයක් වශයෙනි.

රාජ්‍ය හමුදා සහ ත්‍රස්තවාදී ගැටුම වර්ධනය වන විට
අවසන අප ගරු කළ හොඳත් නරක බවටම පත් වීමෙන්
අප පත්වන ඉච්ඡා භංගත්වයෙන්
අප අසරණ වන්නෙමු.

රජයේ අරමුණ වන්නේ
ත්‍රස්තවාදය තුරන් කිරීම විනා
ත්‍රස්තවාදීන් තුරන් කිරීම නොවේ.
ත්‍රස්තවාදියා අපරාධකරුවන් වුවද
හමුදා සෙබළුන් මුලු රටේම පුරවැසියන්ට වග කියන
ජනතා ආරක්ෂකයන් පිරිසකි.
ඔවුන් ජාති භේදයකින් තොරව
සියලු පුර වැසියන් රැකිය යුතුය.

හමුදා භාරයට ගන්නාවිට
ඉසිප්‍රියා ක්‍රියාකාරී ත්‍රස්තවාදී සාමාජිකාවකි.
ත්‍රස්තවාදි කතක් හමුදාවට යටත් වූ පසු
ඇය තවදුරටත් ත්‍රස්තවාදි කතක් නොවේ.
හමුදා භාරයේ, හමුදා රැකවරණයේ
හමුදාව යටතේ පසුවෙන යුද සිරකාරියකි.
ඉන් පසු ඇය ගැන තීරණ ගැනීම
රටේ අධිකරණය සතුවගකීමකි.
වරදක් කරන අනෙක් ඕනෑම සිරකරුවෙකුට හිමිවෙන
මිනිස් අයිතිවාසිකම්, ආරක්ෂාව සහ වරප්‍රසාද
ඔහුටද හිමිවිය යුතුය.

ඇයට නිසියාකාරයෙන් සැලකූ
විනයගරුක හමුදා සෙබළුන්ද වූ බවට
සාක්ෂි අප දැක ඇත.
 
 
ඉසිප්‍රියාගේ මේ ඡායාරූපයට පසුව
තවත් ඡායාරූප අප දැක ඇත.
මේ ඉසිප්‍රියාට වඩා
මියගිය ඉසිප්‍රියා ප්‍රබලය.
 
මේ ඡායාරූප අතර
ඡායාරූපයට නොනැගුණ
අපට නොපෙනෙන සත්‍යය පිළිබඳව
ලොව පුරා විවිධ අර්ථ කථන පවතී.

නොදන්නා දේ කිසිසේත්ම මිහිරි නොවන බව
අප  දන්නේ
මිනිසුන්ගේ යහපත් බව 
ඔවුන්ට ආවේග දැරිය හැකි සීමාවන් තුළ පවතිබව
අප අත්දැකීමෙන්ම දන්නා බැවිනි.

ආවේග වලට නතු වූ විට
කුසේ ඉන්නා කිරිකැටි ළදරුවාත්
ඝාතනය කරන්නට තරම්
 
මවක පහළ වැටෙන නරුම සමාජයක
හමුදා සෙබලුන්ටද ඒ සත්‍යය පොදුය.

රැකගත යුතු සිරකාරියක දූෂණය කොට
වද දී මරා දමන්නට
රජයෙන් වැටුප් ලබන ආරක්ෂකයා පෙළඹුණ පසු
ඒ ක්‍රියාවෙහි බරපතල කම ආපසු හැරවීම
සමස්ත හමුදාවට නොව ලක් රජයටවත් කළ නොහැක.

හමුදා විනය නොතැකූ කිහිපදෙනෙකු නිසා
රටටත් ජනතාවටත් මැකිය නොහැකි කැළලක් වී ඇත.
හමුදා සෙබළා අපරාධයක් කළත්
ඔහු නිදොස් කරන්නට රිසියෙන්
ගලේ පැහැරූ බළලුන් මෙන් සත්‍යය වසන්නට
නරුම සිත් ඇති අතළොස්සක් ක්‍රියා කළත්
ඒ අමිහිරි සත්‍යයෙන් ගැලවීමට අප කිසිවෙකුටත් නොහැක.

 
මෙහි අපට නොපෙනෙන අමිහිරි සත්‍යය ගැන
අනුමාන විශ්වාසයක් ඇති අප
මේ සිතුවමෙන් නිරූපනය වන සත්‍යය
අප දන්නා දේ සමග අමුණාගෙන විඳින්නේ
මේ නිර්මාණකරුවාගේ සංයමය නිසායි..

එක් පසෙකින් ත්‍රස්තවාදයෙන්ද
අනෙක් පසින් යුධ අපරාධ වලින්ද පහර කා
බිඳීගිය සුවහසක් සිත්
සිතුවමකින් නිවන සනහන
නිවුණ සිත් ඇති කලාකරුවන්ද
ඒ සිතුවමෙන් සංවේගයට පත්වන
එවන් සිත් ඇති සහෘදයන්ද
ත්‍රස්තවාදීන් අතර සිටිය නොහැකිද?
යුධ අපරාධකරුවන් හෝ
ඔවුන් සමග නැගී සිටින ජනතාව අතර
සිටිය නොහැකිද?

