ඔබේ අත ගින්නට පිළිස්සීම කියන්නෙ
සොබා දහමෙ නීතියක් ක්‍රියාත්මක වීමක්.
ඒ මොහොතෙ
ඔබ තුළ ද්වේශය පහළ වෙන්නත් පුළුවන්..
ප්‍රඥාව පහළ වෙන්නත් පුලුවන්.
සාමාන්‍ය කෙනෙකුගෙ හිතේ ද්වේශය පහළ වෙනවා.
ඔහු ඒ ද්වේශයෙන් දුක් විඳිනවා.
බුදු දහම අනුව විදසුන් වඩන කෙනෙක්
අතේ පිළිස්සීමත්, හිතේ ද්වේශයත් පිළිබඳ සිහියෙන්
ඒ දෙකටම උපේක්ෂාවෙන් වෙසෙනවා.
ඔහුට පිළිස්සීම පිළිබඳවත් ද්වේශය පිළිබඳවත්
ඒ දෙකෙන් ඇතිවෙන දුකෙන් මිදෙන ආකාරය ගැනත්
ප්‍රඥාව පහළ වෙනවා.
අත්දැකීමකදි
රාගය හෝ ද්වේශය ඇතිවීමත්
නැත්නම් ඒ ගැන මෝහයෙන්, නොදැනුවත්ව පසුවීමත්
සොබා දහමේ නීති අනුව සිදු වෙනවා.
ඒ තුන් ආකාරයට
සිතේත් කයේත් සිදුවෙන වෙනස්කම් ගැන
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමෙන්
ප්‍රඥාව පහළ වීමත්
සොබා දහමේ නීතියක්.
බුදු දහමෙහි හරය වන්නේ
සොබා දහමේ ඒ නීති මාලාවයි.
අත්දැකීමක් වශයෙන්
ඔබ පිළිස්සෙන මොහොතෙ
ඒ ගැන ඇතිවෙන ද්වේශය නිසා
ඔබ අත්දැකීම දකින්නෙ නෑ.
ප්‍රඥාව පහළ වෙනතුරු
ඔබ නැවත නැවත අත පුළුස්සාගන්නවා.
බුදු දහමට අනුව පුහුණු වෙලා
ඒ මොහොතෙ ඔබ සිහියෙන් සිටියොත්
ඒ පිළිස්සීමට උපේක්ෂාවෙන් හිටියොත්
ඔබට ඒ අත්දැකීම
සම්පූර්ණයෙන්ම විඳින්න පුලුවන්.
අත ගින්නට පිළිස්සීම පිළිබඳව
ඔබට ප්‍රඥාව පහළ වෙනවා.
ඔබට පුලුවන් මේ අත්දැකීමෙන් ලද ප්‍රඥාව
වචනයට නගලා ප්‍රකාශ කරන්න.
ඔහු මෙතෙක් නොපිළිස්සුණ කෙනෙක් නම්
ඔහු ඔබව සැක කරනවා.
යම් කෙනෙකුගෙ අත
ගින්නට පිළිස්සිලා තිබුණොත්
ඔහු තුළ යම් බුද්ධියක් පහළ වෙනවා.
පිළිස්සෙන අවස්ථාවෙ
ඔහු තුළ ද්වේශයක් පහළ වෙන නිසා
ඔහු අත්දැකීම නිසි ලෙස දකින්නේ නෑ.
ඒ නිසා ඔබේ ප්‍රඥාව මෙන්
ඔහුගෙ බුද්ධිය සම්පූර්ණ නෑ.
ඔහුට ඔබ ගැන ශ්‍රද්ධාවක් ඇතිවෙනවා.
ඔහු නැවත පිළිස්සෙන්නට පෙර
ඔබේ යෝජනාව අනුව
බුදු දහමට අනුව පුහුණු වෙලා
ඒ මොහොතෙ සිහියෙන් සිටියොත්
ඒ පිළිස්සීමට උපේක්ෂාවෙන් හිටියොත්
ඔහුටත් ඒ අත්දැකීම
සම්පූර්ණයෙන්ම විඳින්න පුලුවන්.
අත ගින්නට පිළිස්සීම පිළිබඳව ප්‍රඥාව
ඔහුටත් පහළ වෙනවා.
මිනිසා විඳින සියලු දුක්වලටම
මේ රටාව අදාළයි.
බුදුන් වහන්සේ විසින්
ප්‍රඥාවට එකම මාර්ගය වන
විපස්සනාව සොයා ගත්තෙ
දුක් විඳින විට සිහියෙන් සහ
උපේක්ෂාවෙන් විසීමෙන්.
අපිට දේශනා කළේත් ඒ මාර්ගයයි.
ඒ මාර්ගයේ යන අයගෙ දුක
දිනෙන් දින අඩු වෙනවා.
No comments:
Post a Comment