20151030

බුදුන් වහන්සේ සමාජ පරිවර්තකයෙක් නොවෙයි.


බුදුන් වහන්සේ කළ මූලිකම දේ
තමා විඳින දුක්වලින්
තමාටම මිදිය හැකි මග පෙන්වීමයි.
අන් සියලුම දේ එහි අතුරුඵලයි.

බුදු දහම ඇසුරෙන්
තමන් විඳින දුක් නිවාගන්නට
සරණක් නොලැබූ කිසිවෙකුටත්
බුදු දහම තවම වැටහී නැහැ.

බුදු දහම සොයනවා නම් සෙවිය යුත්තේ
පොත්පත් හෝ දහම් දේශනා තුළ නොව
තමා දුක් විඳින අවස්ථාවන්හි
තමා තුළමයි.

බුදු දහම සොයා ගන්නා තැනැත්තා
විපස්සනාවට යොමුවෙනවා.
ඒ මොහොතේ පටන්ම
දුකෙන් මිදෙන්න පටන් ගන්නවා.
බුදු දහම කුමක්දැයි
තමා අත්විඳින නිවීම තුළ දකිනවා.

20151023

තෙල් හිඳිනා සෙක්කු ගලේ යටගියාවෙ කතන්දරේ


 අමුඩයක් හෝ පඩංගු සරම් කොටයක් ඇඳගෙන සෙක්කු පදවන සෙක්කු මාමා කෙනකු අද කිසිදු ගමක දැකගත හැකි යැයි මම නොසිතමි. එක්දහස් අටසිය ගණන්වලත් විසිවැනි සියවසේ මැද භාගය වන තෙක්ද සෙක්කු උපයෝගී කරගෙන තෙල් සිඳින කර්මාන්තය පොල්ගස සරුවට වැඩෙන ලංකාවේ බොහෝ තැන්වල සුලබව දක්නට ලැබුණකි. එහෙත් තෙල් මෝල්වල ආක්‍රමණයත් සමඟම සෙක්කු මාමාත් සෙක්කුවත් අදවන විට සහමුලින්ම ගම්වලින් තුරන් වී ඇත.
 
මහ පොළොව බදාගෙන තැන් තැන්වල ඇති බොහෝ සෙක්කු වන රොදට යටවී ඇත. සෙක්කුව තනි කළුගලින් නිම වී ඇති මහඟු සියුම් කලා නිර්මාණයකි. අඩි 6ක් පමණ උසැති මේ සෙක්කුව පොළොව යටට අඩි 3ක් පමණ සවිවී ඇති අතර මතුපිටට ඇති සෙක්කු වංගෙඩිය අඩි 2 1/2ක් හෝ 3ක් පමණ උසකින් යුක්තය. ඇතැම් සෙක්කුවල එක් ගවයකුද ඇතැම් ඒවායේ ගවයන් දෙදෙනකුද සේවයේ යෙදවී ඇත.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තෙල් හිඳින අයුරු.
කුරුණෑගල – කේ. ක්‍රිස්ටෝපර්
“අපේ සෙක්කුව කළේ තාත්තා. උදේ හතට විතර ආරම්භ කළහම සවස හය විතර වෙනකම් වැඩ කරනවා. වරු දෙකට ගොන් දෙන්නෙක් යෙදුවා. එක වනේකට පොල් ගෙඩි තිහක් තිස්පහක් විතර අල්ලනවා. කොප්පරා කෑලි හරි පොල් ගාලා හරි දාන්නේ. වංගෙඩිය උඩ වනෙන් තමයි තෙල් එන්නේ. යටි වනේ තමයි පුන්නක්කු එකතු වෙන්නේ. යටි වනේ ගාණට තමයි මෝල් ගහ හදන්නේ. තොප්පිය හදල තියෙන්නේ මෝල් ගහ ගානට. ඒක තමයි කඳට යකඩයකින් සම්බන්ධ කරන්නේ. කඳ අඩි 15ක් විතර දිගයි. සමහරු අවුරුද්දකට ඇතිවෙන්න තෙල් හිඳ ගන්නවා. අවුරුදු කාලෙට වෙසක් කාලෙට තමයි වැඩ වැඩි කාලේ. කාලයක් තෙල් තියාගන්න නිසා ඒවා රත් කරල තමයි පාවිච්චියට ගන්නේ. අද මේ පෙරළිලා තියෙන සෙක්කුව ඉල්ලගෙන එනවා ඇන්ටික් බඩුවලට. ඒත් පුතා ඒක දෙන්න කැමැති නැහැ. මෝල්ගහ, තොප්පිය, ලණුවළල්ල, ලී කඳ, කම්බිකූර, පුන්නක්කු ගලවන පත්ත යකඩය ආදිය සෙක්කුවට සම්බන්ධ දේවල්.”
දිනක් බෙන්තර සිට ගලපාත රජමහා විහාරය දක්වා ඇති බෝධිමළුව පාරේ අපි ගමන් කළෙමු. බෙන්තර ගඟට සමාන්තරව ගමන් කළ අපි සුප්‍රසිද්ධ බෙන්තොට වනවාසී විහාරය වෙත පැමිණියෙමු. ගිරා සන්දේශයේ, තිසර සන්දේශයේ සඳහන් වන ඒ වෙහෙර සැදැහැ සිතින් වැඳ පුදාගෙන ඉදිරියට ගියෙමු. සිමෙන්ති බැම්මකින් වටකර බැඳ ඇති සෙක්කුවක් නිවෙසක් ඉදිරිපිට අලංකාරයට තබා තිබෙනු පෙනිණි. එකල මෙකල මෙන් නොව බෙන්තොට ප්‍රදේශයේ විශාල පොල්වතු පැවැති බවත් ගලපාත රජමහා විහාරයට එවැනි වත්තක් පූජා කර තිබූ බවත් ඉතිහාසයේ සඳහන් වේ. සෙක්කු කීපයක්ද මෙහිදී දැක ගත හැකි විය. කර ගතිය ඇති පුන්නක්කුවල මිහිරි සුවඳ පිළිබඳවත් ඒවා ඉතා රසවත් බවත් පුන්නක්කු අනුභව කළ අයෙක් අප හා පැවැසීය. බෝධිමළුව, ඇලකඩවත්ත, දෝපෙ, හොරඬුව වැනි ගම්වල සෙක්කු පැවැති බවද දැනගත හැකි විය.

මාර්ටින් වික්‍රමසිංහ සූරීන් අපේ ගම ග්‍රන්ථයේ සෙක්කුව පිළිබඳව මෙසේ සඳහන් කර ඇත.
උදයවරුවේ වැඩ පටන් ගන්නා සෙක්කුකාරයකු ගල් සෙක්කුවේ ලා හිඳීමට ගන්නා පොල් වඩියේ වැඩ අවසාන වන්නේ සවස් කාලයේය. තෙල් ඉවතට ගෙන ඇඹරීමෙන් පදම් වූ පොල් ටික පුන්නක්කු වූ පසු ඉතිරිව රැඳී ඇති තෙල් මාරුව නැති කිරීමට පන්දම් අල්ලනු ලැබේ. උදයවරුවේ සිට හවස් වන තෙක් ඇඹරීමෙන් හා මැඩීමෙන් වෙහෙසට පත් වූවාක් මෙන් සෙක්කුව වෙහෙස නොඉවසිය හැකිව එසේ හඬ නඟතත් සචේතනික ගවයෝ දෙදෙනා කරබාගෙන තම ස්වාමියාට සේවය කරති. පොල් හිඳින්නාගේ අවසරය ඇතිව සෙක්කු කඳ උඩ වාඩිවී සෙක්කු පදින ළමයි හැම සෙක්කුවකම පාසා දකින්න ලැබෙත්.

