20150805

මහින්ද නායකයෙක්ද? ජනප්‍රිය පුද්ගලයෙක්ද?



නායකත්වයට සුදුසුකම් නැතිව
ජනප්‍රියත්වය මත ගොඩ නැගුන
පාවෙන රසික හවුලක් මත
දසවසරක් පුරා මහින්ද බලයෙ රැඳී සිටියා.

මහින්දගෙ ශක්ති ජනක අතරෙ නායකත්වය තිබුණෙ නැහැ.
සැබෑ නායකත්වය හඳුනන අයට
2005 මුද්‍රණය කළ පළමු පෝස්ටරයෙන්ම
ඔහු නායකයෙක් නොවෙන බව වැටහුණා

මහින්දගෙ බලයෙ පදනමත්
බිත්තිත් වහලත් සියල්ලම
ඔහුගෙ ජනප්‍රියත්වයයි..
ඔහු සියල්ලම කලේ ඒ ජනප්‍රියත්වය රැකගන්නයි.

මහින්දගෙ එකම වත්කම ඔහු උපයා ගත් මිනිස්සු...

අපේ වියදමෙන් උපයාගත් මිනිස්සු..

ගම්වල ඉන්න නූගත් අහිංසක ජනතාව
මහින්ද බලන්න පෝලිම්වල වේලුණාට
ජැක්සන්ලා, රවීන්ද්‍රලා, මාලනීලා වගේ
සම්මානනීය ජනකාන්ත පිරිස්
අද මහින්දට දකින්නවත් ලැබෙනවද?
මහින්දට විතරක් නෙවෙයි
අපිටවත් දකින්න නැහැ..

වසර කිහිපයකට පෙර 
අපේ වියදමෙන්අරලියගහ මැදුරේ පැවැත්වූ ප්‍රිය සාදයකදී

සම්මානනීය ජනකාන්ත පිරිස්වල  සැබෑ ස්වභාවය
බන්දු සමරසිංහ විසින්
තත්පර පහළොවකින් පමණ
මහින්දට පහදා දුන් හැටි අපට මතකයි.

"මාස හයකට විතර සැරයක් කෑමක් දුන්නාම ඇති.."



කවුරු හරි කෙනෙක් ජනප්‍රිය නම්
ඔහු හෝ ඇය අරලියගහ මැදුරට කැඳවා
ඔහු තමන්ගෙ කෙනෙක් බව පෙන්වන්නට
මහින්ද උත්සුක වුණා.
ජනප්‍රිය නක්ෂත්‍රකරුවන්,ජනප්‍රිය කලාකරුවන්,
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් ආදීන් පමණක් නොව
හිමාශ මනුප්‍රිය වැනි ජනප්‍රිය කුඩා දරුවන්වත්
ඔහුගෙන් මිදුණේ නැහැ.

නළු නිලියන් ගායක ගායිකාවන් මෙන්
උද්ඝෝෂණ, පාගමන් ආදියෙන් ගොඩ නැගූ
බොළඳ ප්‍රතිරූපය වටා රොක්වූ
ඔහුගේම රසික පිරිසත්
ජැක්සන්, රවීන්ද්‍ර, මාලනී,
දිවුල්ගනේ, රෝහණ වීරසිංහ ආදීන්ගෙ රසික පිරිසත්
ඔහු වැනිම වූ බොළඳ ප්‍රතිරූප ඇති
ඕපාදූප, රණ්ඩු සරුවල් ආදියෙන් කැපී පෙනී
බාල ජනප්‍රියත්වයක් දිනාගත්
කූට  දේශපාලකයන්ගෙ රසික පිරිසත් මත
අන්ධ විශ්වාසයෙන් ජීවය දී ගොඩ නැගූ
සිහින මන්දිරය කඩා වැටුණට පස්සෙ
ඒ බලය වටා වාසියට ජැක් ගසා සිටි
තාවකාලික ජැක්සන්ලා සියල්ලෝම
ජනවාරි අටවෙනිදායින් පස්සෙ
වෙන තැනකවත් දකින්න නැහැ.

