20160224

දහම පොවන්න බෑ. පිළිගන්වන්න පුලුවන්.




අද ෆේස්බුක් සමූහවල පළ වෙන
බුදු දහමට සම්බන්ධ බොහෝ ප්‍රකාශ
මැරයන් මෙන් හැසිරෙන සමහරුන්
අනික් අයට තර්ජන, බලපෑම් ස්වරූපයෙන්
දහම කියා දෙන හෝ
දහමට පහර දෙන ප්‍රකාශයි.
කියවන අය පිල්වලට බෙදී
සටන් කිරීමයි සිදු වෙන්නෙ.

මේ ප්‍රකාශ වලින්
බුදු දහමට කෙරෙන සේවය නම්
බුදු දහම නොදන්නා අයට
දහම ප්‍රකට වීමයි.
පසෙක හොඳන් කියවන කෙනෙක්
දබර වෙන මැර පිරිසට නැති දැනුමක්
ඔවුන්ගේම ප්‍රකාශ තුලින්
ලබන්න පුලුවන්.

ඔබ සිල් රැක්කා කියා
අනික් අයට සිල් රකින්න බල කරන්නට
ඔබට අයිතියක් නෑ.
ඔබ සමාධිය වැඩුවා කියා
අනික් අයට සමාධිය වඩන්න බල කරන්නට
ඔබට අයිතියක් නෑ.
ඔබ විපස්සනා වැඩුවා කියා
අනික් අයට විපස්සනා වඩන්න බල කරන්නට
ඔබට අයිතියක් නෑ.

බුදුන් වහන්සේ බල කළත්
ඒ අනුව කරන කෙනෙකුත් නෑ.

මම කරන දේකින්
මට ප්‍රයෝජනයක් තියනවා නම්
ඒ ප්‍රයෝජනය ලබාගන්න කියා
දන්න කියන අයට කියන එක මගේ යුතු කමක්.
බුදු දහමෙන් තියන ප්‍රයෝජන අන් අයට කීම
වරදක් නොවෙයි..
ඒත් අනිත් කෙනා පිළිපදියි කියා
හිතන එක වැරදියි.

මම වසර ගණනක්
නිතිපතාම විපස්සනා වැඩීමෙ අගය
මම දන්න හැම විදියටම කියනවා.
මගේ දුක් විඳීම
විපස්සනා නිසා අඩුවෙමින් යන නිසා
විශ්වාසයෙන් ඒ බව කියනවා.
සමහරු විරුද්ධ වෙනවා.
තවත් සමහරු නින්දා අපහාස කරනවා.
සමහරු පිළිගන්නවා.
කලාතුරකින් කෙනෙක් විපස්සනාවට යොමු වෙනවා.

මේ මුළු කාලයටම
මම දැනුවත්ව විපස්සනාවට යොමුවුණ අය ඉන්නෙ
තරුණයන් හයදෙනෙක් විතරයි.
තව තරුණයෙක් දෙමව්පියන් යැව්වා.
ප්‍රතිශතය වසරකට එක් අයෙක් විතර තමයි.

මේ වසර ගණනාවටම
එක් කෙනෙක් හෝ යොමු වුණා නම්
මා දැරූ වෙහෙස නිවෙනවා.
ඒ ප්‍රමාණය හොඳටම ඇති.

විපස්සනාවට යොමු වුණත්
ඔවුන් සහ මා අතර විශේෂ
සම්බන්ධයක් නෑ.
ඒත් වෙනත් කිසිවෙක් සමග නැති
අන්‍යෝන්‍ය විශ්වාසයක් අප අතර තියනවා.
ඔවුන් ස්වාධීනව ඔවුන්ගෙ කටයුතු කරනවා.
බුදු දහම මිනිසා නිවහල් කරන දහමක්.

බුදු දහම තුළත් කල්ලි හැදීම අස්වාභාවිකයි.
එසේ කල්ලි ගැහෙන අයගෙ ධාර්මික බව අඩුයි.
ඔවුන් බොහෝ විට අන් ආගමිකයන් වගෙයි.
මත්පැනට එක්වෙන කල්ලි වගේ
වින්දනය පතා රැස්වෙන ආගමික කල්ලි තියනවා.
සමහර කල්ලි ක්‍රියා කරන්නෙ මැරකල්ලි වගෙයි.

බුදු දහම දඩ මීමා කරගෙන
දෙශපාලනික හේතු මත කල්ලි ගැහීම
නොවැළැක්විය හැකියි.
බුදු සමයෙත් දෙව්දත් රැස් කළේ එවැනි කල්ලියක්.
ඒ කල්ලි වල ඉන්න පිරිස
දුකෙන් මිදීම වෙනුවට
අමතර දුක් සම්භාරයක් විඳිනවා.

දෙදෙනෙක් හෝ පිරිසක්
එක මග යද්දි කල්ලි ගැහෙනවා නම්
එකිනෙකා මත යැපෙනවා නම්
ඒ මාර්ගය වහලුන්ගෙ මාර්ගයක්.
දහම් මාර්ගයේ යන අය
ස්වාධීන වෙනවා. නිවහල් වෙනවා.

වැරදි කිරීමෙන් වැළකීම මගින්
මිනිසා නිවහල් කරන
බුදු දහම නම් සමපාද ත්‍රිකෝණයෙ පාද තුන
ශීල, සමාධි, ප්‍රඥා යි.

ශීලය පමණක් වැඩුවත්
සමාධි ප්‍රඥා දෙකත් දියුණු වෙනවා.
එකක් වැඩීමෙන් අනෙක් දෙක වැඩෙනවා.
ඒ නිසා දහම් මගට යොමු වෙන කෙනෙකුගෙ
දුක දවසින් දවස නිවෙනවා.

තවත් කෙනෙක් දහම් මගට යොමු කිරීමෙන්
අපට ලැබිය හැකි පරම සතුට එයයි..

අන් සියලු සතුට දේශපාලනිකයි.

No comments:

Post a Comment