ලීලාවතී බැද්දෙවිතාන – ඇලකඩවත්ත
“1960 – 1970 වන තෙක්ම සෙක්කුව වැඩ කළා. අපේ සීයටයි අයිති. ඊට පස්සෙ තාත්තත් වැඩ කළා. පැරැණි සල්ලිකාරයන්ගේ ඉඩම්වලයි සෙක්කු තිබුණේ. පොල් ගේන්නේ දැති නැති හිරමනේ ගාලා. රැල්ලට ගාන්න ඕන. පස්සේ වේළනවා. මිටට ගත්තහම ලිහිල අත ඇරෙන ප්‍රමාණයට වේළන්න ඕනෙ. පොල්ගෙඩි 150ක් – 200ක් ගානවා. ගෑනු මාගල්වල ගාන්නෙ. කල්දේරම්වල දාල තමයි සෙක්කුවට ගේන්නේ. වංගෙඩි කටේ දාලා යකඩ කූරෙන් තද කරනවා. ගොනා දක්කනවා. ගලෙන් තෙල් ටික මිරිකෙනවා. කානුවක් දිගේ එනවා. අවුරුද්දට පෑවිල්ල බලල තමයි පොල් ගාන්නේ. අවුරුද්දට කැවිලි හදන්නේ ඒවයින්. පිරිසුදුව සියල්ල කෙරෙන්න ඕන. නැත්නම් තෙල් මුඩු රහවෙන්න පුළුවන්. හරි විනෝදයි. අපි සෙක්කු පදිනවා. කඳේ නැඟල යනවා. මැරිගෝ රවුම වගේ වැඩිය යනකොට කැරකිල්ල හැදෙනවා. ඉස්කෝලේ ගිහින් එන කෙල්ලො කොල්ලො එනවා සෙක්කු පදින්න.”
සෙක්කු තෙල්වලට අමතරව අත්තෙල් පිළිබඳවද ප්‍රකාශ විය.
“ගෙවල්වල පොල්ගාලා තම්බලා කොට කොටා මිරිකනවා. තුන්වරක් මිරිකලා කිරි ගන්නවා. ළිපේ තියල තෙල් පෑදෙන්න අරිනවා. උතුරන්න නොදී හින්දනවා. තෙල් උඩ මතු වෙනවා. කිරිජ්ජයටම බහිනවා. හැන්දකින් තෙල් ටික ගන්නවා. කිරිජ්ජ වෙනම භාජනයකට ගන්නවා. කිරිජ්ජ ටික හකුරු මුං ඇට හාල් දාලා කැඳ හදනවා. ඒවා කිරිකැඳ. එහෙම හදන තෙල් හරි සුවඳයි. ඒවා අත්තෙල්. අත් තෙල් හරි ගණන්. තෙල් හින්දවන කොට කෙම් ක්‍රම අනුගමනය කරනවා. කපුටො කෑගහන්න. ඉස්සෙල්ලා කිරි ළිපේ තියන්නෙ.”

-----------------------------------------------------
කැනීෂියස් පලිහවඩන -මවුබිම

 මූලාශ්‍රය 

20151011

ලිංගිකත්වය විවෘත ව ප‍්‍රකාශ කිරීම පශ්චාත් නූතනවාදයද? -පියසීලි විජේමාන්න



මහාචාර්ය පියසීලි විජේමාන්න

දශක හතරකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරියක් ලෙස කටයුතු කළ ඔබ මෑතකදී විශ‍්‍රාම දිවියට පිවිසියා. ඒ භූමිකාව දෙස ආපසු හැරී බලනවිට අද මොකද හිතෙන්නේ?
විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් වීමට පෙර ශිෂ්‍යාවක් විදිහට ලබපු අත්දැකීම් ගැන සඳහන් කරමින් ම ඔබට පිළිතුරුදීම වැදගත් ය කියා මා හිතනවා. විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සමත්වෙලා මම පේරාදෙණිය සරසවියට ඇතුළු වුණේ 1962 දී. ඇත්තට ම ඒක විශ්වවිද්‍යාලවල සංක‍්‍රාන්ති අවධියක්. විශ්වවිද්‍යාලවල ඉංග‍්‍රීසි ආධිපත්‍යය ලිහිල් වෙමින් සිංහල භාෂාව හිස ඔසවමින් තිබුණු අවධියක්.
නමුත් ඉංග‍්‍රීසි බලපෑම සම්පූර්ණයෙන් ම යටපත්වෙලා තිබුණේ නැහැ. ඒ වෙනකොටත් මියුසියස්, ශාන්ත බි‍්‍රජට් වගේ පාසල්වලින් ආපු ඉහළ පැලැන්තියේ ළමයි එක්ක තමා මටත් ඉගෙන ගන්න සිද්ධ වුණේ. මොකක් හරි හේතුවකට මගේ දෙමාපියන් ප‍්‍රමාණවත් ඉංග‍්‍රීසි අධ්‍යාපනයක් ලබාදීලා තිබුණු නිසා නොකැපී ඉන්න පුළුවන් වුණා. ඉංග‍්‍රීසි භාෂාවට කඩුව කියන වචනය භාවිතාවට ඇවිත් ඔන්න ඔය කාලේ තමයි කොහොම කොහොම හරි පාලි හා බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂවේදී උපාධිය සම්පූර්ණ කරලා පේරාදෙණියෙම ආචාර්යවරියක් හැටියට පත් වුණේ 1968 දී.
එදා ඉඳල ම සිසුන් සහ ආචාර්ය මණ්ඩලයත් එක්ක බොහොම සමගියෙන් වැඩ කළා. විශ්ව විද්‍යාලවල උප සංස්කෘතිය තේරුම් ගැනීමට පුළුවන්වීම මේකට ප‍්‍රධාන හේතුව වෙන්න පුළුවන්. ගුරුවරියකට අමතර ව ලේඛිකාවක වීමත් කවුන්සලින් (උපදේශන කටයුතු) කර තිබීමත් සිසුන් එක්ක හොඳ සබඳතාවක් ගොඩනඟාගන්න ප‍්‍රයෝජනවත් වුණාය කියලා හිතෙනවා.
නිර්මාණකරණයට උනන්දුවක් දක්වන ළමයින් වෙනුවෙන් නිර්මාණ රචනය පිළිබඳ ව පාඨමාලාවක් ඇරැඹීමට හැකිවීම මගේ වෘත්තීය ජීවිතයේ ඉතාමත් තෘප්තිමත් අවස්ථාවක්. කලා පීඨයෙන් බැහැර ඉංජිනේරු වෙද්‍ය වැනි පීඨවල සිසුන් පවා ඒකට උනන්දුවක් දැක්වූවා. විශ‍්‍රාම ගියත් අදත් මම පේරාදෙණියේ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ආරාධිත කථිකාචාර්යවරියක් ලෙස සහභාගි වෙනවා. ඒ ජීවිතය දිහා ආපසු හැරී බලනවිට මා විශ‍්‍රාම ගියා කියන සිතුවිල්ල කිසි ම විටක ඇති වන්නේ නැහැ.