යැපෙන මානසිකත්වයෙන් යුතුව
දේවාල වලට යන්න පුරුදු වී සිටින.
අනුන්ගේ බලයෙන් ප්‍රාණය ලබන
පොළවට ඇද්ද මුල් නැති
බොළඳ ජනතාවක් විතරක්
අද මහින්ද වටා ඉන්නවා.

තවමත් ඔවුන්ට සන්නිවේදනය කරන මහින්ද
නායකත්වයත් ජනප්‍රියත්වයත් අතර වෙනස
කවදාවත් ඉගෙන ගනීවිද?
සැකයි...

1,2 වසරෙ පාසල් දරුවන් පවා දැනුවත්
මහින්ද මුල් කරගෙන පවත්වන්නට සැලසුම් කළ
නුගේගොඩ රැස්වීම ගැන ඇහුවම
"ආ ඇත්තද, මම තාම දන්නෙ නැහැ" කීම මගින්
මහින්ද කාගෙ මොනවා ලබා ගත්තත්
ඔහුගෙ නායකත්වයක් නැති බව
සිහි කල්පනාව ඇති ජනතාවට පැහැදිලියි.

තමන් ඉහළට ඔසවාගෙන සිටි කුළුණු
සියල්ලම දිය වී ගියාට පසුවත්
දේශපාලනය ගැන වගේ වගක් නැති
රසිකයන්ගෙ වන්දනාමානත්
රජයෙන් ලැබෙන දීමනා ටිකත් හැර
වෙනත් කිසිදු අතීත සම්පතක් නැතිව
මහින්ද මේ තරම්වත් හොඳින් ජීවත් වෙන්නෙ
ඔහු කළ පෙර පිනක් නිසා විය යුතුයි.

එවැනි පෙර පිනක් නැත්නම්
ඔහුගෙ ජනප්‍රියත්වය වටා රොක්වී
සිය ජීවිත රජයේ මුදලින්
වර්ණවත් කරගත් ආත්මාර්ථකාමී පිරිස
මහින්දගේ ප්‍රතිරූපයෙ ඉතිරි කොටස් ටිකත්
කෑලිවලට කඩා විකුණන්නට
ඒ ආකාරයෙන්ම උරදෙන්න පුලුවන්.

නායකත්වයත් ජනප්‍රියත්වයත් අතර වෙනස
මහින්දට තවමත් තේරෙන්නෙ නැති නිසා
නාමලුත් ඒ මාවතේම අරන් යන බවයි පෙනෙන්නෙ.
පශ්චාත් පරාජ කාලසීමාව තුළ
හිසකෙස් ඇඳුම් පැළඳුම් ආදියෙන් පිළිවෙළක් වී
පෙරට වඩා සිහියෙන් බස හසුරවන නාමල්ගෙ හැසිරීම තුළ
ඔහු යමක් ඉගෙනගත් බවක් පෙනෙනවා.
ඒත් ඒ වෙනස චරිතය තුලත් සිදු නොවුණොත්
ඔහු වුණත් රෑ වැටුණ වලේ දවලුත් වැටෙන්නට
අවකාශ තියනවා.

මහින්දට හුළං ගහන්නට රොක්වූ
ඔහුගේ ජනප්‍රියත්වයෙන් පෝෂණය වූ
බොරුවෙන් වංචාවෙන් රට රැවටූ
දුර්දාන්ත චරිත රැසක්
තවමත් දේශපාලන භූමියේ
බලාපොරොත්තු සහිතව රැඳී සිටිනවා.
මැතිවරණයේදී ඔවුන් පිරිසත් හැලුණොත්
රටේ වාසනාවන්ත කාලය
උදා වී ඇති බව සහතිකයි.