එවන් සිත් ඇති මිනිසුන් හට
මේ සටහන උපහාරයක් වේවා!

2 comments:

  1. Charith Janapriya ඉසේප්‍රියා රගුනාතන්
    1982 යාපනේ ඩෙල්ෆ්ට් වල ඉපදුනේ.. වෙම්බඩි කාන්තා පාසලේ උසස් පෙල දක්වා හදාරලා ඉට පස්සෙ නීතිවේදය ඉගෙන ගෙන කිලිනොච්චි දිසා අදිකරනයේ නීතිඥවරියක් ලෙස ටික කලක් සේවය කලා.. පසුව දෙමල විමුක්ති කොටි සංවිදානයේ බලහත්කාරකමක් ලෙස එල්ටීටීඊ මාද්‍ය ජාලය වෙන ටැමිල් නෙට් එකේ සහ ඔලිවිච්චි රූපවාහිනියේ නිවේදිකාවක් උනා ඒ 1998 ඉදලා 2002 දි කසාද බැන්දා මහත්තයා ත්‍යවයියා කන්දසිවරාජ්..මොරටුව විශ්වවිද්‍යාලයීය මිකැනිකල් ඉංජිනියර් කෙනෙක්.. දුවෙක් හිටියා.. ඉසේප්‍රියා ගායිකාවක් දෙමල විමුක්ති ගීත සහ තමිල් විදතලී චිත්‍රයටයේ ප්‍රදාන නිලිය වුනා.. tamil net එකේ ප්‍රදාන ප්‍රවති ඉදිරිපත් කරන්නිය.. 2007 කොකාවිල් සම්ප්‍රේක්ශනාගාරය හමුදා පාලනයට අහුවුනාට පස්සෙ මුල්ලිවයිකාල් රෝහලේ ස්වේච්ඡා හෙදියක් ලෙස සේවය කලා.. ඇය පිලිබද අවසාන ශාක්ශි ය එහි සේවය කල වෛද්‍ය සෙල්වි... 2009.5. 11 වෙනකොට 53 සේනාංකයෙ 09 sr සිංහ රෙජිමේන්තුවේ අත්තඩංගුවට පත්වෙනවා ඉන් පස්සෙ කිසිම තොරතුරක් නෑ... 2010 3 මාසෙ වෙනකොට යුද හමුදා සෙබලුන් දුරකතන වලින් වීඩියෝ කරපු අමානුෂික වීඩියෝ පට ගොඩාක් අන්තර්ජාලේ සැරි සරනවා.. උඹත් බලලා ඇතිනේ..මේ වීඩියෝ එකක ඉසේප්‍රියා ඉන්නවා.. ඒත් ඉසේප්‍රියා බාරවුන ලිස්ට් එකේ නෑ මැනික් ෆාම් සම ඩොලර් ෆාම් වලත් හිටියේ නෑ... ඒ වීඩියෝ වල පැහැදිලිව තියෙනවා ඉසේප්‍රියා නිර්වත් කරන අයුරු.. සහ නිර්වස්ත්‍රව අත් බැද දමා හමුදා සෙබලුන් අවට ඉන්න හැටි.. පස්සෙ ඉසේප්‍රියා දූෂණය කලා නොකියා දූෂණය වෙලා කියලා අමූලික බොරුවක් යුද හමුදා ව කියනවා..ඒත් නිශ්චිතවම ඉසේප්‍රියා නොහොත් එල්ටීටීඊ මාද්‍යවේදිනිය බාර ගත් බවට යුද හමුදාව 2009 වාර්තා කලා
    . එහෙම නම් ඇයට මොකද උනේ......දෙමල ඩයස්පෝරාව මේ දූෂණය තමන්ගෙ පැත්තට අරන් වාසි ගන්න ඉසේප්‍රියා යොදාගත්තා.. හරියට මහින්ද රණවිරුවන්ගේ නම විකුනමින් රට කෑවා වගේ.. ඒත් ඉසේප්‍රියා සදහටම වැලලුනා.. මට එක්වතා වක් මුණගැහිලා තියෙනවා.. 2003. පරන්තන් වලදි.. අම්මා එක්ක .. ගොඩාක් ලස්සන කෙනෙක්.. ඒ වගේම කරුණාවන්ත.. ඝාතනය කලාට පස්සෙ ඩයස්පෝරා කාරයො උන්ගේ වාසියට ඉසේප්‍රියා ට මේජර් පට්ටමක් ගහනවා..ඒත් එයා හිටියේ මිනිස්සුන්ගෙ පැත්තේ.. ඒකයි ඇත්ත..

    ReplyDelete
  2. අහිංසක ජිවිතයක්.

    ReplyDelete