ඔබ සඳහන් කරන ආකාරයට ම විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරියක් වීමට අමතර ව ලේඛිකාවක වශයෙනුත් ඔබේ දායකත්වය ඉතා වැදගත්. සම්මානයට පාත‍්‍ර වූ ලේඛිකාවක් හැටියට. සාහිත්‍ය කරුවකු සතුවිය යුතු පරිකල්පන ශක්තිය පිළිබඳ ව ඔබේ පැහැදිලි කිරීම කෙබඳුද?
පරිකල්පන ශක්තියක් නැති කෙනෙකුට ලේඛකයෙක් වෙන්න බැහැ. පරිකල්පනය (Imagination) කෙටියෙන් හඳුන්වා දෙනවා නම් අපට කියන්න පුළුවන් ලේඛකයකු විසින් පාඨකයාගේ හිතේ මවනු ලබන චිත‍්‍රය කියලා. උදාහරණයක් හැටියට මම ගමනක් යනවිට තැඹිලි ගෙඩියක් බොන්න අතරමග නතර වෙනවා කියලා හිතමුකෝ. එතන ඉන්නවා මොළේ ටිකක් නරක් වුණු මනුස්සයෙක්.
එයා කරන්නේ මිනිස්සු බීලා අහකදාන තැඹිලි කෝම්බ එකපිට එක තබන්න උත්සාහ කරන එක. නමුත් එයාගෙ උත්සාහය නිරර්ථක වෙලා තැඹිලි කෝම්බ ටික දිගින් දිගට ම පෙරළෙනවා. ඒ වතාවෙ එයා කුණු හරුප කියන්ඩ පටන් ගන්නවා කේන්තිය උහුලන්ඩ බැරුව. දැන් මට ඔය සිද්ධිය ආශ‍්‍රයෙන් කතාවක් ලියනවා කියමුකෝ.
ඒ මනුස්සයා කියපු කුණුහරුප මට ලියන්ඩ බැහැනේ. නමුත් එයාගේ හැඩරුව හැසිරීම ආදිය විස්තර කරලා මම කියනවා මිනිහා අමු තිත්ත කුණුහරුපෙන් බනින්ඩ පටන් ගත්තා කියලා. එතකොට මගේ කතාව කියවන පාඨකයෝ තම තමන්ගෙ දැනුමෙ අවබෝධයේ මට්ටමට ඒක හිතේ මවා ගන්නවා. වැඩිහිටියෙක් මවා ගන්න චිත‍්‍රය නෙමේ ළමයෙකුගෙ හිතේ මැවෙන්නෙ. ලේඛකයට වගේම පාඨකයටත් පරිකල්පන ශක්තියක් අවශ්‍යයි. අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න මේ දෙන්නගෙම පරිකල්පන ශක්තිය දියුණු වෙනවා.

ඔබ කුඩා දරුවන් සහ යෞවනයන් සඳහා පොතපත ලිවීම කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන ලේඛිකාවක්. මේ දෙපිරිස වෙනුවෙන් පොත් සම්පාදනය කරන උදවිය විශේෂ අවධාරණය යොමු කළ යුතු කරුණු හැටියට ඔබ දකින්නේ මොනවාද?
කුඩා දරුවන් සහ යොවුන් පරපුර වෙනුවෙන් පොතපත ලිවීම ඉතා ම කල්පනාකාරී ව කළ යුතු කාර්යයක්. ඒ සඳහා ඒ අයගේ සිතුම් පැතුම් හා මානසික පරිසරය පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුයි. දරුවන්ගේ නිර්මාණශීලිත්වය, පරිකල්පන ශක්තිය වගේ කුසලතා වර්ධනය වෙන්නේ වැඩිහිටි සමාජය විසින් ඔවුන් අතට පත් කරනු ලබන දේවල් මතයි.
දැන් අපි කුඩා ළමයෙකුට නරියෙක් ගැන කතාවක් කියනවා කියමු. සමහර විට ඒ ළමයා නරියෙක් කියා නරියෙකුගේ චිත‍්‍රයක්වත් දැකපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපේ කතාව කියවන කොට නරියෙකුගෙ රූපයක් එයා හිතින් මවා ගන්නවා. මගේ ම කුඩා කාලේ අත්දැකීමක් කියනවා නම්, ඒ දවස්වල අපි විජ්ජාකාරියො ගැන කතා අහල තියෙනවනේ.
මගේ හිතෙත් එහෙම විජ්ජාකාරියෙකුගෙ රූපයක් මැවිලා තිබුණා. දවසක් වැඩිහිටියන් එක්ක හලාවත පැත්තෙ ගිය වෙලාවක මම දැක්කා මාර්කට් එකේ කකුළුවෝ විකුණන වෙළෙන්දියක්. එයා අර වට්ටියෙන් පැනලා යන කකුළුවන්ට බැන බැන ආයෙත් වට්ටියට අල්ලලා දානවා. එයාගේ තරබාරු ශරීරයයි, නපුරු මූණයි දැක්ක ගමන් කතන්දරවල ඉන්න විජ්ජාකාරියන්ගෙ රූපෙ මගෙ හිතේ ඇඳුණා.
ඒ මාළු වෙළෙන්දි මගෙ පස්සෙන් පන්නන හැටි දැකලා මම හීනෙනුත් බය වුණා. පස්සෙ කාලෙක ඉදලක් උඩ වාඩිවෙලා ගුවනින් යන විජ්ජාකාරියකුගේ පින්තූරයක් දකින තුරු මගෙ හිතේ ඇඳිලා හිටපු විජ්ජාකාරිය තමා අර මාළු වෙළෙන්දී. අත්දැකීමුත් සමඟ දරුවන්ගෙ පරිකල්පන ශක්තිය වෙනස් වෙන හැටි තමයි ඒ.
ළමයින් වෙනුවෙන් මම ලියපු බිංදු, දඟරියා, අලි වැඩේ, මුගටිහාමි වගේ පොත් වලින් මම උත්සාහ කළේ මගේ ළමා වියේ අත්දැකීම් ද සම්බන්ධ කරගෙන ළමා මනස තුළ නිර්මාණශීලිත්වයක් ඇති කිරීමටයි. මගේ ළමා පොත් මුද්‍රණය කිරීමට පෙර ළමයින්ට කියවන්න දෙනවා. ඒ දරුවන් එක්ක සාකච්ඡා කරලා අදහස් ලබා ගන්නවා. මේක ඉතා සාර්ථක අත්හදා බැලීමක්. දරුවන් සඳහා ලියන උදවිය මෙවනි අත්හදා බැලීම් කිරීම ප‍්‍රයෝජනවත්.

ඔබ ඔහොම කීවත්, අද ළමයින්ට පොත් කියවන්නට කාලයක් නැහැ නේද?
අපේ ළමාවියට වඩා අද ළමාවිය සංකීර්ණ බව ඇත්ත. නමුත් අදත් ළමයි වෙනත් බාහිර දේවල්වලට ඇබ්බැහිවෙලා ඉන්නවා නේද? රූපවාහිනිය පරිගණකය වැනි දේවල් පරිහරණය කරන්න ඔවුන් කාලය හොයා ගන්නවා නේද? දරුවන් තුළ කියැවීමේ පුරුද්දක් ඇති නොකිරීමයි වැරැද්ද. ඒ පුරුද්ද ඇති කිරීම වුණත් ප‍්‍රවේසමෙන් කළ යුතුයි.
මොකද අද මෝස්තරේට කියවන සංස්කෘතියකුත් බිහිවෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ජාත්‍යන්තර පාසල් ඔස්සේ ‘හැරී පොටර් වගේ පොත් මෝස්තරේට කියවන පිරිසක් බිහිවෙමින් සිටිනවා. හැරී පොටර් වගේ ෆැන්ටසි (Fantacy) පොත්වලින් කරන්නෙ පාඨකයා පොළවේ සිට උඩට අරන් ගිහින් යථාර්ථයෙන් ඈත් කිරීම. හොඳ නවකතා කෙටිකතා වලින් කරන්නෙ මහපොළව මත අප පිහිටුවන එක.
යථාර්ථයට අප ළං කරන එක. මට හිතෙන්නෙ දැන් ළමයින්ට තියෙන ලොකුම බාධකය - අහිතකර තත්ත්වය තමා රූප මාධ්‍යය. දරුවන්ගේ සිතීමේ ශක්තිය නිර්මාණ කුසලතාව වර්ධනය කරගැනීමට මාර්ග රූ මාධ්‍යයෙන් ලබාදෙනවා අඩුයි. ඒ නිසා පුළුවන් හැම කෙනෙක්ම, දෙමාපියන්, ගුරුවරුන්, මාධ්‍ය වැනි අය කළ යුතු දෙයක් තමා දරුවන් අතර කියවීමේ පුරුද්ද දියුණු කිරීම.