වසර දහස් ගණනක් තිස්සේ
බුදු දහමෙන් පෝෂණය වී
ආත්මිකව නිරෝගීව විසූ සරල ජනතාවක්
පළමුව ජේ ආර් විසිනුත් දෙවනුව මහින්ද විසිනුත්
සරුවපිත්තල ලෝකයක අතරමංකොට
ආත්මිකවත්, සදාචාරාත්මකවත්
විනාශය කරා යොමුකිරීමට
ඔවුන් දෙදෙනාටම දහම ගැන හැඟීමක් නොමැති වීම
මූලික හේතුව වුණා.

හානියක් කරන්න තරම් කලක්
බලයෙ ඉන්න ප්‍රේමදාසට නොලැබීම
රටේ වාසනාවක්.
ඔහු මහින්දටත් වඩා අන්ත වෙන්න ඉඩ තිබුණා.

චන්ද්‍රිකා ලොකු හොඳක් හෝ ලොකු නරකක් නැතුව
කලය ගෙවලා
ලොකුම හානිය සිදු කරන
ඇය කළ ලොකුම නරක කරලා ඉවත්වුණා.

මහින්ද ආගම උපයෝගී කරගත්තේත්
සිය රසික හවුල දියුණු කර ගැනීමට පමණයි.
හැඟීම් මට්ටමෙන් ක්‍රියාවෙන් ඔහු මිථ්‍යාදෘෂ්ටිකයි.

ඔහු ජනප්‍රිය වුණේ
සමාජයේ බහුතරය වු
ආධ්‍යාත්මික වශයෙන් දුර්වලම පිරිස වන
උගත් නූගත් මිථ්‍යා දෘෂ්ඨිකයන් අතරයි.

තවමත් ඔහු වටා සිටින උගත් නූගත් දෙපිරිසම
ආගමක් දහමක් ගැන හැඟීමක් නැත්
මිථ්‍යා දෘෂ්ඨිකයන් පිරිසක්.

දස වසරක් තිස්සේ මහින්ද විසින් රටට පෙන්වා දුන්
නායකත්වයත් ජනප්‍රියත්වයත් අතර වෙනස
මහින්දට සහ ඔහු වටා සිටි පිරිසට
ඉගෙන ගත නොහැකි වුවත්
රටේ ජනතාවවත් ඉගෙන ගත්තොත්
මතු යම් දිනකවත්
සිංහලයෙක් වීම ගැන සතුටු වෙන්නට
අපටත් පුලුවන් වෙයි.

4 comments:

  1. මහින්දට නායකත්වයක් නොතිබුණානම් කොටි ත්‍රස්තවාදය පරදවා රට ආරක්ෂා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. මහින්දගේ නායකත්වය නිසා තමයි බටහිර හා ඉන්දීය බලපෑම් වලට යටත් නොවී අපට හිතවත් රටවල් එක්ක නිවැරදි දර්ශනයක් මත පිහිටා ගනුදෙනු කරමින් කොටි පරාජය කර බටහිරටත් දෙකට නැමෙන්නේ නැතුව රටට ආවේනික අදහස් තියෙන මිනිස්සුන්ට සැබෑ නිදහසක්ද ඇතිකර දී රටත් ඉස්සරහට ගෙනියන්න පුළුවන් උනේ.මහින්දට නායකත්වයක් නැත්නම් රනිල්ට තියෙන්නේ මොන නායකත්වෙද? 29 වතාවක් පැරදිලා තවත් පරදින කතා ස්ටේජ් වල කිය කියා රනිල් යන්නේ. මේ වගේ එවුන්ගේ පුස් නායකත්වය පේන්නේ නැද්ද? නායකත්වය තියෙන්න ඕනේ රටක ස්වාධීනත්වය හරියට තියාගෙන ජාත්‍යන්තරයේ කොන්ද කෙලින් තියාගෙන කෙලින් තීරන ගන්න. ඒක මහින්දට තිබුණා. ඒ නායකත්වය දෙන්න හැකියාව තමයි රනිලුත් එක්ක අනෙක් දේශපාලන ගොබ්බයන්ට නැත්තේ. අපේ රටේ ඉපදිලා හිතෙන් පිටරට ජීවත් වෙන්න උත්සහ කරන අපේ රටත් බටහිර වගේ මොඩ් කරගෙන බටහිරට ගැතිවෙමින් නෝන්ජල් ජීවිත ගෙනියන්න කැමති එවුන්ට මහින්දගේ නායකත්වය ප්‍රශ්නයක් උනාට රටට ගැලපෙන අදහස් තියෙන රටේ ස්වාධීනත්වය අගයන කොයි කවුරුත් කියන්නේ මහින්දගේ නායකත්වය නැවතත් අවශ්‍යයි කියලා.