ළමා පොත්, යොවුන් ප‍්‍රබන්ධ වැනි ක්ෂේත‍්‍රවල දී වගේ ම ‘කෙටිකතාව‘ නමැති සාහිත්‍යාංගය විෂයයෙහිත් ඔබ සම්මානයට පාත‍්‍ර වූ ලේඛිකාවක්. ඔබ දකින ආකාරයට උසස් කෙටිකතාවක ලක්ෂණ මොනවාද?
කෙටිකතාව කියන්නේ වෙනස් වූ සාහිත්‍යාංගයක්. ඒ පිළිබඳ ව බොහෝ නිර්වචන තිබෙනවා. මෘතකදී මා දුටුවා එක්තරා විචාරකයෙක් කියා තිබෙනවා කෙටිකතාව (Short Story) කියන හැඳින්වීමම වැරදියි කියලා. මන් හිතන්නේ එයා අදහස් කරන්ඩ ඇත්තේ නමින් ම සීමාවක් පැනවීම වෙන්ඩ ඇති. කෙටිකතාව බහුල වශයෙන් විෂය කරගන්නේ නූතන මිනිසාගේ සංකීර්ණ අත්දැකීම්වලින් බිඳක්.
කලාත්මක කෙටිකතාවක චරිත, සිද්ධි, අවමවීම වැදගත්. මුඛසාර්ථයට ප‍්‍රමුඛත්වය හිමිවිය යුතුයි. අනවශ්‍ය දේවල් හැකි තරම් බැහැර කිරීමෙන් අපූර්වත්වය ඉස්මතු කරගත හැකියි. කෙටිකතාව වචන හතරකින් හඳුන්වන්න කීවොත් මා කියන්නේ සංවිධිත, සංක්ෂිප්ත, සංගෘහිත, සංඝනිත සාහිත්‍යාංගයක් කියලයි.
නූතන කෙටිකතාවල කතා ප‍්‍රවෘත්තියට වැඩි තැනක් දෙන්නෙ නැහැ. කතන්දරයක් තිබීම අවශ්‍ය නැහැ කියලයි සමහරු කියන්නේ. කෙටිකතා කරුවා කරන්නේ කතන්දරයක් කියනවාට වඩා සිද්ධියක් වූ හැටි විස්තර කිරීම, පාඨකයා වින්දනයක් ලබන්නේ එමගින්, ඒත් කතා ප‍්‍රවෘත්තිය යනු කතන්දරයම නෙවේ. කතන්දරයකින් අපට හිතන්න යමක් ඉතිරි කරන්නේ නැහැ.
ඒ නිසා කතන්දරයක් නැවත නැවත අසන්න අප පෙලැඹෙන්නේ නැහැ. නමුත් උසස් කෙටිකතාවක් කියවන්න කියවන්න අලුත් අරුත් මතු කරනවා. කෙටිකතාවේ ස්වරූපය ලේඛකයාගෙන් ලේඛකයාටත් වෙනස් වෙනවා. මෝපසංගේ කෙටිකතාවල මුල මැද අග මනා ලෙස ගැළැපුණු කතා ප‍්‍රවෘත්තියක් දකින්න පුළුවන්. නමුත් චෙකෝෆ් කතා පුවතට එතරම් තැනක් දෙන්නේ නැහැ.
ලංකාවේ අජිත් තිලකසේන ගත්තොත් කතා ආකෘතියට ප‍්‍රමුඛත්වයක් දෙන ලේඛකයෙක්. ආකෘතියේ සංකීර්ණත්වය නිසා ම ඔහුගේ ඇතැම් කතා රසවිඳීම දුෂ්කරයි. මා විශ්වාස කරන විදිහට නම් අපි ආකෘතිමය අත්හදාබැලීම්වලට යා යුත්තේ ක‍්‍රමානුකූලවයි. පාඨකයා දැනුම්වත් කරමින් ක‍්‍රම ක‍්‍රමයෙන්. මගේ හැම පොතකම වගේ එවැනි වෙනස් ආකෘතික ලක්ෂණ සහිත කතාවක් දෙකක් ඇතුළත් කරනවා. බටහිර විචාරකයන් වුණත් කතා ප‍්‍රවෘත්තිය (plot) එක සපුරාම බැහැර කර නැහැ.

ඔබ පසුගියදා සිළුමිණ පුන්කලස අතිරේකයට ගුණදාස අමරසේකරයන්ගේ ලේඛන දෘෂ්ටිය හා එය ඔපවත් කරන ආඛ්‍යානෝපක‍්‍රම අලළා ලිපියක් ලියා තිබුණා. ඉන් ඔබ මතුකිරීමට උත්සාහ කළේ ලේඛකයකුට කිසියම් යුග මෙහෙවරක් පවතින බවද?
හැම ලේඛකයකුට ම ප‍්‍රකට ව හෝ අප‍්‍රකට ව ප‍්‍රකාශ වන දෘෂ්ටියක් තිබෙනවා. ගුණදාස අමරසේකර ගත්තොත් සාහිතය සමාජ සංශෝධනය සඳහා යොදාගත යුතුය වැනි ආකල්පයකින් සාහිත්‍ය කාර්යයේ නිරත ව සිටින ලේඛකයෙක්.
එය හරි හෝ වැරදියි කියන්න මා ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක අමරසේකරගේ ක‍්‍රමය. ලේඛකයකුට යුග මෙහෙවරක් තිබෙනවාය කියන කාරණයත් සමඟ මා එකඟයි. යුග මෙහෙවර හැටියට මා දකින්නේ පාඨක ප‍්‍රජාව එහෙමත් නැතිනම් ජනසමාජය සිටින තත්ත්වයෙන් තව ඉදිරියට ගෙනයාමයි. සාහිත්‍ය රුචිය නංවාලීමට සමත් කෘති නිර්මාණය කිරීමත් එහි කොටසක්.
සද්ධර්මරත්නාවලිය රචනා කරපු ධර්මසේන හිමි එදා සමාජයේ පැවැති ගති ලක්ෂණ ඊට ඇතුළත් කළා. ප‍්‍රබන්ධ කතා රචනා කරන ලේඛකයෙක් සමකාලීන සමාජය නිරූපණය කිරීම වැදගත්. ඊට අවුරුදු 100 කට පසුව කියවන පාඨකයකුට වුවත් එදා යුගයේ පැවැති සිරිත් විරිත් හා සමාජ පසුබිම දැනගැනීමට මින් අවස්ථාව සැලසෙනවා.
කාලීන, සමාජ තොරතුරු සටහන් කර තැබීම ලේඛකයකු අතින් නිරායාසයෙන්ම සිදුවන යුග මෙහෙවරක්. මගේ ලේඛන කටයුතුවලදී මා හැකිතරම් උත්සාහ කරන්නේ මානව ජීවිතයේ අභිවෘද්ධියට හිතකර දෘෂ්ටියක් පළකිරීමටයි. සාහිත්‍යකරුවාගේ කාර්යභාරය විය යුත්තේ අභියෝග හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය ශක්තිය සමාජයට ලබාදීමයි.
මගේ ප‍්‍රබන්ධවල පරාජිත චරිත නැහැ. ඇදවැටුණත් අපට හැමදාම නැගිටින්නේ නැතුව ඉන්න බැහැ. අපේ දරුවන් වෙනුවෙන් නැත්නම් අපේ වෙනත් බැඳීම් හෝ අවශ්‍යතා වෙනුවෙන් අපි නැඟී සිටිය යුතුයි. ඒක තමා යථාර්ථය. සියදිවි නසාගැනීම, මත්පැනට ඇබ්බැහිවීම, ගිහිගෙය හැරයාම වගේ දේවල්වලින් පළවන්නේ පරාජිත දෘෂ්ටියක්. ජීවිතයට මුහුණදීමේ ශක්තිය පෙන්විය හැකි සාධක ඕනාතරම් සමාජයේ තිබෙනවා.
දෙපා නැති අය, ඇස් අන්ධ අය සිය ගණනක් ජීවත්වීම සඳහා පොරබදන හැටි අපට අනන්තවත් දකින්න පුළුවන්. ඔවුන් දිවි නසා ගන්ඩ හදන්නේ නැහැ. සාහිත්‍යයෙන් කළ යුත්තේ මෙසේ ජීවන අභියෝග ජයගැනීම සඳහා සමාජයට ශක්තිය දීමයි.

මෑතභාගයේ සාහිත්‍ය විචාර කලාවේත් විවිධ ප‍්‍රවණතා මතුවී තිබෙනවා. විශේෂයෙන් ම නූතනවාදය හා පශ්චාත් නූතනවාදය බඳු මිණුම් දඬු ඔස්සේ සාහිත්‍ය කෘති ඇගැයීමට ඇතැම් විචාරකයන් පෙලැඹී සිටින බවක් පෙනෙනවා. මෙවැනි විචාර විලාසයන් පිළිබඳ ව ඔබ දරන ආකල්පය කුමක්ද?
විචාරවිධීන් මතු වූ පළියට ඒවාට ගැළැපෙන ආකාරයට පොත්පත් ලියන්න හොඳ නැහැ. අලංකාරවාදය එහෙමත් නැත්නම් ඖචිත්‍යවාදය වැනි විචාර ක‍්‍රම මඟින් එදා සාකච්ඡා කළේ පැවැති සාහිත්‍යයක්. පොත්පත්වල අන්තර්ගතව තිබූ කරුණු කාරණා තමයි එවැනි විචාර දඬුවලින් මැණ බැලුවේ. එදා කවුරුවත් ඒ විචාර මිණුම් දඬුවලට ගැළැපෙන්න ලියන්න උත්සාහ කළේ නැහැ.
ඒ නිසා කවුරුහරි පශ්චාත්නූතනවාදයට හරි නූතනවාදයට හරි ගැළැපෙන විදිහට ලියන්න අවශ්‍ය නැහැ. සමහර විට ලියන දේ තුළ නිරායාසයෙන් ඒ ලක්ෂණ ඇතුළත් වෙන්න පුළුවන්. අද හුඟ දෙනෙක් නූතනවාදී සාහිත්‍ය හැටියට හඳුන්වාදීමට උත්සාහ කරන්නේ ලතින් ඇමරිකානු ලේඛකයන් කිහිපදෙනෙකුගේ සාහිත්‍ය කෘති කියලයි මට හිතෙන්නේ.
ලිංගිකත්වය විවෘත ව ප‍්‍රකාශ කිරීම තමා සමහර අය පශ්චාත් නූතනවාදය හැටියට සලකන්නේ. පශ්චාත් නූතනවාදය මම දකින්නෙ නම් එකිනෙකට නොගැළැපෙන වර්ණවලින් ආලේප කරපු ගෙයක් විදියටයි. එවැනි පරස්පරවිරෝධයක් තමයි පශ්චාත් නූතනවාදී ලක්ෂණ හැටියට හඳුනාගැනීමට හැකිවන්නේ.

මෑත කාලයේ කියැවූ පොත්පත් පිළිබඳ ව ඔබේ අදහස් මොනවාද?
පහුගිය අවුරුද්දෙ ස්වර්ණපුස්තක සම්මානයට සුදුසුකම් ලබපු පොත් කීපයක් මට කියවන්න ලැබුණා. ලියනගේ අමරකීර්තිගෙ ‘අටවක පුත්තු’, මංජුල යසවර්ධනගේ ‘බත්තලන්ගුණ්ඩුව‘ හා සමරවීර විජේසිංහගේ ‘ස්වයංජාත’ කියන නවකතා තුන ම මා කියෙව්වා. අමරකීර්තිගෙ පොතේ මුල්කොටස නම් මා හොඳට රසවින්දා. නමුත් එහි දෙවනභාගය නම් මට එතරම් ගෝචර වුණේ නැහැ.
ලේඛකයා අදහස් කළේ කුමක්ද කියා තේරුම් ගත්තේ පසු දවසක ඔහුගේ ම පැහැදිලි කිරීමකින්. නමුත් මා ‘බත්තලන්ගුණ්ඩුව‘ නම් හොඳ රුචියකින් කියෙව්වා. ඒකෙ මා දුටු වටිනාකම් දෙකක් තිබෙනවා. එකක් තමා මෙතෙක් කල් අපි නොදැන හිටපු පරිසරයක් – ජන සමාජයක් පිළිබඳ ව ලැබුණ අවබෝධය. ඒ වගේම අපට මෙතෙක් හමු නොවූ උපසංස්කෘතියක ගති ලක්ෂණත් මගේ හිතගත්තා.
කෙනෙක් කියා තිබුණා ඒ නවකතාව හදිසියේ ම වගේ අවසන්වීම එහි කලාත්මක අගය හීන කිරීමක් කියලා. නමුත් මට නම් හිතුණේ නවකතාවේ සමස්ත ආකෘතිය තේරුම්ගත් විට එවැනි අවසානයක් අනුචිත නොවන බවයි. ‘ස්වයංජාත’ කෘතියේ පසුබිමත් හොඳයි. එය සම්ප‍්‍රදායික වුණත් හොඳ ඉදිරිපත් කිරීමක් දකින්න ලැබෙනවා. මා එහි දකින දුර්වලතාවය තමා එතරම් අධ්‍යාපනයක් නොලබපු එහි කතානායකයා සාහිත්‍ය විචාරකයෙක් වීම බඳු සිද්ධි.
ස්වයංජාත නවකතාවේ දක්නට ලැබෙන ස්තී‍්‍ර පුරුෂ සබඳතාව වදරින් හයිට්ස්වල වගේ එකක් වුණා නම් වඩාත් සාර්ථකයි කියලා හිතෙනවා. කතානායකයා මුල පටන් ම සිටි පරිදි රැකවල් කරන්නෙකු නැත්නම් ආරක්ෂකයකු වුණා නම් ඒක පෙම්වතකු වීමට වඩා අපූරුයි. කොහොම වුණත් මේ නවකතා තුන ම අඩුවැඩි වශයෙන් එකිනෙකට සුවිශේෂ වූ ලක්ෂණ පෙන්නුම් කරන ප‍්‍රබන්ධ කිහිපයක් හැටියට හඳුන්වන්න කැමැතියි.