    ReplyDelete
  2. මහින්ද කියන්නෙ ජනප්‍රියතාවයත් මිලයට ගත්තු පුද්ගලයෙක්. ඒත් ඒ වියදම් කලේ අපේ සල්ලි...

    හොඳ විශ්ලේශණයක් අතුල...:)

    ReplyDelete
  3. මහින්දගේ වැඩ කිඩ කොටි ත්‍රස්තවාදය නසා රටට සාමය උදා කිරීමට සීමා නොවෙයි. ලෝක නීති යුක්ති වාර්තාවේ හැටියට අපි ආසියාවේ පළමු තැන! වර්ෂ ගණනනාවක් පුරාම අඛණ්ඩව දකුණු ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය පවත්වා ගත්තේ ලංකාවයි. ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන නගරය ලෙස කොළඹ නම් කෙරුනා. ඔහුගේ කාලයේදී අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතයත් ඒක පුද්ගල ආදායමත් තෙගුණ වුණා. උද්ධමනය අඩකින් අඩු වුණා. ආදායමට සාපේක්ෂව රටේ ණයබර 96% සිට 75% දක්වා අඩු කෙරුණා. රටේ මෙරට රැකියා වියුක්ති ප්‍රතිශතය ඇමරිකාවේ , බ්‍රිතාන්‍යයේ සහ කැනඩාවේ රැකියා වියුක්ති ප්‍රතිශතයටත් වඩා අඩු කෙරුණා. විශ්වවිද්‍යාල ප්‍රවේශ ප්‍රතිශතය වැඩි කෙරුණා. මේ සියල්ල ඔහුගේ නායකත්වයෙන් ලබා ජයග්‍රහණ යි.
    රටේ නායකත්වය දක්වා පැමිණි ගමනේදී ඔහු දිවි පරදුවට තබා ගොඩ නැගූ අවස්ථාවක් වුව පක්ෂයේ තීරණයට හිස නමා අනෙකකුට දී නිහඬ වුණේ ඉමහත් ඉවසීමකිනි.
    ඔහු පැරදුණු වෙලාවේ අනපේක්ෂිත පරාජයත් නිමක් නැති නින්දා අපහාසත් ඉවසමින් ඔහු අපට ක්‍රියාවෙන් පෙන්වා දුන්නේ අපි පාසලේ බුද්ධාගම පාඩමේදී ඉගෙන ගත් තාදී ගුණය යි.
    අදටත් ජනාධිපතිකමේ බලතලත් ඇති පඹ පක්ෂ නායකයකු මායිම් නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකත්වය ඔහු වටා එක්රොක් වෙන්නේ ඔහුගේ නායකත්වයේ මහිමය නිසාමයි.
    අපි කැමැති වුණත් අකැමැති වුණත් මහින්ද කියන්නේ රටට සාමය සේ ම සමාජීය සහ ආර්ථික ජයග්‍රහණ ද රැසක් ලබා දුන් ඉතිහාසයේ රන් අකුරින් නම ලියවෙන ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකි. එය පිළි නොගන්නා කුහකයන් අපට පෙන්වා දෙන්නේ පක්ෂ දේශපාලනයේ පාට කණ්නාඩි විසින් ඇත්ත ඇති හැටියට දැකීමේ හැකියාව අපේ මිනිසුන්ට අහිමි කර ඇති ආකාරයයි!

    ReplyDelete