20151006

‘මගේ ජීවිතය හරිම චාම් සරලයි’ – නන්දා මාලනී

මිහිරි ෆොන්සේකා  - ලක්බිම

'මම ඉපදුණේ මුඩුක්කුවක. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක්' – නන්දා මාලනී
අගමැතිවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරාගෙනය. බොහෝ දෙනෙක් සිතුවේ ඈ බොදු ගීතයක් ගයනු ඇති බවය. එනමුත් බොදු ගීතයට පෙර ඈ සිය ජීවන ගීතය මෙසේ ගැයුවාය.
'කොටහේනේ හැට දෙකේ වත්ත මගේ ගම. උප්පත්තියෙන්ම මට උරුම වෙලා තිබුණේ දුප්පත්කම විතරයි. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක්. පුංචි කා‍ලේ අපට කන්න අඳින්න නැති වුණාම දීපදුත්තමාරාමයේ නායක හාමුදුරුවෝ අපට උදව් කළ හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ.'
මේ කතාව අසාගෙන් හුන් අගමැතිවරයා කම්මු‍ලේ අත තියා ගත්තේය. සම්භාවනීය අමුත්තෝ මුව නොපියා නන්දා මාලිනිය දෙස බැලුවේ විශ්මයෙනි. ගී ලොව මිණි කිරුළ දරා සිටින ඈ මුඩුක්කුවක උපත ලැබුවායි අසන්නට ලැබිම ඔවුන් විශ්මයට පත් කැරන්නට ඇත. හැරත් ඒ කතාව නොබියව කීමට තරම් නන්දා මාලිනියට මේ සා ආත්ම ශක්තියක් නිහතමානීකමත් ලැබුණේ කොහොමදැයි අමුත්තෝ කල්පනා කරන්නට ඇත.
අපේ කල්පනාවේ හැටියට නන්දා මාලිනියගේ මධුර ස්වරයෙන් ගයන ගී අසා තිබුණද ඇගේ ජීවන ගීතය ඔබ නොඅසන්නට ඇත. මේ කතාව හරියට හින්දි චිත්‍රපටයක් මෙනි. එනමුත් අපේ වීරවරියගේ කතාවේ සත්‍ය පිටපතයි මේ.
මිරිහාන ආරචිචිගේ නන්දා මාලිනි පෙරේරා මෙලොව එළිය දුටුවේ රිදී හැන්ද මුව දරාගෙන නොවේ. එක්දහස් නවසිය හතළිස් තුනේ අගෝස්තු විසිතුන් වැනිදා ඈ උපන්නේ අන්ත දරිද්‍රතාවකින් පෙළුණු පවුලකය.
නව දෙනකුගෙන් යුත් පවුලක ඈ සිව්වැනි දරුවා වූවාය. නන්දාගේ මව ලියනගේ එමලින්ය. පියා වින්සන්ට් පෙරේරාය. ඔහු සන්නාලියෙකි. පනහ දශකයේ ලංකාවේ සුප්‍රකට නිමි ඇඳුම් කම්හලක් වූ හයිඩ්‍රමනි සමාගමේ ඔහු රැකියාව කළේය. නිවාඩු පාඩුවට අමතර ආදායම් උපයා ගැනීමට වින්සන්ට් පෙරේරා ගෙදරද ඇඳුම් මසා කොටහේනේ වතුවල හුන් අයට වික්කේය. මේ නයින් ඔහු 'කොටහේනේ කෝට් බාසුන්නැහේ' ලෙස ප්‍රසිද්ධියට පත්වූයේය.
'ඒ කා‍ලේ තාත්තා මහන ඇඳුම් වත්තේ ගෙවල් ගානේ ගිහින් විකුණුවේ මම. මේ ඇඳුමේ බකල් හයියයි. බොත්තම් හොඳයි. ලස්සනට මහලා තියනවා කියලා කියමින් මම ඇඳුම් වික්කා. ඇඳුම් මල්ල කරතියාගෙන යන මාව ඒ කා‍ලේ ගමේ ගෙවල් ඇතුළටවත් ගත්තේ නෑ. දොරකඩ ළඟ ඉන්න කියලා හෙට්ටු කර කර බොහෝ අඩු මුදලකට ඇඳුම් ඉල්ලනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඔවුන් ඉල්ලන ගණනටම ඇඳුම් දෙන්න සිද්ධ වුණා. ඒ මුදලත් මට ලැබුණේ එක සැරේ නෙවේ. මම දෙතුන් වතාවක් ගිහින් පින්සෙණ්ඩු වුණාමයි සල්ලි ලැබුණේ. එදා මට එහෙම මදිපුංචිකම් කරපු අය අද මම දැක්කාම කටපුරා හිනාවෙලා ගේ ඇතුළට එන්න කියලා දොරවල් ඇරගෙන බලා ඉන්නවා. මට ඒ ගැන තරහක් හෝ කම්පාවක් නෑ. ජීවිතේ කියන්නේ දුක සැප දෙකටමයි. මම දැන් ප්‍රසිද්ධ නිසා මේ අය මට ගරු සත්කාර කළත් මම නම් එදා සිටි නන්දා මාලිනීමයි'
නිහතමානීකමෙන් කිරුළු පළන් සිටින මේ මහා ගායිකාව කියන්නේ තනතුරු තිබුණද නැතිවුණද ජීවත් වීමේ කලාව උපේක්ෂා පාරමිතාව පිරීම බව පසක් කැරමිනි.
කුකුළු කොටුවක් මෙන් ඉඩ නැති නන්දා මාලිනිලාගේ ගේපැ‍ලේ තිබුණේ එක කාමරයකි. ආලින්දය, සාලය, කුස්සිය යන මේ කියන කෝකටත් තිබුණේ එක බිමකි. ගෙදර තිබූ එකම ඇඳ වෙන්කැර තිබුණේ දහඩිය කඳුළු වගුරා දරුවන් උස් මහත් කිරීමට මහන මැෂිම පාගා ගෙදරට එන තාත්තා වෙනුවෙනි. නන්දා පැදුර රැගෙන නිදන්නට යන්නේ සාලයේ මේසය යටටය. ඒ හැංගි මුත්තන් සෙල්ලම් කිරීමට නොවේ. මේසය යටට නොගියොත් නිදා ගැනීමට ඒ නිවසේ වෙන ඉඩක් නැති නිසාය.
පුංචි කාලයේ සිටම නන්දා මාලිනිට තාත්තා ගැන තිබුණේ මහා භක්තියකි. ඒ ගෙදර බුදුන් වූයේ තාත්තාය. බුදුන් හැර නන්දා මාලිනිය වන්දනාමාන කැරෙන තවත් චරිතයක් මෙලොව වෙතොත් ඒ ඇගේ තාත්තාය. නන්දා මාලනියට සංගීතය කියා දුන් බොහෝ ගුරුවරු හුන්නද ඈට ජීවිතයේ රිද්මය කියා දුන් මහා ගාන්ධර්වයා තාත්තාය.
'මගේ පරමාදර්ශය තාත්තා අප ජීවත් කරවන්න ඔහු ගත් උත්සාහය කිසි දෙයකට සම කරන්න බෑ. ඔහු පුදුමාකාර ධෛර්යවන්ත මනුෂ්‍යයෙක්. ඒ කා‍ලේ තාත්තාට ලැබුණේ සතියේ පඩිය. ඔහු ඒ මුදල අතට ගත්තාම මුළු සතියම ජීවත් වෙන්නේ කොහොමද කියලා සැලසුම් කර අරපරිස්සමට වියදම් කරනවා. මට මේ සා දුර ගමනක් ඒමේදී තාත්තාගේ දිවියෙන් ලැබුණු පාඩම් අනන්තයි. අප්‍රමාණයි' ඈ කියන්නීය.
තාත්තා දුක්මහන්සියෙන් හම්බ කැර ගත් කාසි පනම් බොහෝ අරපරිස්සමෙන් වියදම් කිරීමට නන්දා මාලිනී වගබලා ගත්තාය. එකල ගෙදරට අවැසි හාල් තුනපහේ, එළවළු, කරවල ගෙනෙන්නේ තොටළඟ ‍පොළෙනි. පැටි වයසේ හුන් ඈ මව හෝ වැඩිමහලු සොයුරියක සමග ‍පොළට
යන්නීය. කොටහේනේ අතුරු පාරවල්, වැටකඩුලු අතරින් ඇති කෙටි පාරකින් ඈ යන්නේ පාද යාත්‍රාවෙනි. ලාබෙට තිබෙන එළවළු දෙක තුනක් මල්ලට දමා ගන්නා ඕ ගෙදර යන ගමන් ග්‍රෑන්ඩ්පාස් මහ වගුරේ (වර්තමාන සුගතදාස ක්‍රීඩාංගණය පිහිටි බිම) හොඳට වැවී තිබෙන පළා නෙලන්නීය.පෙරේරා පවු‍ලේ සියලු සාමාජිකයන්ගේ බඩට කෑමක් වැටෙන්නේ රාත්‍රී වේ‍ලේදීය. අම්මා කෑම පිස අහවර වූ විට බෙදීමේ වැඩේ පැවරෙන්නේ ලොකු අක්කාටය. පිඟන් ටික එකට තබා ඕ සම සේ බත් හා වෑංජන බෙදන්නීය. බඩ පිරුණත් නැතත් ලැබුණු බත් හැන්ද සියල්ලෝම කා සැණහුනේ වැඩිපුර ඉල්ලුවාට දෙන්නට මුට්ටියේ දංකුඩවත් නැති බව දන්නා නිසාය.
'අපි සරල ජීවිතයකට හුරු හුනේ නැතිබැරිකම නිසා. කෑවේ එක වේලයි. අඳින්න මහ ලොකු ඇඳුම් ගොඩක් තිබුණේ නෑ. හැබැයි තියන ඇඳුම පිරිසිදුවට මැදලා පිළිවෙළකට ඇන්දා. අද වුණත් මට මහ ලොකු ඇඳුම් තොගයක් නෑ. මගේ ජීවිතය හරිම චාම් සරලයි' ඈ කීවාය.
පන්සලට ගියද, මළ ගමට ගියද, රජ ගෙදරට ගියද, සිනමා සම්මාන රාත්‍රියකට ගියද ඈ අඳින්නේ ශ්වේත වර්ණ සාරියයි. නන්දා මාලිනිය ශ්වේත වර්ණයෙන් පමණක් සැරසීමට පටන්ගෙන දැන් තිස් අවුරුද්දක් ගෙවිලාය. කොටහේනේ මුඩුක්කුවේ හුන් අසල්වැසියාටද මහේශාඛ්‍ය රජ මැදුරේ හුන් ජනාධිපතිවරයාටද දක්වන සැලකිල්‍ලේ උස් මිටිකම් ඈට නැත. තරාතිරම කුමක් වුවද කොයි කාටත් ඇගේ නිරහංකාර සිනාව කොයි කාටත් සමානය.ලක්ෂ ගණන් වටිනා සාරිද රන් රිදී මුතු මැණික් පිරුණු අභරින් සැරසුණු ගායිකාවන් නානා විදි කොණ්ඩා මෝස්තරවලින් සැරසෙන විට නන්දා මාලිනිය කොහේ ගියද යන්නේ කොණ්ඩය තනි කරලට ගොතා ගෙනය. ඈ කොණ්ඩයට මෝස්තරයක් දමා ඇත්තේ නම් ඒ විවාහ වූ දිනයේ පමණි.
මධුර මනෝහර සිය ස්වරයෙන් මුළු රටක් මෝහනයට පත් කළ ඇය මේ සා නිහතමානී වූයේ කෙසේද?
'මම කවදාවත් මුල අමතක කළේ නෑ. අමතක කරන්නෙත් නෑ. දුප්පත්කම මම මගේ ගමනට ආශිර්වාදයක් කර ගත්තා මිසක් ලැජ්ජාවට පත්වන කාරණාවක් ලෙස හිතුවේ නෑ' ඈ කියන්නීය.
නන්දා මාලිනි අකුරු කරන්නට ගියේ ගෙදර පෙනෙන තෙක් මානයේ පිහිටි කොටහේනේ ගුණානන්ද විදුහලටය. ඒ පාසල නම් කැර ඇත්තේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමටය. උන්වහන්සේ එකල වැඩ හුන්නේ කොටහේනේ දීපදුත්තමාරාමයේය. බෞද්ධ කොඩිය මුල් වරට
එයැවුණේද ඒ බිමේය. ගුණානන්ද විදුහ‍ලේ ඉගෙන ගත් නන්දා සපත්තු නොපැළඳුවාය. දරුවන්ට සපත්තු ජෝඩුවක් මිලදී ගන්නට කෝට් බාසුන්නැහේට කාසි නැතිය. ඒ බව දන්නා ඈ තාත්තාගෙන් කවදාවත් සල්ලි නොඉල්ලුවාය. නානා මාදිලියේ වළලු, මාල, අරුංගල්
විකුණන්නට වත්තට එන වෙළෙඳුන් දෙස ඈ නොබැලුවාය. අයිස්පලම්, කඩචෝරු, බූන්දි ගැන නොසිතුවාය. 'තාත්තාට කාසි තිබෙනවා නම් අපට අරන් දෙනවනේ' යැයි ඕ කල්පනා කළාය. සල්ලි නැතිනම් කෝට් බාසුන්නැහේ දරුවන්ට ඒ බව කියයි. එසේ නොමැතිව ඒවා කන්න හොඳ නෑ යනුවෙන් බේගල් නොකියයි. තාත්තාගේ මේ ක්‍රියාවෙන් ඈ ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තා. ඒ ඇත්ත ඇති සැටියෙන් කීමටය.
නන්දා මාලිනී පාසල් යන විට මිරිවැඩි සඟල ලෙස දැම්මේ 'කට්ට සෙරෙප්පු' ජෝඩුවකි. ලීයෙන් නිම කැර ඇති මේ සෙරෙප්පු විවිධ වර්ණයෙන් පාට කැර තිබේ. මිල සත තිහකි. 'කට්ටා සෙරෙප්පු' දමා ඇවිදින විට දුර තියාම ඈ එන විට 'ටකස් ටකස්' ශබ්දය ඇසේ.
මේ නයින් පාසල් ළමෝ නන්දාට 'කට්ටයා' යනුවෙන් නම් පට බැන්දහ. ඈ ඒ ගැන කම්පා නොවූවාය.
මෙකල 'කට්ටයාගේ' කටහඬ පිළිබඳ මාග්‍රර්ට් පෙරේරා පන්ති භාර ගුරුතුමිය අවධානයෙන් හුන්නාය. සතියකට වරක් හැම බදාදාවකම පැවැත්වෙන සමිතියේ ගී කවි කියන නන්දා මාලිනී 'හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන' බව පසක් කළාය.
හය වැනි පන්තියේ අකුරු කරන නන්දා දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන බව අවබෝධ කැර ගෙන හුන් මාග්‍රර්ට් පෙරේරා ගුරුතුමිය ඈ කැටුව රේඩියෝ සිලෝන් හි (වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) සරස්වතී මණ්ඩපයට ගියාය. ඒ වැඩසටහන මෙහෙය වූවෝ කරුණාරත්න අබේසේකර හා සරත් විමලවීරය. බොහෝ කාලයක් යනතුරු නන්දාට සිද්ධ වූයේ අනුන් කියන ගීවලට අත්වැල් දෙන්නටය. එනමුත් ඕ ඒ ගැන කල්පනා නොකළාය. 'මම කොහොම හරි තනියම සිංදුවක් කියනවා' ඈ අදිටන් කැර ගත්තාය. නන්දා මුලින්ම ගැයූ ගීතය ලීවේ අශෝක කොළඹගේය. සංගීතය ඩී.ඩී. ඩැනීගෙනි. 'බුදු සාධු බුදු සාධු මම සඳුන් ගසක් වෙන්නම්. සමන් වැළක් වෙන්නම්…..'.
නන්දාගේ මිහිරි කටහඬ වෑයර්ලසයෙන් මුළු රටටම ඇසුණි. ගොඩෙහි තිබුණත් මඩෙහි තිබුණත් මැණික මැණිකමය. එහි වටිනාකමේ අඩුවක් නැත්තේය. මෙකල රේඩියෝ සිලෝනි හි 'සුපර් ස්ටාර්' ගීත තරගයක් තිබුණි. එය නම් කැර තිබුණේ 'එයාර් ශිප් ගීත තරගය' යනුවෙනි. ජයග්‍රාහකයාට ලැබෙන්නේ බොම්බායට යාමට ගුවන් ප්‍රවේශපත්‍රයකි. ආරියසේන මිල්ලවිතානාචිචි නිෂ්පාදනය කළ එයාර් ශිප් ගීත තරගයේ නිවේදකයා ‍ප්‍රොස්පර් ප්‍රනාන්දුය. මේ තරගයේ 'සුපර් ස්ටාර්' වූයේ නන්දා මාලිනීය. දෙවැනියා වික්ටර් රත්නායකය. බොම්බායට යාමට ගුවන් ප්‍රවේශ පත්‍රය ලැබුණු විට නන්දා කල්පනා කළේ නිකරුණේ රට යනවාට වඩා ඒ මුදලෙන් ගෙදරට යමක් කැර ගන්නට මගක් ගැනය. ඈ පියා සමග ගුවන් ප්‍රවේශ පත්‍ර සමාගමට ගියාය. එහි හුන් ලොකු මහත්තයකු හමු වී නන්දා මෙසේ කීවාය.
'සර් අපි හරිම දුප්පත්. ඉන්දියාවට ගිහින් අපට තේරුමක් නෑ. මේ ටිකට් එකේ සල්ලි දෙනවා නම් අපට හරිම වටිනවා'
මේ ‍පොඩි කෙල්ලගේ ආයාචනය ඇසූ ඔවුන්ගේ හද උණුවිය. ඔවුහු ඈට ප්‍රවේශ පත්‍රයේ මුදල දුන්හ. සල්ලි ලැබුණු ඈට රටක් රාජ්‍යයක් දිනුවාක් මෙන් සතුටක් දැනුණි. ඒ සමග කලක් හිතේ තියාගෙන තිබූ කාරණාවක් මතක් විය.
'තාත්තේ අපි බොමු රස සරුවත් දෙකක්' නන්දා කීවාය.
ඈ ඊළඟට කල්පනා කළේ මේ මුදලින් කැරෙන දේ ගැනය. 'තාත්තා ‍පොල්කටු අඟුරු ඉස්තිරික්කයෙන් ඇඳුම් මදින්නේ පුදුමාකාර දුකක් විඳලා. මම තාත්තාට විදුලි ඉස්තිරික්කයක් අරන් දෙනවා' නන්දා තාත්තාට කීවාය.
'විදුලි ඉස්තිරික්ක ගහන්න ගෙදර ලයිට් තියනවාද ළමයෝ' තාත්තා ඇසුවේ ඇගේ හිස පිරිමදිමිනි. 'එහෙනම් අපි ලයිටුත් ගනිමු' ඈ යෝජනා කළාය. අතට ලැබුණු මුදලින් ගෙදරට විදුලියත් විදුලි ඉස්තිරික්කයත් ගත් නන්දා ඉතිරි වූ මුදලද වෙන් කළේ තාත්තාට උණු වතුර බෝතලයක් මිලදී ගන්නටය.
'රෑ වෙනකම් තාත්තා ඇඳුම් මහන නිසා තේකක් හදලා දාලා තියන්න පුළුවන්' ඕ මවට කීවාය.
නන්දා මාලිනිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සිද්ධ වූයේ එක්දහස් නවසිය හැට දෙකේදීය. ඒ 'රන්මුතු දූව' චිත්‍රපටයේ පසුබිම් ගීතයට තෝරා ගැනීම නිසාය. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව නන්දා මාලිනීව තෝරා ගත්තේය. 'ගලන ගඟකි ජීවිතේ' ගීතය කීමට නන්දා මයික්‍රෆෝනය ළඟටවත් උස නැති නිසා සංගීතය පටිගත කළ මර්වින් රුද්‍රගෝ ඈට ලී පෙට්ටියක් ගෙනැවිත් දුන්නේය. පෙට්ටිය උඩ නැග කියූ ගීතයට ඈට සරසවි සම්මාන උළෙ‍ලේදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. එතැන් සිට ඈට සම්මාන ලැබුණේ ගඟ ගලන්නාක් මෙනි. ජනපති සම්මාන, සරසවි සම්මාන දුසිම් ගණන් පමණක් නොවැ ගත වූ සිව් අවුරුද්දේම පිටපිටම ජනතා සම්මානයට පාත්‍ර වූ ගායිකාව ඇයයි. බලයට පත් වූ රාජ්‍ය නායකයෝ තමන්ට නැති වංශයක් මවා පාන්නට ඉතිහාසය අලුතෙන් ලියන
රටක මුඩුක්කුවක උපන් නන්දා මාලිනිය මේ කියන කතාව බොහෝ දෙනාගේ ඇස් ඇරෙනු ඇත.
'මනුෂ්‍යයකු පීඩාවට පත් කිරීම හේතුවෙන් ලබන වේදනාව පුංචි කා‍ලේ මම හොඳට ලැබුවා. මම ජීවිතේ පන්නරය ලැබුණේ දුප්පත්කමින්. අතීතය අමතක කරන කිසිම කෙනෙකුට අනාගතයක් නෑ. අපි වැරදි වැඩ කරන්නේ නැතිනම් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ.
කොටහේනේ මුඩුක්කුවක ඉපදුණු මම මේ තරම් දුර ආ ගමන ගැන කල්පනා කරන කොට දැනෙන්නේ ලොකු සතුටක්. මට මේ තරම් දුර ගමනක් යන්න ලැබුණේ උත්සාහය හා කැප කිරීම නිසා.මගේ තාත්තාගෙන් ලැබුණු නිවැරදි මගපෙන්වීම නිසයි.අද සල්ලි තිබුණා කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නෑ. මම මගේ දුවලා දෙන්නා පාසල් යැව්වෙත් පයින්. ගෙදර වාහන තිබුණත් අපි ළමයි හැදිය යුත්තේ ‍පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕන විදියට. මම ඉපදුණේ මුඩුක්කුවක. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක් කියන එක මට ආඩම්බරයක් මිසක් ලැජ්ජාවක් නොවේ' නන්දා මාලිනී කියන්නීය.
මීට සති කීපයකට ඉහතදී ඈ පන්නල මාස් ඇඟලුම් කම්හ‍ලේ උත්සවයකට ගියේ ප්‍රධාන අමුත්තිය ලෙසය. ගීතයෙන් තරුණ සිත් සුවපත් කළ මේ මහා ගායිකාව ගැන සිත පැහැදුණු තරුණියෝ ඇගේ කටහඬ ඇසීමට මහත් සේ ප්‍රිය කළෝය. නන්දා මාලිනිය සිය ජීවන ගීතය ගැයුවාය. 'ගාමන්ට් එකක වැඩ කරන එක ලැජ්ජාවකට කාරණාවක් නොවේ දුවේ. මගේ තාත්තත් කෝට් බසුන්නැහේ කෙනෙක්' ඈ කීවාය. තරුණියෝ ඒ කතාව අසා අලුත් හුස්මක් ගත්හ. මහා ආත්ම ශක්තියක් තම සිරුරට ඇතුළු වෙනවාක් මෙන් ඔවුනට දැනුණි.
නන්දා මාලිනී අද හෙළයේ මහා ගායිකාවකි. ඇගේ මධුර ස්වරයෙන් ගැයෙන ගී මිනිසුන්ගේ සිත් සුවපත් කැරෙන දිව ඔසුවක් වැනිය. ජීවිතය වූ කලී රෝසමල් ඇතිරූ මාවතක් දිගේ වැටී ඇති මාවතක් නොවේ යැයි පසක් කැරෙන ඇගේ ජීවන ගීතය ජීවිතය ජය ගන්නට වෙර දරන ඔබට පරමාදර්ශී කතාවකි. ඒ ලෝකයටම ඇතේතේ එක නන්දා මාලිනියක් වීම නිසාය.
ඈ ගයන්නීය මෙසේ
"දහසක් ඉපදී මිය යන ‍පොළොවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මම මළ බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි"
------------------------------------------------------
 2012 ජනවාරි 12 වෙනි බ්‍රහස්පතින්දා ලක්බිම පුවත්පතේ  පලවූ මේ ලිපිය මිහිරි ෆොන්සේකාගේ,